
කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ මෙවර මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේ දී අගෝස්තු 25 සිට 30 දක්වා පැවැත්වෙන්නේ වසර තුනක නිහැඬියාවකට පසුව ය. දශක තුනක් තිස්සේ නාට්‍ය කලාව වෙනුවෙන් සිය ජිවිතය කැප කළ එම්. සෆීර් මේ දැවැන්ත කාර්යයේ නියමුවා ය. මීට දශක පහ හයකට පෙර මෙරට නාට්‍ය සම්ප්‍රදායේ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් පැවැතියා යැයි කියමින් අතීත කාමයෙන් යුතුව අප කරන කතාබහට සජීවී නව ආරක් මේ ඔස්සේ උරුම වනු ඇතැයි නාට්‍යලෝලීන්ගේ ප්‍රමුඛතම බලාපොරොත්තුවයි. මේ ඒ දැවැන්ත ක්‍රියාදාමය පිළිබඳ එහි නියමු එම්. සෆීර් සමඟ කරන ලද සංලාපයෙක සංක්ෂිප්තයයි.
කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ මෙවර පැවැත්වෙන්නේ වසර තුනකට පසු. සහභාගී වෙන රටවල් සහ එහි විශේෂත්වය?
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මෙවර පැවැත්වෙන්නේ නවවැනි වරට. ඒ අගෝස්තු 25 ඉඳන් 30 දක්වා. මෙවර ඒ සඳහා ඉන්දියාව, පෝලන්තය, ටියුනීසියාව, ස්පාඥ්ඤය, බංග්ලාදේශය සහ රොමේනියාව වැනි රටවල් සහභාගි වෙනවා. සමස්තයක් හැටියට විදේශීය නාට්‍ය හතක් සහ දේශීය නාට්‍ය හයක් පෙන්වීමට නියමිතයි. 2019 ට පස්සෙ අවුරුදු තුනකින් අනතුරුව මේ වසරේ තමයි කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ පැවැත්වෙන්නේ.
අපි හැම වසරකම වගේ උත්සාහ කරන්නෙ අලුත් රටවල්වල නාට්‍ය මේ රටට හඳුන්වා දෙන්න. ඒවගේම ඒ රටවල නාට්‍යකරුවන්ට ලංකාවේ නාට්‍ය කලාව ගැන යම් අදහසක් ලබා දෙන්න. ඒ වගේම අලුත් නාට්‍යකරුවන් හඳුනා ගන්න මේ රටේ නාට්‍යවේදීන්ට අවස්ථාවක් සම්පාදනය කිරීමත් මෙහි අරමුණක්. මම දන්න අවුරුදු 35ක විතර ඉතිහාසයේ ටියුනීසියා නාට්‍යයක් පෙන්නලා නෑ. රොමේනියාවෙ නාට්‍යයක් නම් පහුගිය අවුරුද්දක ලංකාවේ පෙන්නුවා. පෝලන්තයේ, ස්පාඤ්ඤයේ නාට්‍ය ලංකාවට මේ වෙනතෙක් ඇවිත් නෑ. ඒ අවස්ථාවල ආවෙත් කොළඹ අන්තර්ජාතික නාට්‍ය උලෙළටම තමයි. ලංකාවේ තියෙන විදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවල මැදිහත් වීමෙන් කිහිපවරක් විදෙස් නාට්‍ය පෙන්නලා තියෙනවා.
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ ඉතිහාසය ගත්තොත් අපි කණ්ඩායම් 60ක් 70ක් විතර ගෙන්නලා තියෙනවා. රටවල් වශයෙන් ගත්තොත් තිහක් හතළිහක් වගේ ඇවිත් තියෙනවා.
මෙවර එය පැවැත්වෙන්නේ මොනො ඩ්‍රාමා අංශයට විශේෂිතව. මොකද්ද ඒකට හේතුව?
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මෙවර පැවැත්වෙන්නේ මොනො ඩ්‍රාමා තරගාවලියක් විදියට. ඒ කියන්නේ ඒක පාත්‍ර නාට්‍ය තරගාවලියක්. ඒ කියන්නෙ වේදිකාවේ සිටිය හැක්කේ එක් නළුවෙක් හෝ නිළියක් පමණයි. මොනො ඩ්‍රාමා කියන එක ලංකාවට අලුත්. නමුත් ලෝකෙට අලුත් සංකල්පයක් නොවෙයි. ඒක විශේෂ නාට්‍ය ප්‍රබේදයක්. ජාත්‍යන්තර නාට්‍ය ආයතනය පවා මොනා ඩ්‍රාමා සම්බන්ධව විශේෂ කතිකාවක් හදන්න කමිටුවක් පත් කරලා තියෙනවා. මගේ අනාවැකිය නම් ඉදිරි දශකය ඇතුළත දී ලෝකයේ ජනප්‍රියම නාට්‍ය දහරාව වෙන්නේ මොනො ඩ්‍රාමා. ජාත්‍යන්තර තලයේදීත් ඒක පහසුවක්. නැත්නම් නළු නිළියන් දහයක් පහළොවක් ඉද්දි අවශේෂ ශිල්පීනුත් එක්ක ගත්තම විශාල සංඛ්‍යාවක්. ඒක දරන්න අපහසු පිරිවැයක් සහිත එකක්. වසර තුනකට පසුව මේ උලෙළ කරද්දි අපිත් මේ ගැන විශේෂ අවධානයක් යොමු කළා. රටේ ආර්ථික, දේශපාලන හා අවශේෂ ගැටලු දිහා බැලුවහම අපිටත් හිතුණෙ මේ වෙලාවෙ හොඳම දේ මේක කියලා. ඒ නිසා කළමනාකරණය කිරීමේ පහසුවක් අපට ලැබුණා.
අපි ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට සමගාමීව සම්මාන උලෙළක් සංවිධානය කරනවා. එතකොට අපි තමයි ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ප්‍රදානයක් කරන්නේ.
අන්තර්ජාතික රංග කලා උලෙළේදී පෙන්වන ලංකාවේ නාට්‍ය මොනවද? ඒවා තෝරා ගැනීමට හේතු මොනවද?
ලංකාවේ නාට්‍ය 6ක් පෙන්වනවා. ඒවා ඔක්කොම මොනො ඩ්‍රාමාස්. 2021 වසරේ වසංගත සමයේ බොහොම අමාරුවෙන් අපි තරුණයන්ගේ නාට්‍ය උළෙලක් පැවැත්වුවා මොනො ඩ්‍රාමා උලෙළ කියලා. ඒකෙ හොඳම නාට්‍ය සහ හොඳම පිටපත වුණු ‘ද ටයර්‘ සහ ‘ටික් ටික්‘ කියන නාට්‍ය දෙක මෙහිදී පෙන්වනවා. ඊට අමතරව සමස්ත ලංකා නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය වුණු අසඩක්ට වෙඩි තියනු කියන නාට්‍යයත්, නව නිර්මාණකරුවන් දිරි ගැන්වීම වෙනුවෙන් ඊක්වල් ෆිලින්ග් සහ ඉන්වික්ෂන් කියන නාට්‍ය දෙකත් මෙහිදී පෙන්වන්න නියමිතයි. හයවැනියට පෙන්වන්නේ අන්ටච්ඩ් කියන නාට්‍යය. ඒ නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් තමයි අන්තර්ජාතික රංග කලා උලෙළ ආරම්භ වෙන්නේ. අන්ටච්ඩ් කියන්නේ 2021 ඊජිප්තුවේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍ය බවට පත් වුණු නාට්‍යය. ඉතිහාසයේ පළමු වතාවට නාට්‍ය සම්බන්ධ ජාත්‍යන්තර සම්මානයක් ලැබුණෙ ඒ නාට්‍යයට.
ඔබ දශක තුනක් තිස්සේ මේ සඳහා කැපවෙනවා. ලංකාවේ නාට්‍ය උන්නතිය වෙනුවෙන් ඔබට මේ තියෙන උණ මොකද්ද?
මේක උණකට වඩා පිස්සුවක් කිව්වොත් නිවැරදියි. දැන් අවුරුදු 32ක් තිස්සෙ මම නාට්‍ය කරනවා. ඒක නාට්‍ය කලාවෙ උන්නතිය වෙනුවෙන් ම කළා ද කියන එකට මොකද්ද දෙන උත්තරය කියලා මම දන්නෙ නෑ. මම නාට්‍ය කලාව ඇතුළෙ යම් යම් දේවල් කරන්න උත්සාහ කළා. එක පැත්තකින් මට පුළුවන් වුණා සහභාගීත්ව රංග කලාව සහ බ්ලැක් බොක්ස් තියටර් සංකල්පය හඳුන්වා දෙන්න. තව මට පුළුවන් වුණා ඔබ්ජෙක්ට්ස් තියටර් සංකල්පය හඳුන්වා දෙන්න. ඊළඟට මේ ජාත්‍යන්තර රංග කලා උලෙළ.
මුලින්ම මට ඕන වුණේ මුස්ලිම් ජාතිකයෙක් විදියට සිංහල හොඳට ඉගෙන ගන්න. ඊළඟට මට ඕන වුණේ කලාව සෞන්දර්ය එක්ක වැඩ කරන්න. ඒ සංක්‍රමණය හරහා මට ලැබුණු එක දෙයක් තමයි නාට්‍ය කලාව. ලංකාවේ මුස්ලිම් ජාතිකයෝ පස්දෙනෙක්වත් නෑ නාට්‍ය කලාවේ නියැළෙන සහ නියැළුණු. මම පොත් 17ක් විතර ලිව්වා. නාට්‍ය 50ක් විතර කළා. ඒකෙනුත් ජාත්‍යන්තර නාට්‍ය 5ක් කළා. චිත්‍රපටයකුත් කළා. ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් කරන්න මට අවස්ථාවක් ලැබුණා නම් ඒ සියල්ලම ඒ උණේ ප්‍රතිඵල. සහලවලා උණ ගත්තම කරපු දේ තමයි ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සංවිධානය කිරීම. නාට්‍ය උණ කියන එක හරහා මම මේ රටේ දස දහස් ගණනක් තරුණයන්ට උගන්නලා තියෙනවා. සිය ගණනක් රට රටවල්වලට යවලා තියෙනවා. සැලකිය යුතු පිරිසකට ජාත්‍යන්තරය හා ගනුදෙනු කරන්න අවස්ථා හදලා දීලා තියෙනවා. ඒ ඔක්කොම මේ උණේ ප්‍රතිඵල. එ්ක මම ආස උණක්. අපි සිහින දැකපු නාට්‍ය කලාව තවමත් වෙනසක් වෙලා නැහැ කියලයි හිතන්නෙ
අපි ලේසියට රටවල් 7ක් එනවා කිව්වට මෙහි සංවිධාන කටයුතු ලේසි නෑ. කොහොමද මේ ගැන සූදානම?
2008 ඉඳන් 2019 දක්වා අඛණ්ඩව මේක කරන් ආවා. එතන ඉඳන් වසර තුනක් අපට මඟ හැරුණා. ඉතින් මට හිතුණා තවදුරටත් මගේ අතින් මේ නාට්‍ය උලෙළ ගිලිහුණොත් මේක නතරම වෙලා යාවි කියලා. රටවල් 7 ද 10 ද 20 ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. මේ අය ගෙන්වන එක ලේසි වැඩක් නොවෙයි. එයාලගෙ පහසුව සහ ආරක්ෂාව වගේම රංග ශාලාවල ප්‍රමිතියත් බලන්න ඕන. මේ එන නාට්‍ය කණ්ඩායම අපහසුතාවට පත් කරන කිසිම දෙයක් වෙන්න බෑ. ඉතින් මේ උලෙළේ අධ්‍යක්ෂවරයා වශයෙන් මම සහ මගේ කණ්ඩායම ඒ ගැන හොඳ සූදානමකින් ඉන්නෙ. අපට මොන ප්‍රශ්න මොන දේවල් ආවත් අපි මේ වැඩේ හරියටම කරනවා.
ඔබ අන්තර්ජාතික සම්මානලාභී නාට්‍යකරුවෙක්. ලංකාවට නව නාට්‍ය ප්‍රවණතා හඳුන්වා දුන් කෙනෙක්. ලංකාවෙ නාට්‍යකරුවෙක් වීම පහසු වැඩක්ද?
ලංකාවේ නාට්‍යකරුවෙක් වීම තමයි අපහසුම දේ. දිග පළල බැලුවම ඒක වැඩක්ම නැති දෙයක් විදියටයි තේරෙන්නෙ. මූලිකම නාට්‍ය කලාව වෘත්තියක් හැටියට මේ රටේ පිළිගන්නෙ නෑ. අනිත් පැත්තෙන් රංග ශාලා නැහැ. තියෙන රංග ශාලා වැහෙමින් යනවා. දශක දෙකක් ඇතුළත එකම එක රංග ශාලාවක් විතරයි මේ රටේ හැදුණෙ. ඒ නෙලුම් පොකුණ විතරයි. ජෝන් ද සිල්වා රඟහල දැන් දශකයක විතර ඉඳන් වහලා. ලුම්බිණි එක අඩපණයි. කොළඹ තියෙන්නෙ රංග ශාලා දෙක තුනයි. මේ වගේ පසුබිමක් යටතෙත් අපි නාට්‍ය කරනවා කියන්නෙ වෙනම වැඩක්.
ඔබ නිතර කියනවා නාට්‍යකරුවාට කුඩම්මගෙ සැලකිලි කියලා. හැබැයි අපි පටන් ගන්නෙම දැවැන්ත නාට්‍ය ඉතිහාසයක් ගැන කතා කරමින්. ඔබ පරාක්‍රම නිරිඇල්ලගෙ සෙක්කුව අරන් පේරාදෙණියට යනවා. අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් නරඹන්න එනවා. ඔබේ මතයත් එක්ක මේ තත්ත්වය ගැටෙන්නෙ නැද්ද?
නාට්‍යකරුවාට කුඩම්මාගේ සැලකිල්ල සහ අතිවිශාල ප්‍රේක්ෂාගාරයක් සිටීම කියන එක දෙකක්. පසුගිය අවුරුද්ද ඇතුළත අපි හැරිලා බැලුවොත් ප්‍රේක්ෂාගාරයේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. වෙනදාට වඩා අපට ප්‍රේක්ෂාගාරයක් ඉන්නවා. සෙක්කුව බලන්න පේරාදෙණිය පිරෙන්න ප්‍රේක්ෂක පිරිසක් හිටියා. හැබැයි අපි ජාත්‍යන්තර නාට්‍ය වේදිකා හදලා තියෙනවාද? කොළඹින් පිට නාට්‍ය ශාලා තියෙනවද? සෙක්කුව අරන් පිටට ගියාම ඒකට අවශ්‍ය පහසුකම් තියෙනවාද? නාට්‍ය ශාලා නෙවෙයි ඒවා විවාහ මංගල උත්සව පවත්වන ඒවා. නාට්‍යකරුවා වෙනුවෙන් ඇගට දැනෙන යමක් තාමත් මේ රටේ කෙරිලා නෑ. තාමත් ඉන්නෙ මගේ ඒ මතේම තමයි. කුඩම්මාගේ සැලකිල්ලක් තමයි තියෙන්නෙ.