ඥානය, කථිකත්වය, ව්‍යාපාර ඥානය, කථිකත්වය, ව්‍යාපාර දක්ෂතා හෙළි කරන බුධ මණ්ඩලය | සිළුමිණ

ඥානය, කථිකත්වය, ව්‍යාපාර ඥානය, කථිකත්වය, ව්‍යාපාර දක්ෂතා හෙළි කරන බුධ මණ්ඩලය

සුළඟිල්ල නමින් හඳුන්වන ලබන ඇඟිල්ල බුධ ග්‍රහයාට අයත් වේ. බුධ ඇඟිල්ල කියන්නෙත් මෙම ඇඟිල්ලටමය. එම ඇඟිල්ලට පහළින් උස්ව ඇති ගොඩැලි ප්‍රදේශය බුධ මණ්ඩලය නමින් හැඳින්වෙයි. මෙවර අප විස්තර කරන්නේ එම බුධ මණ්ඩලය පිළිබඳවයි. බුධ ග්‍රහයාගෙන් නිකුත් වන තරංග ක්‍රියාකාරිත්වය ගබඩා කරන ස්ථානය ලෙස බුධ මණ්ඩලය දැක්විය හැකිය. යම් අයෙකුගේ සිහි බුද්ධිය, වාග් චාතුර්යය, ව්‍යාපාරික දක්ෂතා පිළිබඳව නිපුණත්වය එමඟින් පෙන්නුම් කෙරේ.

බුධ මණ්ඩලය මනා ලෙස හොඳින් වැඩී ඇත්නම් බුධ ග්‍රහයාගෙන් ලැබෙන බලපෑම වැඩිය. බුධ මණ්ඩලය දුර්වල වීම බුධගේ බලපෑම අඩු වීමට හේතුවෙයි. හොඳින් වැඩී ඇති බුධ මණ්ඩලයට ලම්භාකාර රේඛාවකින් වැටී ඇත්නම් බුධ ග්‍රහයාගේ යහපත් ප්‍රතිඵල වඩාත් ප්‍රබල වේ. කෙනෙකුගේ උත්සාහය මත එම රේඛාව පෙනීමට හෝ නොපෙනීමට ඉඩ ඇත. මෙම ලක්ෂණය පැහැදිලිව ඇත්තේ නම් පුද්ගලයාට චතුර කථිකත්වයක් ඇති වෙයි. එමෙන්ම තීක්ෂණ බුද්ධියක් මෙන්ම ව්‍යාපාරික අංශයෙන්ද සහජ දක්ෂතාවක් පෙන්නුම් කරයි. උසස් නිර්මාණ ශක්තියෙන් පරිපූර්ණ ඔවුන් ඉතා වාසනාවන්තයෝ වෙති.

බුධ මණ්ඩලය දුර්වල නම් විසිරී ගිය ආකාර නම් කථිකත්වයෙන් දුර්වලය. ඔවුන් ගන්නා තීරණ ද යහපත් නොවේ. බුධ ඉතා සෙමින් ක්‍රියාත්මක වන ග්‍රහයෙක් බැවින් ප්‍රතිඵල ලැබෙන්නේ ඉතා සෙමිනි. නමුත් යමෙකුගේ කුජ මණ්ඩලයද මනා ලෙස පිහිටි කුජ ග්‍රහයාගේ බලයද හිමි වුයේ නම් බුධ ග්‍රහයාගේ මනා ක්‍රියාකාරිත්වයක් ඇති විය හැක. ඥානය යොදා කරන සියලු කටයුතු සාර්ථක වේ. විශේෂයෙන් ලේඛන කලාව, කාව්‍යකරණය වැනි ක්ෂේත්‍රයන්හි දියුණුවට හේතු වෙයි. වෙළෙඳ ව්‍යාපාරවල දියුණුවක් සැලසෙන අතර එම ස්ථානවල ඉහළ තනතුරු හිමි වීමට ද හැකියාව ලැබෙයි. බුධ මණ්ඩලය උස්ව තිබෙන විට එය උල් ඇඟිලි අතක් වී නම් හෙතෙම චතුර ලෙස කතා කිරීමට දක්ෂයෙක් වෙයි. ඇඟිලි අග හතරැස් ආකාර නම් දක්ෂ විහිළුකාරයෙක් හෝ තර්කකාරයෙක් වෙයි. ඇඟිලි අග ඝනව තරව තිබේ නම් ඔහු අදහස් ගෙනහැර දක්වා කතා කිරීමේ දක්ෂයෙකු වෙයි. ක්ෂණයකින් යම්කිසි දෙයක් අවබෝධ කර කර ගැනීමේ ශක්තිය ඔවුන්ට ඇත. විශාල ජනතාවක් ඉදිරියේ වුවද කතා කිරීමට ඔවුන්ට සබකෝලයක් නැත. නිවැරදි දෙය කතා කිරීමට ඇති හැකියාව ඔවුන් ජන්මයෙන් ලද දායාදයක් වෙයි. මේ නිසා බොහෝ අයගේ ප්‍රසාදයට ලක්වෙයි.

විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍ර කෙරෙහිද වැඩි ළැදියාවක් දක්වයි. උසස් ගණිතඥයන් මේ තුළින් දැකිය හැක. මේ සියල්ලටම වඩා ඔවුහු දක්ෂ ව්‍යාපාරිකයෝය. බුධ මණ්ඩලය රවි හෝ ගුරු මණ්ඩලයන් හා එක්ව පිහිටා ඇත්නම් උසස් ජයග්‍රහණ කරා යොමු කරයි. බුධ මණ්ඩලය ප්‍රබලව ඇත්නම් වියපත් භාවයට පත් වුවද තාරුණ්‍ය බවක් පෙන්නුම් කරයි. බුධ මණ්ඩලය ප්‍රමාණයට වඩා උස නම් හෙතෙම අසත්‍යවාදී වූද, චණ්ඩ වූද, රැවටිලි කාරයෙක් වෙයි. මෙම ස්ථානයේ බොහෝ රේඛාවන් ඇති වී නම් එම පුද්ගලයා උසස් අයෙක් බව ප්‍රකට කරන අතර එම රේඛා හෘදය රේඛාව හා එක්වේ නම් ඔහු දුගී මගී යාචකාදීන්ට හැම විටම සරණ වන පරිත්‍යාගශීලී අයෙක් වෙයි. ඉහත ආකාර රේඛා යම් ස්ත්‍රියකගේ අතේ ඇත්නම් ඇය වාසනාවන්ත විවාහ ජීවිතයකට හිමිකම් කියන්නීය.

යමෙකුට දුබල බුධ මණ්ඩලයක් පිහිටියේ නම් එය අය අන්‍යයන් බොරුවෙන් රවටන්නෙකු මිස සැබෑ සත්‍යවාදියෙකු නොවේ. සූදු, ලොතරැයි, ඔට්ටු ඇල්ලීම් වැනි ක්‍රීඩාවලට ඇලුම් කරන ඔවුහු එමඟින් මුදල් නාස්ති කර ගනී. තම හැකියාවන් වංචා සහගත ක්‍රියාවන් සඳහා යොදා ගැනීමට ඔවුන් දක්ෂය. ගැට කපන්නන් ආදීන් වැටෙන්නේ මෙම දුර්වල බුධ මණ්ඩලයක් ඇති අයගේ ගණයටය. කිසියම් නිගමනයකට එළඹීම පළමු මණ්ඩල හොඳින් පිහිටා තිබේද යන්න හොඳින් පරීක්ෂා කළ යුතුය. අත දෙස බලා ක්ෂණික තීරණ ගැනීම සුදුසු නොවන අතර සෘණාත්මක පිළිතුරක් දීමට පළමු අත් දෙකම පරීක්ෂා කිරීම වැදගත් වේ.

බුධ මණ්ඩලය මත සිරස් අතට ගිය රේඛාවක් ඇත්නම් බලාපොරොත්තු නොවූ ධනයක් හිමි විය හැක. එම රේඛාව ගැඹුරින් පිහිටියේ නම් විද්‍යාත්මක පර්යේෂණවලින් ප්‍රසිද්ධ වේ. රේඛා වැඩි ගණනක් ඇත්තේ නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබෙයි. බොහෝ විට කාන්තාවන්ගේ අත්වල මෙම සලකුණු ඇති නම් හෙදි වෘත්තිය රැකියාව වශයෙන් ලැබිය හැක. බුධ මණ්ඩලයේ පිහිටි කුඩා තිතකින් ව්‍යාපාර පිරිහීමක් පෙන්නුම් කරන අතර තරු සලකුණකින් උකහා ගැනීමේ බුද්ධිය හා තියුණු මතකය පෙන්නුම් කෙරේ. එවැනි තරු සලකුණක් දුබල බුධ මණ්ඩලයක් තුළ පිහිටියහොත් අන්‍යයන් රැවටීමේ ප්‍රවණතාවක් ඇත. කවයක හැඩය සුබ නොවන අතර විෂ ශරීරගත වීමෙන් ඇතිවන අනතුරක් එමඟින් ප්‍රකට කරයි. චතුරස්‍ර සලකුණකින් ආරක්ෂාකාරී බව හෙළි කරයි.

Comments