එල්නිනෝ සංසිද්ධියෙන් කාලගුණයට දැඩි බලපෑම් | සිළුමිණ

එල්නිනෝ සංසිද්ධියෙන් කාලගුණයට දැඩි බලපෑම්

ශ්‍රී ලංකාවට මේ වන විටත් බලපා ඇති එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් දිවයිනට සාමාන්‍ය වැසි ලැබීමේ තත්ත්වය වෙනස් වෙමින් පවතින බවත්, මැයි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ නිරිතදිග මෝසම් තත්ත්වය සමයේදී ද ලැබෙන වැසි තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට ප්‍රකාශ කළේය. මෙය 2015 වසරේදී පැවැති එල්නිනෝ තත්ත්වයට බෙහෙවින් සමාන බවත් මෙම එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ද මෙවරත් අඩු වර්ෂාපතන තත්ත්වයක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

2024 වසරේ අග දක්වා විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන බව අවධාරණය කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ දෙසැම්බර් අග සිට ආරම්භ වන ඊසාන දිග මෝසම් කාලයට ද දිවයිනට අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බවයි.

මේ තත්ත්වය මත වැසි නොලැබීමේ තත්ත්වය 2024 වසරේ අප්‍රේල් දක්වා දිවයන බවත් ඔක්තෝම්බර් සිට දෙසැම්බර් අතර කාලයේ දිවයිනටම බලපැම් හැකි බෙංගාල බොක්ක අවට කලාපයේ ඇතිවන සුළි කුණාටු හා අඩු පීඩන තත්ත්වයන් ඇති බව බවත් ඒ පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ අදාළ දින 10 ක් ඇතුළත කාලයක බවත් හෙතෙම හෙළි කළේය.

මේ අතර දැනට පවතින අධික නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක ජීවත්වන 183,050කට පානීය ජය හිඟයකට මුහුණ පාන්නට සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ නියඟයෙන් කුඹුරු අක්කර 37,000 පමණ විනාශ වී ඇති බවත්, එයින් වැඩිම හානිය කුරුණෑගලට බවත්ය.

Comments