
යුක්රේනය සහ රුසියාව අතර සංග්‍රාමයේ නව ඉසව්වක් විවර කරමින් යුක්රේනය රුසියානු ඉන්ධන ප්‍රවාහන නෞකාවන්ට එරෙහි නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. කළු මුහුදේ රුසියානු වාණිජ මෙහෙයුම් කඩාකප්පල් කිරීම එහි අරමුණ වී තිබේ. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ඇතිකරගත් ධාන්‍ය සම්මුතියෙන් රුසියාව ඉවත්වීමත් සමඟ, සිදු කෙරෙන මෙම ප්‍රහාර කිව් පාලනයේ බටහිර නොවන බලවතුන් තුළ යුක්රේනය පිළිබඳ ප්‍රතිරූපයට දැඩි ලෙස හානි පමුණුවනු නිසැක ය.
ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ දී සිග් නමැති රුසියානු ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මෙලෙස ප්‍රහාරයකට ලක්විය. සිරියාවේ රුසියානු හමුදාවන්ට ඉන්ධන ප්‍රවාහනය කරන සිග් නෞකාව සහ එහි හිමිකරු අමෙරිකා සම්බාධකවලට ලක්ව සිටී. මේ අතර, කළු මුහුදේ රුසියානු වරායන් “යුද අවදානම්” කලාප ලෙස සලකන බවට යුක්රේනය තර්ජනය කරයි. කළු මුහුදේ ප්‍රධාන වරාය නගරයක් වන නොවොරොසිස්ක්හි නාවික කඳවුරකට ද යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. මෙම වරාය ආසියාව සහ අප්‍රිකාවට රුසියානු ඉන්ධන ප්‍රවාහනය කෙරෙන වැදගත් පිටවුම් මධ්‍යස්ථානයකිනි. රුසියානු තෙල් අපනයනයෙන් 15-20% ත් අතර ප්‍රමාණයක් කළු මුහුද ඔස්සේ ප්‍රවාහනය කෙරෙන අතර රටේ සමස්ත මුහුදු වෙළෙඳාමෙන් සියයට 17%කට නොවොරොසිස්ක් වරාය දායකත්වය දක්වයි. මෙම වරායෙන් යුරෝපා සංගමයට යැවෙන තෙල් මුළුමනින්ම පාහේ නතර වී ඇතත්, කසකස්ථානයේ බොරතෙල් යුරෝපානු පිරිපහදු කරා රැගෙන යාමේ දී නොවොරොසිස්ක් වරායට කේන්ද්‍රීය වැදගත්කමක් හිමිව තිබේ.
බටහිර රක්ෂණ සමාගම් රුසියානු ඉන්ධන ලෝක වෙළෙඳපොළට රැගෙන යන විදේශ නෞකාවන්ට රක්ෂණ ආවරණ ලබාදීමෙන් වැළකී සිටින තත්ත්වයක් තුළ රුසියානු ආර්ථිකයට හානි සිදු කිරීම කිව් පාලනයේ අරමුණ වී තිබේ.
රුසියාව ලොව පස්වන ආර්ථිකය බවට පත් වෙයි
යුරෝපා භූමිය තුළ නේටෝවේ ප්‍රවේගකාරී ක්‍රියාකලාපයට පිළිතුරක් ලෙස රුසියාව යුක්රේනයට එරෙහිව සංග්‍රාමයක් දියත් කිරීමෙන් අනතුරුව, මෙම භයානක යුද ගැටුමෙන් රුසියානු ආර්ථිකය අඩපණ වනු ඇතැයි බටහිර බොහෝ ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු ඇඟවූහ. කෙසේ වෙතත්, යුරේෂියානු කලාපයේ දැවැන්තයා වන රුසියාව තමන්ට එරෙහිව පනවන ලද සම්බාධක මෙන්ම දිග්ගැස්සෙන යුද්ධයක පිරිවැය හමුවේ තම ආර්ථික ගමන නොසැලී පවත්වා ගෙන යාම විස්මිත ය.
මේ අතර, යුක්රේනයේ ගැටුම් ආරම්භවීමෙන් අනතුරුව යුරෝපා සමාගම්වලට යූරෝ බිලියන 100ක අලාභයක් සිදුව ඇතැයි ද ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. එම පුවත්පතට අනුව, යුරෝපයේ ව්‍යාපාරික හවුල් 600ක වාර්ෂික වාර්තා මෙන්ම 2023 මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව හෙළි වී ඇත්තේ යුරෝපානු සමාගම් 176 ක පමණ වත්කම් අවප්‍රමාණයට ලක්ව ඇති බවයි. රුසියානු ව්‍යාපාර සමඟ ගනුදෙනු නතර කිරීමට සිදු වීම, වසාදැමීම හෝ වෙළෙඳ ගනු දෙනු අඩුවීම හේතුවෙන් තවත් සමාගම් රැසක් වසා දැමීමට සිදුව ඇති බවයි. ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුව, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්, ෂෙල් සහ ටෝටාල්එනර්ජීස් යන බලශක්ති සමාගම් වැඩිම අලාභයකට හිමිකම් කියන අතර එම සමාගම්වලට සිදුව ඇති සමස්ත අලාභය පවුම් බිලියන 40.6 ඉක්මවා ඇත.
ඩාෆූර්හි ආර්එස්එෆ් මානව හිංසන
සුඩානයේ නවතම ගැටුම් ඉකුත් අප්‍රේල් මාසයේ ආරම්භවූ දා පටන් ආර්එස්එෆ් හෙවත් ක්ෂණික සහාය බළකාය (Rapid Support Forces) සහ ඊට සම්බන්ධ අතුරු හමුදා ඩාෆූර් ප්‍රදේශයේ නගර 27ක් මුළුමනින්ම විනාශ කොට ඇතැයි යේල් සරසවියේ මානුෂවාදී පර්යේෂණාගාරය පවසයි. මසාලිට් සාමාන්‍ය වැසියන් දස දහස් ගණනින් දේශසීමාව හරහා නැඟෙනහිර චැඩ් රාජ්‍යයට පලාගොස් බෙහෙවින් දුෂ්කර ජීවිත ගත කරන බැව් සඳහන්ය.
දේශසීමා ප්‍රදේශවල මන්දපෝෂණයට ගොදුරුවීමෙන් ළමුන් 65 දෙනෙකු මරණයට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වැසි සමය ආරම්භවීමත් සමඟ මෙම මානුෂවාදී ඛේදාන්තය තවදුරටත් තීව්‍ර විය හැකි බවට සහන සේවකයෝ බිය පළ කරති.
අයහපත් කාලගුණ තත්ත්වයෙන් ලොව කලාප රැසකට බලපෑම්
ආසියාව, යුරෝපය සහ උතුරු අමෙරිකාව යන කලාප මෙවර ග්‍රීස්ම සෘතුවේ මුහුණ පා සිටින ආන්තික ගෝලීය කාලගුණික රටාවන්හි නවතම ගොදුරු බවට චීනය, ජපානය සහ දකුණු කොරියාව පත්ව සිටී. ආන්තික උෂ්ණත්වයේ බලපෑමට ලක්ව සිටින රටවල දිගු ලැයිස්තුවට දකුණු කොරියාව ද ඇතුළත්ව සිටින අතර, චීනයට වසර 140කට පසු බලපෑ දරුණුතම වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුරින් බෙයිජිං අගනුවර අවට ජීවිත 21 ක් අහිමිව තිබේ. මේ අතර, ජපානයට බලපෑ චණ්ඩ මාරුතයකින් මරණ දෙකක් වාර්තා වූ අතර ඔකිනාවා සහ කගොෂිමා බල ප්‍රදේශවල නිවාස 166,000කට විදුලිය ඇණහිටි තිබේ.
රෝඩ්ස් දූපත ඇතුළු ග්‍රීසියේ දූපත් ගණනාවකට හටගත් ලැව්ගිනි හේතුවෙන් පදිංචිකරුවන් සහ සංචාරකයන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට බලධාරීන්ට සිදු විය. දකුණු අමෙරිකානු රටවලට සීත සෘතුව බලපැවැත්වෙන නමුදු බොහෝ රටවලින් අධික උෂ්ණත්වයක් වාර්තා විය.
මේ අතර 2023 වසරේ ජූලි මාසය මිහිතලය මත මෙතෙක් වාර්තා වූ උෂ්ණත්වය අධිකතම වසර බැව් යුරෝපා සංගමයේ දේශගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍යය පසුගිය මාසයේ සෙල්සියස් අංශක 16.95ක් ලෙස වාර්තා විය. එය 2019 වසරේ පැවති වාර්තාගත උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.33ක වැඩි වීමකි. ග්‍රීසිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපයේ රටවල් රැසක ඉකුත් සතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගියේ ය.
බටහිර අප්‍රිකාව පුරා පැතිර යන බටහිර විරෝධය
පැරණි ප්‍රංශ යටත් විජිත ලෙසින් පැවති බර්කිනා ෆාසෝ, ගිනියා, මාලි සහ චැඩ් යන රටවලින් අනතුරුව බටහිර අප්‍රිකාවේ හමුදා පාලනයට නතුවූ නවතම රට බවට නයිජර් රාජ්‍යය පත්ව තිබේ.
1990 වසරෙන් පසු උප සහරා අප්‍රිකාවේ සිදු වූ කුමන්ත්‍රණකාරීව බලය පැහැර ගැනීමේ සිද්ධීන්ගෙන් 78%ක්ම සිදුව ඇත්තේ ෆ්‍රැන්කොෆෝන් රාජ්‍ය ලෙසින් හඳුන්වනු ලබන පැරණි ප්‍රංශ යටත්විජිත ලෙසින් පැවති රටවල වීම විශේෂයෙන් කැපී පෙනේ.
පළමුකොටම, අප්‍රිකානු කලාපයේ ත්‍රස්තවාදය ව්‍යාප්තවීම බටහිර සැලසුමක ප්‍රතිඵලයකි. අරාබි වසන්තය යන ඊනියා ජනතා නැඟී සිටීම තුළ අප්‍රිකාවේ දිගු කලක් මුළුල්ලේ පැවති ස්ථාවර පාලන තන්ත්‍ර පෙරළා දමමින් සෝමාලියාවේ වෙරළතීරයේ සිට බටහිර සහරාව දක්වා දිව යන අස්ථාවරත්වයේ ආරුක්කුවක් නිර්මාණය කරමින් මෙම කලාපය අයිඑස්, අල් කයිඩා ඇතුළු ත්‍රස්ත ක්‍රියාකාරීත්වයේ තෝතැන්නක් බවට පත්කරනු ලැබුවේ බටහිර සැලසුම්කරුවන් විසින්ය. යුරේසියාවේ නැඟී එන බලවත් රටවල බලශක්තිය ඇතුළු අමුද්‍රව්‍ය අවශ්‍යතා සඳහා අප්‍රිකානු කලාපයට පිවිසීම වැළැක්වීම එහි අරමුණ විය.
දෙවැනුව, අප්‍රිකානු කලාපය ලොව නොදියුණු කලාපයක්ව පැවතීමට බලපෑ ආර්ථික සහ සමාජීය සාධක බටහිර යටත්විජිතවාදය හා බැඳී පවතී. 19 වන සියවස මුල භාගයේ සිට 20 සියවස අගභාගය තෙක් බටහිර අධිරාජ්‍යවාදී බලවත් රාජ්‍යයන් හතක් අප්‍රිකාව යටපත් කොට ගනිමින් සූරා කෑමට ලක් කළේය. මේ අතර ප්‍රංශයේ භූමිකාව බෙහෙවින් කැපී පෙනේ.
ජනරාල් අබ්දුරහාමානේ ටිචියනිගේ නායකත්වයෙන් යුත් හමුදා කුමන්ත්‍රණයක් මඟින් නයිජර් රාජ්‍යයේ බටහිරට පක්ෂපාතී ජනාධිපති මොහොමඩ් බසූම් බසූම් බලයෙන් පහකිරීම සහේල් කලාපය තුළ වර්ධනය වෙමින් පවතින බටහිර විරෝධයේ තවත් එක් ප්‍රකාශනයකි. මැතිවරණ දූෂණ චෝදනා සහ ජනතා විරෝධතා හමුවේ 2021 වසරේ බලයට පත් බසූම්ට ඒ අනුව බලය අතහැරීමට සිදුවිය.