හිමිකරු විරුද්ධ නම් ලීසිං ඇරියස් වාහන උස්සන්න බෑ | සිළුමිණ

හිමිකරු විරුද්ධ නම් ලීසිං ඇරියස් වාහන උස්සන්න බෑ

කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත අත්පත් කර ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී 11 වැනි සිකුරාදා ප්‍රකාශ කළේය.

රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බව ඇමැතිවරයා පැවසීය. කතාබහට ලක්ව ඇති පරාටේ නීතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ඉකුත් සිකුරාදා මෙසේද පැවැසීය.

පරාටේ බලතල යටතේ යම් දේපොළක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය. කෙසේ වෙතත් බැංකුව, පරාටේ බලතල මඟින් දේපල අත්පත් කර ගැනීම කටයුතු කරන්නේ මෙම අදාළ ණය අය කර ගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නොමැති විට බව ද කීය. මෙරට බැංකුවල ඇති වත්කම්වලින් රජයට හෝ කොටස්කරුවන්ට අයත් වන්නේ 8% පමණක් වන අතර අනෙක් සියල්ල 57,599,746 වූ තැන්පත්කරුවන් සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම තැන්පත් ප්‍රමාණයෙන් 60%ක් ම රුපියල් 5000ට අඩු ගිණුම් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

Comments