ලෝක පර්යාය උඩුයටිකුරු කරන බ්‍රික්ස් සමුළුව | සිළුමිණ

ලෝක පර්යාය උඩුයටිකුරු කරන බ්‍රික්ස් සමුළුව

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සන්ධානය දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි දී ලබන අගෝස්තු මස 22 සිට 24 දින දක්වා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවට සූදානම් වෙයි. සමුළුවේ සත්කාරක රට ලෙස දකුණු අප්‍රිකාව අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයන් සහ ගෝලීය දකුණේ රටවල විවිධ සංවිධාන ඇතුළත් වන පරිදි රටවල් 69කට ඒ සඳහා ආරාධනා කොට තිබේ. ඒ අනුව මෙවර බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව ගෝලීය වශයෙන් අතිශයින්ම වැදගත් සමුළුවක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත. නව සාමාජිකයන් බඳවා ගනිමින් බ්‍රික්ස් සමුළුවේ ප්‍රසාරණය මෙන්ම බ්‍රික්ස් ජාතීන් අතර පොදු මුදලක් හඳුන්වාදීම පිළිබඳ කථිකාවත තුළ මෙවර සමුළුව ගෝලීය භූදේශපාලනය හා සම්බන්ධ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. යෝජිත නව විනිමය සංචිතය අන්තර්ජාතික වෙළෙඳාමේ දී අමෙරිකා එක්සත් ජනපද ඩොලරය විසින් පවත්වා ගෙන යන ආධිපත්‍යය අභියෝගයට ලක්කෙරෙනු නොඅනුමාන ය. 

2000 දශකය මුල, බ්‍රික්ස් පිළිබඳ සංකල්පය කරළියට පිවිසියේ බෙදා හදා ගත් පොදු වුවමනා එපාකම් සහිත, ගෝලීය කටයුතුවල දී කැපී පෙනෙන අන්දමින් ඉදිරියට පැමිණෙමින් සිටි රටවල් සමූහයක් හැඳින්වීමක් ලෙසිනි. ගෝල්ඩ්මන් සච් ආයෝජන බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ජිම් ඕ’නීල් විසින් 2001 වසරේ “බ්‍රික්” යන යෙදුම බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික ලෝක ආර්ථිකය පරිවර්තනයකට ලක්කරනු ඇති බවට අනාවැකි පළ කළේ ය. රුසියාවේ යෙකටරින්බර්ග් නගරයේ දී 2009 වසරේ පැවති එහි පළමු රාජ්‍ය නායක සමුළුවේ දී බ්‍රික් නායකයෝ තමන් හමුවේ ඇති අන්‍යෝන්‍ය අභියෝග සලකා බලමින් එම අභියෝග ජයගැනීමට අදාළ සාමූහික ඉඩ ප්‍රස්ථා සොයා බැලීමට ගිවිස ගත්හ. 2010 වසරේ දී දකුණු අප්‍රිකාව ද මෙම සන්ධානයට එක්වීමත් සමඟ බ්‍රික් යන්න බ්‍රික්ස් බවට පරිවර්තනය විය. අප්‍රිකානු කලාපයේ නියෝජනයක් ද සාමාජිකත්වයට ඇතුළත් කර ගැනීම මඟින් ලොව පුරා තම බලය තහවුරු කර ගැනීමට එමඟින් බ්‍රික්ස් සන්ධානයට හැකි විය.

චීන - රුසියානු වෙළෙඳාමේ අගය ඩොලර් බිලියන 200 ආසන්නයට ළඟා වේ

මහජන චීන ජනරජයේ රේගු පරිපාලනය විසින් අගෝස්තු 8 වන දින නිකුත් කරන ලද දත්ත වලට අනුව, මේ වසරේ ආරම්භයේ සිට චීනය සහ රුසියාව අතර වෙ‍ෙළඳාමේ අඛණ්ඩ ඉහළ යාමක් පෙන්නුම් කරයි. එම ඒජන්සිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරට සාපේක්ෂව ජනවාරි සහ ජූලි අතර ද්විපාර්ශ්වික වෙ‍ෙළඳාම 36.5%කින් වර්ධනය වී ඩොලර් බිලියන 134.5 දක්වා ළඟා විය. විශ්ලේෂණය කරන ලද කාල පරිච්ඡේදයේ, රුසියාවට කරන ලද චීන අපනයන පෙර වසරට සාපේක්ෂව 73.4%කින් ඩොලර් බිලියන 62.5 දක්වා ඉහළ ගොස් ඇත. රුසියාවෙන් චීනය සිදු කරනු ලබන ආනයනය ඩොලර් බිලියන 72 දක්වා 15.1%කින් වැඩි විය.

වසර 2022 අවසානය වන විට, රුසියාව සහ චීනය අතර වෙළඳාම වසරක් වසරක් පාසා 29.3%කින් වර්ධනය වෙමින් ඩොලර් බිලියන 190.3 දක්වා වර්ධනය වී ඇත. මෙය නුදුරේදීම ඩොලර් බිලියන 200 ඉලක්කය ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉකුත් ජූනි මස ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේදී හෙළි කළේ රුසියාව සහ චීනය අතර වෙ‍ෙළඳ බේරුම්කරණයෙන් 80%කට වඩා දැන් රුසියානු රුබල් සහ චීන යුවාන්වලින් සිදු කෙරෙන බවයි. ලොව විශාලතම බලශක්ති පරිභෝජකයා වන චීනය සහ ලොව විශාලතම බලශක්ති සැපයුම්කරු වන රුසියාව අතර බලශක්ති වෙ‍ෙළඳාම ඔවුන්ගේ දේශීය මුදල්වලින් සිදු කෙරෙන බැව් රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ප්‍රකාශ කිරීමෙන් මසකට පසු පූටින් මේ බැව් හෙළි කළේ ය.

සම්බාධකවලින් ආරක්ෂා වීම සඳහා එක්සත් ජනපද ඩොලරයට වඩා ජාතික මුදල්වලින් බොහෝ ගනුදෙනු සිදු කිරීමට දෙරටේ ගත් තීරණය මොස්කව් සහ බීජිං පාලන අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට හේතුවී ඇත. රුසියාව සහ චීනය අතර ගොඩනැඟෙන මේ සබඳතා හුදෙක් ආර්ථිකයට පමණක් සීමාව නොපවතී. විශේෂයෙන්ම දෙරට අතර ගොඩ නැඟෙමින් පවතින ආරක්ෂක සබඳතා වොෂිංටනයේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ. චීනයේ ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු අගෝස්තු මස 15 වන දින ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ මොස්කව් සමුළුව ඇමතූ අතර, මේ වසර මුල ඔහු ආරක්ෂක ප්‍රධානියා ලෙස තම භූමිකාව භාර ගැනීමෙන් පසු රුසියාවට පැමිණි දෙවන අවස්ථාව මෙයයි. මෙම හමුවීම් ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම පෙන්නුම් කරයි.

ලොව මාරාන්තිකම ලැව් ගින්නෙන් 99ක් මරුට

පසුගිය 8 වන දින රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හි පිහිටි ලහයිනා නගරය ආශ්‍රිතව මාරාන්තික ලැව් ගින්නක් පැතිර ගිය විට, බොහෝ නිවැසියෝ පුදුමයට පත් වූහ. තම නිවෙස්වල සහ මෝටර් රථවල සිරවී සිටි සමහරුන්ට අතට අහුවූ ඇඳුමක් දෙකක් හැර වෙනත් කිසිවක් නොමැතිව දිවි ගලවා ගැනීමට ඉතිරිව පැවතියේ මිනිත්තු කිහිපයක් පමණි. ලැව් ගින්නෙන් සියයකට ආසන්න පිරිසකට ජීවිත අහිමි විය.

අවම වශයෙන් පුද්ගලයන් 99 දෙනෙකුට මරු කැඳවූ ලැව්ගින්න 21 වන සියවසේ ලොව මාරාන්තිකම ලැව්ගිනි වලින් එකක් ලෙස දැන් සලකනු ලබන අතර, මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවට බලධාරීහු බිය පළ කරති. 13,000 ක පමණ පිරිසක් පදිංචිව සිටි නගරය යළි ගොඩනැඟීමට ඩොලර් බිලියන 5.5ක් වැය වනු ඇතැයි ප්‍රාන්ත බලධාරීහු පවසති.

මෑත සතිවලදී, ග්‍රීසියේ, ඉතාලියේ සහ ඇල්ජීරියාවේ ද එවැනිම ලැව් ගිනි වාර්තා වූ අතර, එහිදී ජීවිත හානි මෙන්ම දහස් ගණනක් පදිංචිකරුවන්ට මෙන්ම සංචාරකයන්ට ඉවත් වීමට සිදු විය.

මේ අතර කැනඩාවේ වයඹදිග ප්‍රදේශයන්හි (Northwest Territories) ඉදිරියට ඇදෙන ලැව් ගිනිවලින් දිවි ගලවා ගැනීමට දහස් සංඛ්‍යාත පිරිස් පලා යමින් සිටිති.

කැනඩාවේ එක් අන්තයක සිට තවත් අන්තයක් දක්වා වර්ග කිලෝමීටර් 137,000කට වඩා වැඩි ප්‍රදේශයක ලැව් ගිනි 5,700කට වැඩි ප්‍රමාණයක් පැතිර යමින් පවතින බැව් බව කැනඩාවේ අන්තර් වන ගිනි මධ්‍යස්ථානය පවසයි. කැනඩාව මේ වසරේ වාර්තාගත ලැව්ගිනි සංඛ්‍යාවකට මුහුපා සිටී.

බ්‍රහස්පතින්දා වන විට රට පුරා ලැව්ගිනි 1,053ක් ඇවිළෙමින් තිබූ අතර ඉන් අඩකට වඩා පාලනය කර ගත නොහැකි වී ඇතැයි වාර්තා වේ. වයඹ දිග ප්‍රදේශවල පැතිර යන ලැව්ගිනි 268 කින් දැනටමත් වර්ග කිලෝමීටර් 21,000කට වඩා වැඩි ප්‍රදේශයක් දැවී ඇත.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ජල හිඟයෙන් පීඩා

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන රටවල් විසිපහක් ආන්තික ජල ආතතීන්ට මුහුණ පා ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. ලෝක සම්පත් ආයතනය නිකුත් කළ නවතම දත්තවලට අනුව මෙම රටවලට තම ජල සැපයුමෙන් 80%ක් පමණ වාර්ෂිකව භාවිතයට ගැනීමට සිදුව තිබේ. යුරෝපයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ජලය සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම සමාන මට්ටමක පැවතිය ද, අප්‍රිකාවේ ජලයට ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. වසර 2050 වන විට, ලොව පුරා ජලයට ඇති ඉල්ලුම අදට වඩා 20%කින් 25%කින් පමණ ඉහළ යනු ඇත.

ජලය සම්බන්ධයෙන් වැඩිම ආතතියකට පත්ව සිටින රටවල් අතර බහරේනය, සයිප්‍රසය, කුවේටය, ලෙබනනය, සහ ඕමානය ඉදිරියෙන් සිටී. 

වර්තමානයේ ලෝක ජනගහනය බිලියන 8කි. එයින් අඩක්, එනම් බිලියන 4ක් වසරේ සෑම මාසයකදීම දැඩි ජල ආතතීන්ට මුහුණ දෙයි. වසර 2050 වන විට මෙම සියයට 60ක් දක්වා ඉහළ යා හැකි බව ලෝක සම්පත් ආයතනය පෙන්වා දෙයි.

පෘථිවියේ ශාක සහ සත්ත්ව විශේෂවලින් අඩකට වඩා භූගතව ජීවත්වන බැව් හෙළි වේ

පස මිනිසුන්ට සහ මිහිතලයට තීරණාත්මක සේවා රැසක් සපයයි. පස අපගේ කුස පිරවීම සඳහා පිඟන් මත ආහාර තබයි, ජලය පිරිසිදු කරයි, ගංවතුරෙන් අපව සුරකියි, නියඟයට එරෙහිව සටන් කරයි. පස විශාල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ග්‍රහණය කර ගබඩා කරන බැවින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ද එය ප්‍රධාන වේ. සෞඛ්‍ය සම්පන්න පසකින් තොරව ආහාර සුරක්ෂිතතාවක් සහතික කළ නොහැකි ය.

එහෙත් අප පොදුවේ දන්නා මේ කරුණුවලට අමතරව පස තවත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. නවතම අධ්‍යයනයකට අනුව, අප දන්නා සියලුම ශාක සහ සත්ත්ව විශේෂවලින් තුනෙන් දෙකක් පසෙහි ජීවත් වන අතර එමඟින් පස පෘථිවියේ වඩාත්ම සුවිශේෂී පොහොසත් වාසස්ථානය බවට පත් කරයි. මෙය පාංශු ජෛව විවිධත්වය පිළිබඳ පෙර ඇස්තමේන්තු දෙගුණයකටත් වඩා වැඩි කරන අතර පස අප සැමට කොතරම් වැදගත් ද යන්න පෙන්නුම් කරයි. ඒ අනුව, බහුවිධ තර්ජනවලින් පස ආරක්ෂා කර ගැනීම සඳහා තවදුරටත් සංරක්ෂණ උත්සාහයන් ගත යුතු බැව් පර්යේෂකයෝ අවධාරණය කරති.

වනාන්තර, හිම සහ භූ දර්ශන පිළිබඳ පර්යේෂණ සඳහා වූ ස්විට්සර්ලන්ත ෆෙඩරල් ආයතනයේ පර්යේෂකයන් සොයාගෙන ඇති පරිදි සියලුම විශේෂවලින් 59%ක් ඔවුන්ගේ පැවැත්ම සඳහා පස මත රඳා පවතී. ඒ අනුව දිලීර වලින් 90%, ශාක වලින් 86% සහ බැක්ටීරියාවලින් 40% පස තුළ ජීවත් වෙයි. මීට පෙර 2006දී කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ විශේෂ වලින් 26%ක් පමණක් පසෙහි ජීවත් වන බවකි.

Comments