සමහර චිත්‍ර අඳින්න හොඳම කැන්වස් එක තියෙන්නේ ඉතිහාසයේ | සිළුමිණ

සමහර චිත්‍ර අඳින්න හොඳම කැන්වස් එක තියෙන්නේ ඉතිහාසයේ

ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන

කුමාර සිරිවර්ධන නන්විධ කලා ක්ෂේත්‍රවල සුරුව සරන්නෙකි. පුවත්පත් කලාවේදියකු වශයෙන් ලේඛන දිවිය අරඹන ඔහු වත්මන වන විට සම්මානිත ලේඛකයෙක් දක්වා සිය වපසරිය පුළුල් කරගෙන තිබේ. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය සහ බෞද්ධ සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රාශියකට හිමිකම් දරන ඔහුගේ නවතම පරිවර්තන ව්‍යායාමය, ජෝන් ස්ටිල්ලේ ඛකයාගේ The Jungle Tide නම් කෘතිය ශ්‍රී ලංකාවේ වන ප්‍රවාහය නමින් සිංහලට නැඟීමයි. ඒ කෘතියත් ඊට පෙර නිකුත් වූ භවනිරෝධ කෘතියත් පාදක කරගනිමින් කෙරුණු සංලාපයක සංක්ෂිප්තයයි මේ.

lඔබේ අලුත්ම කෘතිය ලංකාවේ වන ප්‍රවාහය. පසුගිය කාලය පුරා අපි දැක්කේ ඔබේ පරිවර්තන අතර ත්‍රාසජනක කතාවලට වැඩි නැඹුරුවක් ඇති බවක්. ජෝන් ස්ටි්ල්ගෙ The Jungle Tide කෘතිය මේ ප්‍රවර්ගයෙන් සපුරා වෙනස්? මෙවැනි කෘතියක් පරිවර්තනය කරන්න හේතුව කුමක්ද?

පසුගිය ආසන්නතම කාලවල මගේ අතින් ත්‍රාසජනක ශානරයේ නවකතා කිහිපයක් පරිවර්තනය වුණත් මුල් කාලයේ මා මෙවැනි කෘති කළා. මීට අවුරුදු ගණනාවකට පෙර යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්, ආදම්ගේ පාරාදීසය වගේ කෘති මා අතින් පරිවර්තනය වුණා. ඩෑන් බ්‍රවුන්ගෙ කෘති කිහිපයක් මා අතින් පරිවර්තනය වීම නිසා ඒ වැනි නැඹුරුවක් ඇතැයි කෙනකුට සිතෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ මම පරිවර්තනය කළ කළු කඳුළේ උමං මඟ කෘතියත් සම්පූර්ණයෙන් වෙනස්. මම එකම ශානරයකට කොටු වෙන්නෙ නැහැ. ඉතිහාසයට කොහොමත් මගේ දැඩි කැමැත්තක් තියෙනවා. මම ජෝන් ස්ටිල් ගෙ The Jungle Tide පොත කියෙව්වෙ ගොඩක් පොඩි කාලෙ. ඒ කාලෙ මතකයට තමයි මට මේක පරිවර්තනය කරන්න සිතුණේ.

lමීට පෙර මේ කෘතිය පරිවර්තනය වූ බවක් මගේ මතකයට නැඟෙනවා? ඒවගේම එය සංක්ෂිප්ත පරිවර්තනයක්.

ඔව්. 1950 ගණන්වල මේ කෘතිය පරිවර්තනය වෙලා තියෙනවා. වන ප්‍රවාහය නමින් තමයි පරිවර්තනය වුණේ. මේ පරිවර්තන දෙකේ වෙනස්කම් තියෙනවා. කොහොමත් මා කළේ අසංක්ෂිප්ත පරිවර්තනයක්. ජෝන් ස්ට්ල් ලියන සමහර දේවල් හොයාගන්න බැරි අවස්ථා තියෙනවා. ඒවගේම මුල් ලේඛකයා සමහර නම් වාසගමින් විතරයි සඳහන් කරලා තියෙන්නෙ. අපි ඒවායේ සම්පූර්ණ කරන ලද මූලාශ්‍රය පාදක සටහන් විදියට සටහන් කරනවා. නමුත් මුල් කාලෙ එවැනි පහසුකමක් නොතිබෙන්න පුළුවන්. අද අපට එවැනි සොයා ගැනීම් කළ හැකි මූලාශ්‍රය සුලබයි.

lවිදේශිකයන් ලියන මේ ඉතිහාසය සත්‍ය ඉතිහාසයක් කියලා හිතන්න පුළුවන් සාධක මොනවාද?

සමහර වෙලාවට වංශ කතාවල තියෙන ඉතිහාසය පවා මේ වැනි කෘති නිසා අභියෝගයට ලක් වෙන අවස්ථා තියෙනවා. මෙහි සඳහන් වෙනවා ලංකාව කියන්නෙ වැව් බැඳි රාජ්‍යයක් කියලා. ඒවගේ රටක් හතුරන්ට වට කරන්න අමාරුයි. ඊළඟට ඔහු කියනවා වංශ කතාකරුවන් හැමවිටම වගේ ලියලා තියෙන්නෙ ආගමික සිද්ධස්ථාන ගොඩනැඟීම් වගේ ඒවා කියලා. නමුත් වාරි කර්මාන්තය ගැන ලියන්නෙ නෑ කියලා. සතුරු ප්‍රහාරයක් වෙනවා නම් මුලින් ම ලක් වෙන්නෙ වැව. වෑ කණ්ඩිය බිඳපු ගමන් වැව හිඳෙනවා. වැව හිඳෙනවා කියන්නෙ ඒක ජන සමාජයට බලපානවා. සංග්‍රාමික උපක්‍රම ගැන වංශකතාකරුවන් දැන සිටියේ නෑ. හැබැයි හතුරෝ ඒවා දැන සිටි නිසා තමයි මේ රාජ්‍ය බිඳ වැටුණෙ. ඒක ඇත්ත කතාවක්. ඒ සම්බන්ධයෙන් අපි දැනුම්වත් වෙන්නෙ මේ වැනි කෘති ඔස්සේ විකල්ප අදහස් ජනගත වෙන නිසා.

lලංකාවේ ඉතිහාසය විදේශිකයන් හරහා කියවා ගැනීමට සිදු වීම ගැනත් ඒවා ඒකභාෂික පාඨකයාට පරිවර්තන ඔස්සේ දීමට සිදු වීමත් කියන කාරණය ගැන ඔබ මොකද හිතන්නෙ?

වංශ කතා මම සෑහෙන්න අධ්‍යයනය කරනවා. ඒවායේ බොහෝ වැරදි තැන් තියෙනවා. වංශ කතා බොහෝදුරට ලියැවෙන්නේ භික්ෂූන් වහන්සේලා අතින්නෙ. විහාරස්ථාන ගොඩනඟපු, ආගමික මෙහෙවරක් කළ රජවරු ගැන වගේම විශේෂයෙන් මහා විහාරයට භක්තියක් දක්වපු රජවරු ගැන වංශ කතාවල මහ ඉහළින් වර්ණනා වෙලා තියෙනවා. නමුත් සමහර රජවරු ගැන ලියැවෙන්නේ එක වාක්‍යයයි දෙකයි. මේවා පොදු කාරණා. ලංකාවේ බහුතරයක් ගත්තම පරාක්‍රමබාහු රජ සමය ඉතාමත් සශ්‍රීක රජ කාලයක් කියලා විශ්වාස කරනවා. ඒවගේ කාලයක් දැනුත් අපට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතිහාසය පිරික්සන අයකුට පේනවා පරාක්‍රමබාහු රාජ්‍ය සමය අවසන් වුණු ගමන් ලංකාව දරුණු ආර්ථික අවපාතයකට ලක් වුණු බව. හේතුව මොකද්ද? ගොඩනැගිලි හැදුවා, චෛත්‍ය විහාර හැදුවා, විදේශ සමඟ සටන් වැදුණා. ඒනිසා ඇත්තටම මවාපෑමක් තමයි වැඩිපුර තිබිලා තියෙන්නෙ. වංශ කතාකරුවන් මේක වහනවා. නමුත් මේ ලේඛකයන් එහෙම නොවෙයි. මේ වගේ කෘති නිසා අර මවාගෙන ඉන්න බොරුව බිඳිලා යනවා.

lඉතිහාසය ලියැවෙන්න බොහෝ විට ජයග්‍රාහකයාගේ පාර්ශ්වයෙන්. ඔබ කියන්නෙ මේ වගේ කෘති නිසා ඒක වෙනස් වෙන්න පුළුවන් බව? ඒවගේම අපි යටත් විජිත වැසියන් සමයේ තමයි මේවා ලියැවෙන්නෙ. ඔවුන්ගේ දෘෂ්ටිය මේවාට අන්තර්ගත වීමේ අවධානමකුත් නැත්තේ නැහැ?

ජෝන් ස්ට්ල් ගෙ මේ කෘතිය එහෙම නෑ. හැබැයි ඔබ ඔය කියන තත්ත්වය මම අත්විඳලා තියෙනවා. ආදම්ගේ පාරාදීසය වගේ කෘතියක් ගත්තොත් ඒක ලියපු සුදු ජාතික ලේඛිකා කැරොලයින් කෝනර් සිංහලයන් ව පුදුම විදියට හෑල්ලුවට ලක්කරනවා. වන ප්‍රවාහයේදී නම් ඒක වෙන්නෙ නෑ. මේ ලේඛකයා සිංහලයාගේ පාරම්පරික ඥානය බොහෝ උසස් තැනක තියලා කතා කරනවා. සුදු ජාතිකයන් ලංකාවට ඇවිත් කළ පරිසර විනාශය ගැන ඔහුගේ කම්පාව මේ කෘතියෙදි ඔහු පැහැදිලිව පෙන්වනවා. ඒවගේම ඔහු ඉඟි කරනවා මේ ඉදිවෙන නවලෝකය පවා තව කාලෙකදි වනාන්තරය විසින් යට කරගන්නා බව. සොබාදහමේ නියමය ගැන ඔහු දැනුම්වත්.

lඔබේ පරිවර්තිත බස සුමටයි. ලේඛකයෙක් විදියට ඔබට බොහෝ පරාස තිබීම ඒකට බලපෑම් කරනවද?

පාණ්ඩිත්‍ය පෙන්වන්න ලියලා වැඩක් නෑ කියන මූලික පාඩම මට ලැබෙන්නේ බන්දුල පද්මකුමාර මහත්මයාගෙන්. ඔහු නිතරම කිව්වෙ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ බස ගැන අධ්‍යයනය කරන්න කියලා. පාඨකයන්ට පණ්ඩිතකමෙන් සත පහක වැඩක් නෑ, පාඨකයන්ගේ පහසුව ගැනම හිතන්න කියන පාඩම මම එහෙම තමයි ඉගෙන ගත්තෙ. කෙටි, සරල වැකි තමයි ලියන්න අමාරුම. ගැඹුරු වචනයක් භාවිත කරන්න සිදු වුණත් ඒක අනිත් වචනවලින් හරි තේරුම් ගන්න පුළුවන් විදියට මාර්ටින් වික්‍රමසිංහ ලිව්වා. මම අනුගමනය කරන්නෙත් ඒ රීතිය.

lඔබ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්, ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් වගේ ම බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබපු කෙනෙක්නෙ. සම්මාන ගැන මොකද හිතන්නෙ?

සම්මාන කියන දේ මෙහෙමයි ඉතින්. මම ඒක බැහැර කරන්නෙ නෑ. මොකද ඒක නිර්මාණකරුවකුට ලැබෙන කිසියම් උත්තේජනයක්. තමන්ගෙ නිර්මාණයක් ඇගැයීමට ලක්වීමේ දී ඕනෑම කෙනෙකුට සතුටක් දැනෙනවා. මටත් ඒ සතුට දැනෙනවා. නොලැබුණා කියලා කම්පාවකුත් නෑ. සම්මාන පසුපස හඹා යෑමේ පුරුද්දකුත් මට නෑ. එහෙම නම් මම සම්මාන බලාපොරොත්තුවෙන් විශිෂ්ට කෘති පමණක් පරිවර්තනය කළ යුතු ව තිබුණනේ. මම එහෙම කරලත් නෑ. බොහෝ වෙලාවට මං ඊට වඩා කල්පනාකාරී වෙන්නෙ මගේ පාඨකයෝ ගැන. පාඨකයන්ගේ ඉල්ලීම් තමයි ගොඩක් දුරට මගෙන් ඉෂ්ට වෙලා තියෙන්නෙ.

lඅධික වැඩ කරන්නෙක් විදියට මම ඔබ ව හැඳින්නුවොත් විරුද්ධ නොවේවි. සාමාන්‍යයෙන් ඔබ වසරක් පාසා කෘති දෙකක්වත් අවම වශයෙන් නිකුත් කරනවා?

බොහෝ අය පැය අටේ රාජකාරී කරන්න පුරුදු වුණු අය. මට ඇත්තටම එහෙම පුරුද්දක් නෑ. මම පැය විසිහතරෙන් බොහෝ පැය ප්‍රමාණයක් වැඩ කරන්නෙක්. වසර ගණනාවක් තිස්සේ මම පුහුණු කළ දෙයක් තියෙනවා. මට වේගෙන් ලියන්න පුළුවන්. පුවත්පත් කලාවේදියකු වුණු බොහෝ අයට තියෙන පුහුණුවක් ඒක. අනික කොච්චර ලිව්වත් මම ඒක නැවත නැවත සංස්කරණය කරනවා. ඒ වගේම ලිව්වට පස්සේ ඔපමට්ටම් කරනවා. ඒකත් ආවේ පුවත්පත් කලාවෙන්. දැන් ඉංග්‍රීසි වාක්‍ය දැක්ක ගමන් මට මේක සිංහලෙන් කියන්නෙ මෙහෙමයි කියලා ඔළුවට එනවා.

lලිවීම පහසුවක් වෙන්න ඔබ භාවිත කරන උපක්‍රම මොනවද?

ලියනවා කියන්නේ ශුද්ධ ගණිතය වගේ දෙයක්. සමීකරණයක් තියෙද්දි X Y Z ට ඕන අගයක් අදාළ කරගන්න පුළුවන්. ලියද්දි අපිට සමහර වෙලාවට එකම තැනට යොදන්න පුළුවන් වචන දෙක තුනක් තියෙනවා. අපි ලියන්න පුහුණු වුණාම අදාළ රිද්මයට අනුකූල හරි ම වචනය අදාළ ම තැනට යොදන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක එන්නෙ අත්දැකීමෙන්. ඒවගේම පාඨකයන් අපේ කෘතිවලට කැමැති වෙන්න තවත් හේතුවක් තමයි අපේ වාක්‍යවල අපි නොදැනුවත්ව ම අනන්‍ය රිද්මයක් නිර්මාණය වී තිබීම. පාඨකයනුත් ඒ රිද්මයට අනුගත වෙනවා. මේවා නිකම්ම ඇති වෙන්නෙ නෑ. ඒක හැදෑරීම, කියවීම, පුහුණුව මේ සියල්ලේ එකතුවක්.

lඔබේ භවනිරෝධ නවකතාවත් අපට මඟ හරින්න පුළුවන් එකක් නොවෙයි. එයට පදනම් වන මූලාශ්‍රය ඈත ඉතිහාසය සහ පුරාණ බෞද්ධ සාහිත්‍යය දක්වා දිව යනවා. ඒ සැණින් නූතනයත් ස්පර්ශ කරනවා. නිර්මාණකරුවා අතීතයෙන් නූතනය දකින්නෙක්ද?

මම ඒක ඉගෙන ගත්තේ නාට්‍යකාරයෙක් හැටියට. අපි 1960 ගණන්වල අගභාගයේ ඉඳන් වේදිකාව එක්ක කටයුතු කරද්දි විවිධ ගැටලුකාරී කාල පසු කළා. වේදිකාවෙදි දේශපාලනමය වශයෙන් විරෝධතා දක්වන්න ඕන වුණාම පසුබිම විදියට තෝරා ගත්තේ වෙන රටක පසුබිමක්. මට නූතනයයි කියන්න ඕන වුණේ. ඒක හරියට ම කියනවා නම් බෞද්ධ ශාසනය ඇතුළෙ සිද්ධ වෙන දේ කියන්නයි මට අවශ්‍ය වුණේ. ඒ චිත්‍රය අඳින්න හොඳම කැන්වස් එක තිබුණෙ ඉතිහාසයේ. යටිපෙළ කියවන්නකුට ඒක අහු වෙනවා.

lමේ නවකතාවෙදි ප්‍රේමය ආදරය සහ රාගය ඔබ ගැඹුරෙන් වියමන් කරනවා. අතහැරීම ගැන කතා කරද්දි විශාලම අල්ලා ගැනීම වෙන ප්‍රේමය කොහොමද නවකතාවට බද්ධ කර ගන්නෙ?

1980 වගේ කාලයකදි අපි යොවුන් පත්තරවල වැඩ කළේ. අපි කියෙව්වෙත් ඒවගේ ඒවා. අත්පොත් වගේ ළඟ තිබුණෙ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා, ගොළු හදවත වගේ නවකතා. එදා අදට වඩා ආදරය පූජනීය කරලා සැලකුවා. ගීත සාහිත්‍යයේදී, චිත්‍රපටවල පවා අපට ඒ පූජනීයත්වය දක්නට ලැබුණා, වින්දා. කාලයක් යද්දි ප්‍රේමයෙන් පූජනියත්වය බැහැර වෙන හැටිත් අපි දැක්කා, වින්දා. වියපත් වීමත් එක්ක, දහමත් එක්ක කල්පනා කරලා බැලුවම ඇත්තටම ප්‍රේමය ක්ලේෂයක්. එතකොට ප්‍රේමයේ සැබෑ ස්වරූපය හෙළි කරන්න ලේඛකයන් විදියට අපට වගකීමක් තියෙනවා. මම කළේ ඒක.

Comments