ජීඑල්ගේ නිවෙසේ සාද 2කට සජිත් ගිහින් | සිළුමිණ

ජීඑල්ගේ නිවෙසේ සාද 2කට සජිත් ගිහින්

මහාචාර්ය ජී.එල් පීරිස් විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ලබාදුන් රාත්‍රී භෝජන සංග්‍රහ දෙකටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගීවීම දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ කතාබහකට ලක්වූ කරුණක්ව තිබේ.

විපක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ දැඩී තීන්දු කිහිපයක් ගැන සාකච්ඡා වූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහ දෙකම මහාචාර්ය ජී.එල් පීරිස්ගේ පෞද්ගලික නිවසේ පැවැත්වී ඇති අතර, විපක්ෂ නායකයාට අමතරව, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ලක්ෂ්මන් ෆොන්සේකා ද ඊට සහභාගී වී සිටිම ගැන ද දේශපාලන ක්ෂේත්‍රය කැළඹීමට හේතුවී තිබේ.

ජී.එල් පීරිස් ගේ කණ්ඩායම වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර හා ලලිත් එල්ලාවල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම භෝජන සංග්‍රහයට සහභාගී වී සිට ඇත. එම භෝජන සංග්‍රහ දෙකෙන් එකකට රංජිත් මද්දුම බණ්ඩාර සහභාගී වී සිට ඇති අතර, විපක්ෂ නායකයාගේ හිතවතකු වන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා භෝජන සංග්‍රහ දෙකටම සහභාගී වී තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනුදෙනු කරමින් සිටින නිසා ඩලස් පිල ඉක්මනින් සමගි ජන බලවේගය සමඟ එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදි යෝජනා කර ඇත. එවිට විපක්ෂය බලවත් වීම මත මෙම ගනුදෙනු නතර කළ හැකිවනු ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.

Comments