කොස් ගහේ ආරවුල ඉරටු තුනෙන් විසඳූ හැටි | සිළුමිණ

කොස් ගහේ ආරවුල ඉරටු තුනෙන් විසඳූ හැටි

ජේන් හාමි ඉස්කෝලෙ නෝනා සුන්දර පරිසරයක් මැද පිහිටි ගඟ අද්දරක ජීවත්වන්නීය. ඇගේ වැඩිමල් පුතු විදේශ රටක පදිංචියට ගොස් ඇත. එකම දියණිය ද ඉතා දුර බැහැර පළාතකින් විවාහ වීම නිසා මව බලන්නට එන්නේ කලාතුරකිනි. පොඩි දරුවන් වටකරගෙන සුරංගනා කතා කියා දීම ජේන් හාමිගේ විනෝදාංශයකි. ඇය කුඩා කල ද එසේ සිදු කළ බව ඇය මා සමඟ පැවසූ බව මතකය. එහෙත් ඇය මේ දිනවල පසුවන්නේ තරමක් කනස්සල්ලෙනි.

ඒ ඇගේ ඉඩමේ වැට මායිමේ පිහිටි කොස් ගස පිළිබඳව ජේන්ගේ බාල සොයුරා නිතර නිතර ඇය සමඟ රණ්ඩු කරන නිසාය. ගමේ බොහෝ දෙනෙකුගේ ද බඩගින්න නිවන එම කොස් ගස තමාට අයිති බවත් එය කපා දමා වැට ගසන බවටත් සොයුරා නිතර පවසයි. ජේන් හාමි නෝනාට වැට මායිමේ ප්‍රශ්නයට වඩා ඇත්තේ "කොස් ගස කපා දමාවි යැයි" යන්න පිළිබඳ දුකකි. ඇය ඒ ගැන සිතමින් සිටින අතර ගමේම පදිංචි "මාටින් කොලුවා" නිවසට ගොඩ විය. ජේන්ගේ සිතේ යම් ප්‍රීතියක් හටගත්තා සේය. මාටින් ඇගේ සිසුවෙකි. ඔහුගේ පියා වන සයිමන් නම ගිය ගුරුන්නාන්සේ කෙනෙකි. පියාගේ අඩි පාරේ ගිය මාටින් ද දැන් ගුරුන්නාන්සේ කෙනෙකි. මාටින් පාසල් යන කාලයේ පටන් පියා සමඟ තොවිල් පවිල්වලට ගියේය. “බුලත් විටක් හපනවද?" "කහට කෝප්පයක් බොනවාද" ඇය මාටින්ගෙන් විමසුවේ බුලත් හෙප්පුව ද අතේ තබාගෙනය.

"විටක් හපමු" මාටින් ගෞරවයෙන් ඇගේ අතේ තිබු බුලත් හෙප්පුව ගත්තේය.

ආගිය තොරතුරු කතා කරමින් සිටි ජේන් ඇගේ හිතේ කැකෑරෙමින් තිබු ගැටලුව මාටින් වෙත තැබුවාය.

“බලන්නකො මාටින් පුතේ... අර කොස් ගහ හින්දා මගෙ මලයා හැමදාම මාත් එක්ක රණ්ඩු! ගහ තියෙන්නෙ මගෙ වත්තේ. ඒත් ඒක එයාගෙ කියලා ගහ කපන්නයි මල්ලි ලෑස්ති වෙන්නේ"

"කී දෙනෙක් ඔය ගහ හින්ද බඩගින්න නිවා ගන්නවද පුතේ" යැයි ඇය කියාගෙන ගියාය. මාටින් ගුරුන්නාන්සෙගෙන් සද්දයක් නැත.

"ඈ මගේ පුතේ ඕකට විසඳුමක් නැද්ද? ඒත් මල්ලිට නරකක් එහෙම වෙන්න බෑ ඔන්න.“ ඇය එසේ කීවේ මාටින්ගේ තරම දන්නා නිසාවෙන් විය හැකිය. කරකැවුණු රැවුල සුරතින් පිස දමා දෙතොල් අතරට දෑඟිලි තබා බුලත් කෙළ පහර ඈතට ගැසු ඔහු හඬ අවදි කරයි.

"ඕකට ඉතින් ගුරුකම් නැතිවාම නොවේ. ඒත් ඉතින් අපේ ඉස්කෝලෙ හාමිනේ ඕවට කැමැති නෑ නොවැ." එසේ කියා ඇය දෙස කරුණා බැල්මෙන් බැලූ මාටින්,

" හා හා කාරි නැහැ මම 'පොඩි වැඩක්' කරලා දෙන්නම්“ යැයි කීවේය.

පන්සලේ බෝධි පූජාවට සහභාගි වීමට ගිය මා හට ජේන් හාමි ඉස්කොලේ නෝනා හමුවීම භාග්‍යයකි. මා පන්සලට යන විට ඇය මළුව අමදිමින් සිටියාය. එකතු වන කොළ රොඩු ටික ඉවත් කිරීමට මා ඇයට සහාය විමි. "පුතාව මම දැකල නැහැ මේ පැත්තෙ නම් නොවෙයි වගේ" ඇය මට කීවාය. මම මා ගැන ඇයට කීමි. ගමේ ඉස්කෝලෙට පත්වීමක් ලැබ පැමිණි බවත් නේවාසිකාගාරයේ සිටින බවත් කීවෙමි. පියාගේ ඉඩමක නඩුවක් එන සතියේ තියෙන නිසා ඒ වෙනුවෙන් බාරයක් වීමට පන්සලට පැමිණි බව ද මම පැවසුවෙමි.

ඇය ද එම පාසලේම ගුරුවරියකව සිට විශ්‍රාම ලබා සිටින බවත් ඇගේ ඉඩම් ආරවුලක් මේ වන විට ගුරුන්නාන්සේ කෙනෙකු වන ඇගේ සිසුවකු විසින් විසඳා දුන් බවත් ඇය පැවසුවේ මේ අතරය. මා ඇයට මුලින්ම "අම්මා" කියා ආමන්ත්‍රණය කළේ ඇය කට පුරා මට "පුතා" යැයි කී නිසාය.

"ඉතින් අම්මා ගුරුන්නාන්සේ ආවද?“ මම ඇසුවේ මගේ ගැටලුව යටි හිතේ තබා ගනිමිනි. “ඔව් පුතේ මට පොඩි ඉරටු කෑලි තුනක් ගෙනත් දීලා කොස්ගහට එහා පැත්තේ වළලන්න කියල වෙලාවකුත් දුන්නා"

“ඉතින් ඊට පස්සේ?“ මම ඇසුවේ නොඉවසිල්ලෙනි. “එදා ඉඳලා... මලය මන් එක්ක රණ්ඩු ඇල්ලුවේ නැහැ. සති දෙකක් යනකොට අර ඉරටු වළලපු හරියෙන් එයා වැට ගහගත්තා.“ තව විස්තර කතා කිරීමට අවශ්‍ය වන්නේ නමුත් පන්සලේ ඝණ්ටා නාදය බෝධි පූජාව අරඹන්නට සූදානම් බව පවසයි. එම නිසා ඇය හමුවීමට ඇගේ නිවසට පැමිණෙන බව පවසා බෝධි පූජාවට සම්බන්ධ වුයෙමු.

එදින රාත්‍රී මට මතක් වූයේම ජේන් හාමි ඉස්කෝලෙ හාමිනේ කියු මාටින් ගුරුන්නාන්සේ ගැනමය. විශ්වවිද්‍යාලයට පිවිසෙන තෙක් මා ඔය ගුප්ත දේවල් කිසිවක් විශ්වාස කළේම නැත. එහිදී හමුවු යාළුවෙකුගේ මඟ පෙන්වීම නිසා සහ කියවන්නට ලැබුණු සමහර පොතපත නිසා මා හට ඒ පිළිබඳ උනන්දුවක් ඇති විය. "සමන්" නමැති මගේ යාළුවා ඒ පිළිබඳ විශ්වාස කළ අයෙකි.

කෙසේ වෙතත් පසුදා උදෑසන අවදි වන විටත් මට මතක් වුයේ ජේන් ඉස්කෝලේ නෝනා කී මාටින් ගුරුන්නාන්සේ පිළිබඳවමය. කෝකටත් කියා එදා ඉස්කෝලේ වැඩ අහවර කර සවස් යාමයේ මම ජේන් හාමි ඉස්කෝලෙ නෝනා සොයා ගියෙමි. ඇය මාවද සාදරයෙන් පිළිගෙන කිතුල් හකුරු සහ කහට කෝප්පයක් ද දුන්නේ මා එපා යැයි පෙරත්ත කරද්දීය. කෙසේ නමුත් එය ඉතා රසවත්ය. ආගිය විස්තර තවදුරටත් කතා කරමින් සිටි මා මාටින් ගුරුන්නාන්සේ ගැන සහ ඔහුගේ ගම් පළාත විමසිමි.

"මේ අල්ලපු ගම ඇටියාවල පුතේ. මේ ගඟේම එහා ඉවුරේ තමා මාටින් ඉන්නේ. කඩ මණ්ඩියෙන් ඇහුවොත් ඕනම කෙනෙක් ගේ පෙන්නාවි." ඒ ඇගේ පිළිතුරය. මාටින් ගුරුන්නාන්සේ ගැන ඇය දන්නා තවත් කතා කිහිපයක් ඇසු මම ඉතා සතුටට පත්විමි. මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ ආශාවක් විශ්ව විද්‍යාල සමයේදී ඇති වුණත් අධ්‍යාපන කටයුතු ඊට බාධාවක් විය. දැන් තරමක නිදහසක් ඇති නිසා දෙවියන් මා මෙහි ගෙන ආවාදෝ යැයි සිතමින් ජේන් හාමි ඉස්කෝලෙ නෝනාට සමු දිමි.

එන සති අන්තයේ ගෙදර යනවාට වඩා මාටින් ගුරුන්නාන්සේ හමු වීම හොඳ යැයි මම සිතුවෙමි. ඊට තව දවස් දෙක තුනක් තිබේ. සෙනසුරාදා එළිවනතුරු මම ඇඟිලි ගනිමින් සිටිමි.

තවත් කොටසක් ලබන සතියේ

 

Comments