ස්වභාවික පරිසරයට හානිකර අන්දමින් පවත්වාගෙන යනු ලබන දැව අඟුරු කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් පුවතක් මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කහකුරුල්ලන් පැලැස්ස ග්‍රාම නිලධාරී වසමට අයත් අරඹෙකෙම ගම්මානයෙන් අසන්නට ලැබුණි. රංගකුඹුර මාර්ගයට යාබද පිහිටි මෙම පෞද්ගලික ඉඩම තුළ ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව දැව අඟුරු කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බව ද සැලවිය. මේ පිළිබඳ තතු විත්ති සොයා අපි ඉකුත් දා අරඹෙකෙම ගම්මානය බලා පිටත් වීමු.
වෑන් රථයේ වායු සමීකරණය පරාජය කර සැඬ හිරු සිය අණසක පතුරුවා තිබිණ. අප එහි ළඟා වන විටත් නියඟයෙන් බරපතළ ලෙස පීඩා විඳිමින් සිටින අරඹෙකෙම ගම්වාසින් දැව අඟුරු කර්මාන්ත ශාලාව නිසා අත්වන අවනඩුව කියමින් විරෝධතා දක්වමින් සිටියහ. මීට අරඹෙකෙම ගම්වාසීන් මෙන්ම අවට ගම්මානවල වෙසෙන ජනතාව ද එක් වී සිටියේ මේ ව්‍යසනය නිසා තමන්ට ද ඉදිරියේදී මුහණ දීමට සිදුවන ඉරණම පිළිබඳව වූ සැක සංකා නිසාය.
විරෝධතා ව්‍යාපාරය තුළ සටන් පාඨ කියමින් ඉදිරියෙන්ම සිටි; එය මෙහෙයවන්නා යැයි සිතිය හැකි වැඩිහිටි පුද්ගලයා අපට මුලින්ම සම්මුඛ විය.
අරඹෙකෙම ගම්මානයේ වෙසෙන වැඩිහිටියකු වූ ප්‍රේමරත්න (69) පවසා සිටියේ “මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ ජනවාරි මාසයේ ඉඳලා. ඒ වෙලාවේ ඒ අය අපට කිව්වේ දර අඟුරු කර්මාන්ත ශාලාවක් හදන්නයි යන්නේ. ඒ සඳහා මේ ප්‍රදේශයේ තිබෙන දර සහ ආක්‍රමණික ශාක වන කටු අන්දර, මහ අන්දර, කලපු අන්දර, කුරුමාන්න, කටුපිල ආදී ශාක බූන්දල, හම්බන්තොට, බුත්තල හා උඩවලව වනෝද්‍යාන වලින් අවසර ඇතිව කපාගෙනවිත් මෙම දර අඟුරු සකස් කිරීමට ගන්නවා කියලයි. මේකෙන් ගමේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ද උදාවන බව ඔහු පවසා සිටියා. ඉතින් අපි වුණත් කල්පනා කළේ මේ වැටිල ඉන්න ආර්ථික මට්ටමින් ගොඩ එන්න මේක හොඳ අවස්ථාවක් වේවි කියලා.
ඒ නිසා මේ වැඩේට ගම්වාසීන් මුල ඉඳන් සහයෝගය දැක්වූවා. මේසන් වැඩ අත් උදව් වැඩවල ඉඳලා සෑම කටයුත්තකටම ගමේ උදවිය අත හිත දුන්නා.
මාස කිහිපයකින් දර අඟුරු පෝරණු සකස් කරලා දැව අඟුරු නිෂ්පාදනය කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපට මෙහි බරපතළකම අවබෝධ වෙන්න පටන් ගත්තේ. මුලින් අපට දර අඟුරු කිව්වට මේකෙන් අඟුරු කරන්නේ දැව. ඇත්තම කිව්වොත් මහත්තයෝ මේ දර අඟුරු පෝරණු නෙමෙයි දැව අඟුරු පෝරණු.
මහා රූස්ස ගස් කපලා දැව කඳන් මෙතෙනට ගේන්න බාන්න ගත්තා. ඒ දැව අතර තේක්ක, බුරුත, නැදුන්, මයිල, ගංකොහොඹ, කෝන්, පළු, වීර, මාර ආදී බොහෝ වටිනා ගස් තමයි තිබුණේ. ඒ දැව කඳන් වලට මුවා වෙලා මේ අවට තිබුණු සේරම ගස් කපන්න පටන් ගත්තා. මේ යන්නේ අපේ මහපොළවේ වතුර ටික රඳන දිය උල්පත් ආරක්ෂා කරන ගස්කොළන් ටික නැති වෙන්නයි කියලා අපිට තේරුණා.
අපේ හුස්ම හිරවෙනව වගේ දැණුනා. මේ අවනඩුව කියාගෙන අපි හැමතැනම ඇවිද්දා. නොගිය තැනක් නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි පරිසර යුක්ති කේන්ද්‍රයත් මහත්තයලත් අද මෙතෙන්ට ආවේ.”
මීළඟට අප හා කතා කළේ මෙම විරෝධතා ව්‍යාපාරය අතර සිටි කහකුරුල්ලන්පැලැස්ස වාලුකාරාමාධිපති දම්පහළ අරියවංශ හිමියන්ය “මේ ගමේ ජීවත් වෙන මිනිස්සු බොහෝම අහිංසක ගොවියෝ. ඒ අයට අවශ්‍ය තමන්ගෙ වතුර ටික නැති කරන ක්‍රමවේදයක් නෙමෙයි. ඒ වතුර ටික ආරක්ෂා කරලා වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක්. එහෙව් එකේ ගමේ තියෙන ගස් ටික කපලා අඟුරු හදලා රට යවන කර්මාන්තයක් ගමට ආවම කොහොමද? චීන හා මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එකතු වෙලා පළාතේ තියෙන ගස් ටික කපලා කුට්ටි කරලා අඟුරු හදනවා.
මේක කොහොමද ඉවසන් ඉන්නේ. මේක මේ ගමේ රටේ අනාගතයට බලපාන කාරණයක්. අපි බණක් භාවනාවක් කරන් හිටියත් යැපෙන්නේ ගම්මුන් දෙන දාන වේලෙන්. ගම්මුන්ට කන්න නැතිව කොහොමද අපිට දානය දෙන්නේ. අපි කොහොමද ඒවා බලාපොරොත්තු වෙන්නේ. මේ වෙන දේවල්වලට පළාතේ ඉන්න සියලුම බලධාරීන් වගකියන්න ඕන. මේක වියළි කලාපය. මේකෙ ඉතුරු වෙලා තියෙන හුස්ම ටිකත් කපල කොටල විනාශ කරල අඟුරු හැදුවම හරියනවද? මේ පිළිබඳව කටයුතු කරන බලධාරීන්ට අවධාරණයෙන් කියන්නේ මේ අඟුරු කම්හල මෙතනින් ගලවා අයින් කළ යුතුමයි”
මේ ඉඩමට මීටර් 300 පමණ එහායින් තිබෙන උඩවලව රක්ෂිතයට අත්විය හැකි ඉරණම මොකක්ද? මේ අය ගත්තේ එක අක්කරයයි. දැන් අක්කර තුනක් විතර හෙළි කර ෆැක්ට්‍රි භූමියට එක්කර තිබෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව මේ පෝරණු විස්ස වගේ ඒකක 19ක් මේ තුළ ඉදි කරන්නයි.
එහෙම ඉදි කළොත් ඔක්කොම පෝරණු 400ක්. දිනකට දැව හෝ දර ටොන් හතරහමාරක් එක උදුනකට දමනවා. ඒත් දර ලැබෙන්නේ ටොන් එකයි. අපි දැනට තියෙන පෝරණු 20 අරන් බැලුවත් එක් අවස්ථාවක ටොන් හතරාමාර බැගින් බැලුවත් ටොන් 90ක් වැයවෙනවා. ඒත් අඟුරු ලැබෙන්නේ ටොන් 20යි. මේකට කොච්චර ඔය කියන දර දාල පිරිමහන්න ද? අනිවාර්යෙන්ම මේ ගහකොළත් ඔය උදුනේ අඟුරු වෙනවා.
අනික මේ උදුන්වලින් පිට කරන තාපය. කොයිතරම් තාපයක් මේ පොළව ගිනියම් කරාවිද කාටද කියන්න පුළුවන්. නියඟයත් එක්ක පොර බදන මිනිස්සුන්ට පොළොවෙ තියෙන දිය කඳුළත් හිඳුනම කවුද වගකියන්නේ. මේ විනාශකාරි කර්මාන්තය අපට එපා.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ පවසා සිටියේ, “මේ පිළිබඳව දැනගත් වහාම ඒ පිළිබඳ සොයා බලා, වගකිවයුතු පාර්ශ්ව දැනුම්වත් කළ බවයි. ඒ අනුව මේ ව්‍යසනකාරී කර්මාන්ත ශාලාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට හැකි වූ බව හෙතෙම පැවසීය.
මෙම දැව අඟුරු නිෂ්පාදනය සඳහා හොඳින් ලිග්නීභවනය (ලිග්නීන්හි කාබන් සංයුතිය 60%- 65% පමණ ප්‍රතිශතයක් ඇත.) වූ ශාක කොටස් යොදාගැනීම විද්‍යාත්මකව සිදු කරන අතර ඒ සඳහා තද අරටු සහිත ශාක කොටස් භාවිත කර ඇති බව ඔහු පවසයි. එසේම තද අරටු සහිත ශාක කඳන් ඇති වීම බහුවාර්ෂික ශාකවල පමණක් සිදු වන අතර ඒ සඳහා ගතවන කාලය ඉතාමත් වැඩි බවත්, ඒ නිසා බොහෝවිට මෙම අඟුරු ලබා ගැනීමට නම් හොඳින් වැඩුණු පැරණි හෝ මහා ගස් යොදාගැනීමට සිදුවන බවත්, ඒ බව ඔවුන් විසින් සඟවා ඇති බුරුත ශාක කඳන් මඟින් මනාවට වැටහෙන වන බවත් ඔහු අනාවරණය කළේය.
එම කර්මාන්ත ශාලාව පිහිටි පරිශ්‍රය වෙත ගමන් කළ අපට දැකගත හැකි වූයේ පුලුස්සා දමා ඉතිරි වූ තේක්ක කඳන් කිහිපයක් පමණි. අනෙක් සියලු දැව සහ ගල් අඟුරු ඒ වනවිටත් එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි.
එම අවස්ථාවේ මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කළමනාකරු සජිත් පවසා සිටියේ “අරඹේකෙම ගම්මානය අවටින් මේ සඳහා දර අවශ්‍යතාව ලබා ගැනීමට නොහැකි බවත්, ඒ සඳහා කටු අන්දර/කලපු අන්දර බූන්දල, හම්බන්තොට, බුත්තල හා උඩවලව වනෝද්‍යානවලින් දැව කපාගෙන එන බවත්ය. මෙම දැව අඟුරු කම්හල සඳහා අවශ්‍ය කරන දැව අවශ්‍යතාව රාජ්‍ය දැව සංස්ථාව විසින් ලබාදෙන බවට ගිවිසුම්ගතව ඇති බව ප්‍රකාශ කර සිටියේය.
මෙම කර්මාන්ත ශාලාව අයත් වන්නේ කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ අංක 51 ලිපිනයැති රීටෙක් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් (Reitech Treding (pvt) Limited)ආයතනයට බවත් ඔහු පැවසීය. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු තත්ත්ව වාර්තා ඔවුන් විසින් ලබාගත් බව මුලදී පැවසුව ද දීර්ඝව ප්‍රශ්න කිරීමේදී මේ සඳහා අවශ්‍ය පාරිසරික තත්ත්ව වාර්තාව ලබාගැනීමට මේ වන විට කටයුතු සිදු කරමින් ඇති බව හෙළි විය.
එසේම මේ දක්වා මෙම කම්හල පවත්වාගෙන ගොස් ඇත්තේ අනීතිකව බව ද ඉන් අනාවරණය විය.
මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, හේමන්ත ජයසිංහගෙන් කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ “රීටෙක් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් විසින් කළ පාරිසරික ආරක්ෂණ බලපත් ඉල්ලුම් පත්‍රයට අනුව අධිකාරියේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන ලද බවත්, එහිදී වාර්තා වූ කරුණු අනුව පරීක්ෂා කරන අවස්ථාව වනවිටත් අඟුරු නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකර නිෂ්පාදන කටයුතු සිදු කර තිබූ බවත්, අනුමැතියකින් තොරව නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය කර්මාන්තය ස්ථාපිත කර ඇති ප්‍රදේශයෙන් ලබාගෙන ඇති බවත්ය.
කර්මාන්ත ශාලාව පවතින ඉඩම උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රේරිත කලාපය තුළ පිහිටා ඇති බවත් එහිදී අනාවරණය විණි. ඒ අනුව මෙම අඟුරු නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාදීම සලකා බැලීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කර නැවත අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස දැන් වූ බවත් හෙතෙම පැවසීය.
දකුණු පළාත් වන ජීවී කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර සඳහන් කර සිටියේ “ මේ පිළිබඳව පාරිසරික ඇගැයීම් පිළිබඳ තත්ත්ව වාර්තාවක් යොමු කරන ලෙස අදාළ ආයතනය කළ ඉල්ලීම අනුව දැනුම් දී තිබූ බවත්, නමුත් එම ඇගැයීම් වාර්තාව ලබා නොදී අදාළ කර්මාන්ත ශාලාව ඉදිකර නිෂ්පාදන කටයුතු 2023 මැයි 31 වැනිදා දක්වා සිදු කරමින් පැවති බවත් පසුව නීත්‍යනූකූලව ක්‍රියාමාර්ග ගනිමින් වැල්ලවාය අධිකරණයේ මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කළ බවත්ය.
ඉදිරියේදී මේ පිළිබඳ නිකුත් කරන කොන්දේසි හා නිසි පරිදි සිදු කරන පාරිසරික ඇගැයීම් වාර්තාව අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප නිශ්ශංක විජේරත්න