ජාතික හා ජාත්‍යන්තරව පවතින ඉහළ රැකියා ඉල්ලුම වෙනුවෙන් අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා රජයේ සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශි කොට පොදු වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙස කෝප් අනු කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශ රැකියා සඳහා ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව එම කමිටුව මඟින් අවධාරණය කර තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෘතීයික කාර්මික අධ්‍යාපනයට
අදාළ අනු කමිටු විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඉකුත් 3 වනදා රැස් වූ අවස්ථාවේදීය. එම අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
රසික කොටුදුරගේ