![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/02/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA.jpg?itok=g5qmdV1M)
පසුගිය වසර දෙක තුළ පැවැති සත්ව ආහාර හිඟය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය පහත වැටී තිබිනි.
නමුත් මේ වනවිට නැවතත් මෙරට කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බව රජයට අයත් ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් වන මිල්කෝ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා පුද්ගලික අංශය සතු පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම අවධාරණය කරයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) මෙම කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරින් සමග ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කළේය.
ඒ අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පසුගිය මාස හය තුළ එළ කිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වාත් මිල්කෝ සමාගම කිරි ලීටර් 19,152,766 දක්වාත් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම ප්‍රමාණය සියයට 30ක පමණ ඉහළ යාමක් බව එම සමාගම් පෙන්වා දුන්නේය.
එමෙන්ම ආරියශීල වික්‍රමනායක මහතා විසින් පවත්වාගෙන යන පැල්වත්ත කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සතුව මේ වනවිට මෙරට දියර කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් අලෙවි කර ගත නොහැකිව ඇති බව ඒ මහතා සඳහන් කළේය. රට තුළ කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය විසින් විදේශ රටවලින් තවදුරටත් කිරිපිටි ආනයනය කිරීමට අවසර දීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි හෙතෙම අවධාරණය කළේය.
මේ වනවිට රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් කිරිපිටි ආනයනය නතර කරන ලෙස මෙම සමාගම් බලධාරිහු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ වුවද මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ යාම සම්බන්ධව කඩිනමින් තමන්ට වාර්තාවක් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර කිරි පිටි ආනයනය සම්බන්ධව ඉදිරි තීරණ ගන්නා බවත්, මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ යාම රජයක් ලෙස තමන් සතුටට පත්වන කරුණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර පසුගිය වසර දෙක තුළ දියර කිරි හිඟය නිසා මිල්කෝ සමාගම විසින් කිරිපිටි නිෂ්පාදනය හා හයිලන්ඩ් ශීත කළ කිරි නිෂ්පාදනය අත්හිටුවා තිබු අතර මෙම වසරේ දී නැවතත් එම නිෂ්පාදන ආරම්භ කර තිබේ. එමෙන්ම ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය ද මේ වනවිට නැවතත් තම සියලු කිරි නිෂ්පාදන ඉහළ නංවා තිබේ.