මරා - සාද් | සිළුමිණ

මරා - සාද්

මරාසාද් යනු පිටර් වයිස් නම් පසුව ස්විඩන් ජාතිකත්වය ලබාගත් ජර්මානු ජාතික නිර්මාණකරුවා විසින් ලියා 1965 දී නිෂ්පාදනය කරන ලද Die Verfolgung und Ermordung Jean Paul Marats dargestellt durch die Schauspielgruppe des Hospizes zu Charenton under Anleitung des Herrn de Sade (සාද් ඈපානන්ගේ අධ්‍යක්‍ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ශෝන් පෝල් මරාගේ වද විඳීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරුයි) නම් නාට්‍යයේ ඉංග්‍රීසි කෙටි නමයි. මේ නම සකසා ගැනෙන්නේ එම නාට්‍යයේ එන මරා සහ සාද් නම් වූ ප්‍රධාන චරිත දෙකේ නම්වලිනි.

මෙම නාට්‍යය නිර්මාණය වී ඇත්තේ ශෝන් පෝල් මරාගේ (1743 - 1793) මරණය වටා ය. මරා යනු ස්විට්සර්ලන්තයේ උපන්, පසුව පැරීසියේ ජීවත් වූ විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක් මෙන් ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වෙයි. ඔහු කලක් පැරිසියේ අධිකරණ වෛද්‍යවරයා ලෙස ද රාජකාරි කොට තිබේ. 1789 සිට 1799 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ප්‍රංශ විප්ලවය සඳහා ඔහු වැදගත් මෙහෙවරක් ඉටු කළේය. ප්‍රංශ විප්ලවය මෙහෙය වූ සහ 1793 ජුනි මාසයේ දී ප්‍රංශයේ බලය අල්ලාගත් ජැකෝබියානු විප්ලවවාදීන්ට සහාය දැක් වූ අය අතුරින් මරාට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. කිරීටය කැරලිකරුවන්ගෙන් බේරා ගැනීම පිණිස සටන් වැද සිටි රජ පරපුරට සබඳකම් තිබූ චාලට් කොර්දේ නම් තරුණ ස්ත්‍රියක් ඔහු වෙත පැමිණ සිරියකින් ඇන ඔහු ඝාතනය කරන ලද්දේ කැරලිකරුවන් විප්ලවය ජයගෙන දින අටක් තුළ දී ය. චාලට් කොර්දේ යනු වැරින්ටන් සායනයේ ප්‍රතිකාර ලබන නේවාසිකාවකි.

ඒ වනවිට සිය චර්ම රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි මරා ඊට ප්‍රතිකාර වශයෙන් තමා බැස සිටි නාන බේසමක සිට ගිලටීනය වෙත ගෙන යා යුතු අයගේ නම් ලැයිස්තුවක් සකසමින් සිටියේ ය. පසුව චාලට් පවසා ඇත්තේ තමා ඔහු ඝාතනය කිරීම නිසා ලක්‍ෂයක් පමණ දෙනාගේ ජීවිත ගැලවුණු බවය.

මාක්විස් ඩි සේඩ් (1740 - 1814) හෙවත් මේ නාට්‍යයේ දෙවන ප්‍රධාන චරිතය වන සාද් ඈපාණන් (Donatien Alponse Francois de Sade) යනු මරාගේ සමකාලිනයකු වූ ප්‍රංශ ජාතික කුලීනයෙකි. ඔහු නිර්මාණශීලීි නාට්‍ය නිෂ්පාදකයකු හා ලේඛකයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ නමුත් නමුත් ආගමට පරිභව කිරීම, ප්‍රචණ්ඩත්වය සහ විශේෂයෙන් ම කාමුකත්වය ඉස්මතු වන දෑ ඇතුළත් ඔහුගේ ඇතැම් නිර්මාණ සදාචාර විරෝධී ඒවා ලෙස සැලකුණෙන් සිපිරිගත කරනු ලැබී ය. පසුව ඔහු බැස්ටීල් බන්ධනාගාරයේ වැරින්ටන් සායනයේ උපදේශකයකු ලෙස ඇතුළත් කරනු ලැබී ය. ඔහුට පැවරී තිබුණේ සිරකරුවන්ගේ මානසික තත්ත්වය වැඩි දියුණු කිරීිම සඳහා කටයුතු කිරීමයි. උමතු රෝගීන් වෙනුවෙන් ඔවුන්ගේ සහභාගිත්වයෙන් නාට්‍ය නිෂ්පාදනය මෙහිදී ඔහුට පැවරී තිබිණි. ප්‍රංශ විප්ලවයේ දී ඔහු අනුගමනය කළේ වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රතිපත්තියක් බව ද කියනු ලැබේ. පරපීඩා කාමුකත්වය යන අරුත් ඇති sadism යන වදන ඉංග්‍රීසි බසට එක් වූයේ ඔහුගේ නමින් බව පැවසේ.

මරාගේ අවමගුලේ දී ඔහු විසින් කතාවක් පවත්වන ලදැයි කියැවේ. 

මරා යනු කැරලිකරුවන්ට පක්‍ෂ කමියුනිස්ට්වාදියකු බවත් සාද් යනු එසේ නොවන අවස්ථාවාදියකු බවත් ඔවුන්ගේ ජීවන පැවතුම් ඇසුරින් වටහා ගත හැකි ය.

මරා - සාද් එකට ගොනු කිරීම ගැන නාට්‍ය රචක පීටරි වයිස් කියන්නේ මෙවැන්නකි. “මෙම නාට්‍යයට විෂයය වන්නා වූ සාද් මරා හමුව හුදෙක් එක් සත්‍යයක් පමණක් එනම් මරාගේ අවමංගල්‍යයේ දී අවමංගල දේශනය පැවැත් වූයේ සාද් ය යන්න පමණක් පාදක කොට ගත් පූර්ණ මන:කල්පිතයකි. මේ දේශනයේ දී පවා මරා කෙරේ වූ ඔහුගේ ආකල්පය කෙබඳු වී ද’යි සැක සහිත ය. මූලික වශයෙන් ඔහු මේ දේශනය කළේ ඇඟ බේරා ගැනීමට ය. මේ කාලය වනවිට ඔහු අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා සිටියේ ය. ගිලටිනයට තෝරා ගත් අයගේ ලේඛනයේ ඔහුගේ නම ද තිබුණේ ය.

සාද් සහ මරා මුණ ගැස්වීමෙහිලා මා ඇලුම් කළේ අති අන්තයට ගිය පුද්ගලවාදයත්, දේශපාලන හා සමාජයීය සංක්ෂෝභය පිළිබඳ කල්පනාවත් අතර පවත්නා ඝට්ටනය විසිනි. විප්ලවය අවශ්‍ය බව සාද් පවා දැන සිටියේ ය. ඔහුගේ කෘති තනිකරම දූෂිත පාලක පන්තිය වෙත එල්ල වූ අති ප්‍රහාරයෝ වූහ.

මරා ගැන ඔහුගේ සඳහන මෙපරිද්දෙනි. “නාට්‍යයේ දිස්වන මරාගේ වදන් ඔහු ඉතිරි කොට ගිය ග්‍රන්ථවල අන්තර්ගතයට අනුරූප වන අතර බොහෝවිට ප්‍රකාශයන් යථා පරිදි ම යොදා ඇත. 19වන සියවසේ දී ධනවාදි ඉතිහාසඥයින් විසින් මරා චිත්‍රණය කොට තිබුණේ ඔහු තරම් අති පිළිකුල්, ලේ පිපාසිත පුද්ගලයකු ප්‍රංශ විප්ලවයට සම්බන්ධ වූවන් අතර තවත් නොසිටියේ ය යන හැඟීම දෙමිනි. ධනවාදී ඉතිහාසඥයින්ගේ මෙම චිත්‍රණය පුදුමයක් නොවන්නේ සංකල්ප අතින් එසමයේ වුව ඔහු මාක්ස්වාදය වෙත ගමන් කරන්නකු සේ පෙනී යාම නිසාවෙනි. ‘ආඥාදායකයා අවලංගු කළ යුතුයි’ සහ ‘ස්වාමිවරුන් සහ වහලුන් සම්බන්ධ සියල්ලම මම පිළිකුල් කරමි‘ වැනි ඔහුගේ ප්‍රකාශ ඔහුගේ විරෝධය පළ කරන නමුත් ඔහුගේ අදහස් ද ආඥාදායකත්වයට අති සමීප විය. ඒ අදහස් කෙළින්ම මාක්ස්වාදය කරා යොමු වන ඒවා ය.”

අවසානයේ චාලට් කොර්දේ විසින් මරා ඝාතනය කරනු ලබන්නේ ඔහුට ආටරෝපණය කැරුණු එම ක්‍රෑරත්වය නිසාවෙනි.

මෙම නාට්‍යය මරාසාද් නමින් සුගතපාල ද සිල්වා විසින් සිංහලට නගනු ලැබ 1986 දෙසැම්බර් 31දා කොළඹ සරසවියේ කලාගාරයේ මංගල දර්ශනය පැවැත් වී ය. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් අනුප්‍රාණය ලැබූ එයට ජැක්සන් ඇන්තනි, ඩබ්. ජයසිරි, කෞශල්‍යා ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න ඇතුළු ප්‍රතිභාපූර්ණ නඵ කැළක් රංගනයෙන් දායකත්වය සැපයූහ. එහි පෙළ අපේ කට්ටියේ පොතක් ලෙස ගොඩගේ සමාගම විසින් 1992 වසරේ මුද්‍රණයෙන් එළි දක්වන ලදී. එම කෘතියට සුගතපාල ද සිල්වා විසින් නාට්‍ය කලාව ගැන දීර්ඝ නිබන්ධනයක් ඇතුළත් කොට ඇති අතර සිය කෘතිය ගැන පීටර් වයිස්ගේ සටහනක් ද අන්තර්ගතය. ඉහත උධෘත ගන්නා ලද්දේ එම පොතෙනි.

Comments