සුද්දන් පරාජය කරන්න ගොංගාලේගොඩ බණ්ඩාට ලැබුණු මහා බලසම්පන්න ජයසිද්ධි යන්ත්‍රය | සිළුමිණ

සුද්දන් පරාජය කරන්න ගොංගාලේගොඩ බණ්ඩාට ලැබුණු මහා බලසම්පන්න ජයසිද්ධි යන්ත්‍රය

 

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජිනදාස එදිරිසිංහ

 

අතීතයේ මොරටුව ගමේ උපන් ප්‍රැන්සිස්කු නමැති තරුණයා හැඩිදැඩි එසේම කාය ශක්තියෙන් පිරිපුන් අයෙකි. සුද්දන්ට ගැතිකම් කරමින් කේලම් කියමින් කප්පම් ගනිමින් තම ගෙදර රජ වාසලක් කරගෙන අහිංසකයන් පාවා දී මරණයට පත් කළ එම ගමේම ආරච්චිලාගේ ගෙලෙන් අල්ලා පොළොවේ ගසා මරා දැමු ඔහු තම මව පියා සහ නිවස ගම අතහැර දමා කන්ද උඩරට පළාතට පලා ගියේය.

මේ ශක්තිවන්ත තරුණයාගේ තොරතුරු දැනගත් ප්‍රදේශයේ ගම්වාසීන් ඔහු 'චන්ද්‍රගුප්ත හාමුදුරුවන්' ළඟට කැඳවාගෙන ගියෝය. ඔහුගේ තොරතුරු අසා දැනගත් පසු චන්ද්‍රගුප්ත හාමුදුරුවෝ, ප්‍රැන්සිස්කුට කීවේ ඒ වන විට ඉංග්‍රීසින් කඳුරට පළාතේම ඔවුන්ගේ බලය වර්ධනය කරගෙන සිංහලයන්ට තාඩන පීඩන හිරිහැර කරමින් ස්ත්‍රීන් දූෂණය කරමින් නිවාස ගිනිබත් කරන බවයි.

එවිට ප්‍රැන්සිස්කු සිතා ගත්තේ සතුරු බලය පරාජය කිරීමට තමන් අධිෂ්ඨානය කර ගන්නා බවයි. තම තරුණ ජවය යොදා යළිත් සිංහල බෞද්ධ දේශය ගොඩනැඟීමේ උත්තරීතර පරමාර්ථයෙන් යුතුව ඔහු කඩු ශිල්පය ඉතා හොඳින් දන්නා 'ඩිංගි රාල' ළඟට ගොස් කඩු ශිල්පය හොඳින් හැදෑරුවේය. අනතුරුව සුද්දන් පරදවා කන්ද උඩරට පමණක් නොව මාතලේ, කුරුණෑගල සහ තවත් ප්‍රදේශයක් ඔවුන්ගෙන් මුදාගෙන කන්ද උඩරට පළාත සහ ලංකාවට ශ්‍රී දළදා අයිතිය ලබා දී බෞද්ධ දේශයක් බවට ශ්‍රී ලංකාව පත්කර ගත්තේය. පසුව ඔහු ගොංගාලේගොඩ බණ්ඩා බව ඉතිහාසගතව ඇත.

එදා ඩිංගි රාල නමැති කඩු සටන් ශිල්පියා මහ බල ඇති රහස් ඖෂධයක් මිශ්‍රකර උණු කළ ලෝදියවල බහා සකසා ගොංගාලේගොඩ බණ්ඩාට දුන් කඩුවෙහි බලය වන්නේ සටනකදී සතුරා එල්ල කරන ලද කඩුව කැඩී බිඳී නැමී යාම සහ කඩු අමෝරා එන සතුරන් පරාජය වී ආපසු දුව යන බවය.

එය සත්‍යයකි. යුද්ධයට යාමට පළමුව චන්ද්‍රගුප්ත හාමුදුරුවෝ ගොංගාලේගොඩ බණ්ඩාට මහාබලසම්පන්න යන්ත්‍රයක් පැලදූහ. එය කඩ්ගං අභිමතාර්ථ ජයසිද්ධි යන්ත්‍ර රාජයාය. මෙම බලගතු යන්ත්‍රය සකස් කරගන්නේ මෙසේය. පුර පක්ෂයේදී අඟල් 10 දිග අඟල් 2 පළල ප්‍රමාණයේ රන්, රිදී ගෑ තඹ පතක කුජ හෝරාව තුළ ඇඳ මෙම පිරිත් පාඨයන් ලියන්න. ඉන්පසු 108 වර කියවා ජප කරන්න. චන්ද්‍රයාගේ පැත්තේ මෙම පිරිත ලියන්න.

රහිනා ගභිතො චද්‍රො මුත්තො යස්සානු භාවතො සම්බ වෙර භයං නාසා පරිත්තං තංභණමහෙ නමොතෙ බුද්ධ වීරක්ථු විප්ප මුත්තොසි සබ්බදි සම්බාද පටිපන් නොස්මි තස්සමේ සරණං භවාති තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු සුරියං පමු ඤ්චස්සු බුද්ධා ලෝකානුකම්ප කාති.

සූර්යාගේ පැත්තේ මේ ගාථාව ලියන්න.

සූරියො රාහු ගහිතො මත්තො යස්සානු භාවතො ඔත්තො යස්සානු භාවතො සබ්බවෙරි භයං නාසං පරිත්තං හණහෙ නමෝ තේ බුද්ධවීරත්ථු විප්පමුත්තොසි සබ්බදී සම්බාධ පටිපන්නොස්මි තස්සමෙ සරණං භවාතී තථාගතං අරහංතං සුරියෝ සරණං ගතෝ රාහු සුරියං පමුඤ්චස්සු බුද්ධා ලෝකානුකම්පකාති.

චන්දිම සහ සූරිය යනුවෙන් හැඳින්වෙන්නේ දෙවිවරු දෙදෙනෙකි. චන්දිම හා සූරිය යන දෙවියන් දෙදෙනාම සුර අසුර යුද්ධයේදී රාහු විසින් සිර භාරයට ගත් බවත් ඒ වේලාවේ එම දෙවිවරු දෙදෙනා බුදුන් වහන්සේ සිහිකර පිහිට ඉල්ලු නිසා රාහු නම් වූ අසුර රජු විසින් චන්දිම හා සූරිය දෙව් පුතුන් අතහැර දමා බියෙන් වෙවුලා ගොසින් චේප විත්ති නම් අසුර රජු වෙත පැමිණියේය. එසේ පැමිණ සංවේග වෙමින් ලොමු ඩැහැගත් සිරුරෙන් යුතුව එකක්පස්ව සිට "බුදු සමිඳුන් දෙසූ ගාථා ඇසුවෙමි. ඉදින් චන්දිම හා හිරු අත් නොහැරියේ නම් මාගේ හිස කැබලි සතකට පැළී යනවා ජීවත් වුණත් මම සැපත් නම් නොලබන්නෙමි කීවේය." චන්ද පරීත්තං හා සූරිය පරිත්තං යන ගාථා දෙකේ අදහස එයයි.

සියල්ල අවසන්කර මෙම මන්ත්‍රයෙන් 1000 වර කියා ජප කරන්න.

ඕං ශ්‍රීං හ්‍රීං ලෝක නාරායනේ නව ග්‍රහ තරු රැස් මාලාවෙන් චන්ද්‍ර සුර්ය රැස් මාලාවෙන් සුර්ය මණ්ඩල චන්ද්‍ර මණ්ඩල බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර කඩ්ගං බලරාම සැරු බලතෙලිංගුනමඃ

මෙම යන්ත්‍රය කර හෝ ඉණ පලඳින ස්ත්‍රී පුරුෂ සැමටත් නිවසක තැන්පත් කළොත් උසස් ප්‍රතිඵල අත් වේ. යුද්ධයෙන් තරගයෙන් දිනයි. සතුරු එඩිබිඳ දමනය වේ. මහත් තේජස් ප්‍රතාප කීර්ති ආදියෙන් විරාජිත වෙයි. සතුරන් පරාද වේ. දේව වරම් ලැබී ජය අත්වේ. දුටු දුටු ජනයා ප්‍රිය කරයි. ශාන්තිය උදෙසා නිවසේ සිටින සැමට ආරක්ෂාව ලැබේ. ගරුබුහුමන් ලැබේ.

යන තැන ජය ලැබේ. නඩු දිනයි. රාජ සම්මාන වරප්‍රසාද ලැබීමට, රාජ වශියට, කරන රැකියා ව්‍යාපාර දියුණුවට, කීර්ති ප්‍රශංසා ලැබීමට, ජනාදරය දිනා සර්වජනයා වශී වීමට, ධන ලාභ ලැබීමට, ජීවිත ආරක්ෂාවට, ග්‍රහ මාරක අපල භංග වීමට, පරම්පරාගත ඉඩමක හෝ මිලට ගත් ඉඩමක නිවසක් හදා පදිංචි වීමෙන් පසු ඉඩමට අරක්ගෙන සිටින මියගිය ප්‍රාණකරුවන්ගේ බැල්ම හෝ යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍යයින් පලවා යාමට කොඩිවින පුපුරා බල බිඳීමට මෙන්ම පරම්පරා හතකට වලංගු ආරක්ෂා යන්ත්‍රයකි. මෙය පෙර රජ දවස විසූ ශ්‍රේෂ්ඨ මන්ත්‍රවේදී ඉසිවරයින් උසස් ලෙස සැලකූ රහස්‍ය යන්ත්‍රයකි.

Comments