ශිෂ්‍යත්වයෙන් ලකුණු 182ක් ගෙන ජයකෙහෙළි නංවා ආනන්දය දිනා අකාලයේ මිලින වූ මල් කැකුළ | සිළුමිණ

ශිෂ්‍යත්වයෙන් ලකුණු 182ක් ගෙන ජයකෙහෙළි නංවා ආනන්දය දිනා අකාලයේ මිලින වූ මල් කැකුළ

ආනන්ද විද්‍යාලයේ වෙනිඳු ඉගෙනගත් පන්තියේ සිසු දරුවන් වෙනිඳුගේ දේහය අබියස සහ මියගිය වෙනිඳු සත්සර

- ශිෂ්‍යත්වෙන් ලකුණු 182ක් අරන් කොළඹ ආනන්දෙට තේරිලා
- වෙනිඳු පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවේ මීගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ
- අනතුර සිදුවෙලා තියෙන්නේ පාසලේ භූගෝල විෂයට අදාළ පින්තූර කොළයක් ගන්න තාත්තා එක්ක මීගොඩ නගරයට ගිය අවස්ථාවේ

ල්ලි පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි. එයා ශිෂ්‍යත්ව විභාගය පාස් වෙයි කියලා අපි හැමෝගෙම හිතේ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ හිතුව විදිහටම මල්ලි ලකුණු 182ක් අරගෙන ඉහළින්ම ශිෂ්‍යත්වය පාස් වුණා. කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙන්න ලකුණු ඇති වුණත් මල්ලිට ඕන වුණේ කොළඹ ආනන්ද විද්‍යාලයටම යන්නයි. ඒක එයා පුංචි කාලේ ඉඳලා දැකපු හීනයක්. ඒ හීනේ හැබෑ වුණ එක ගැන එයා වගේම අපිත් ගොඩක් සතුටින් හිටියෙ. අපේ පවුලේ හැමෝම වැඩිපුරම ආදරේ කළේ මල්ලිට. එච්චර ආදරේ කරපු මල්ලිව අපිට නැති වුණා. නැති වුණා නෙවෙයි බීමත් රියැදුරෙක් මල්ලිව අපිට නැති කළා”. 

සිය බාල සොහොයුරාගේ නිසල දේහය අසල හිඳින තරුණයාගේ මුව ගොළු වෙයි. ඒ දෙනෙත්වලින් කඳුළු කඩා හැලේ. කිසිවක් විමසා ඔහුගේ දුක අවුලනු නොහී මොහොතකට නිහඬ වීමි. ඒ නිහැඬියාව බිඳෙන්නේ අවමංගල සයනේ නිසලව වැතිර ඉන්නා පුතුගේ මවගේ ඉකිබිඳුමයි. ඉකිබිඳුම අතරින්ම ඇය පුතු අමතන්නීය.

“අනේ සුදු මහත්තයෝ නැඟිටින්නකො, ඔයා ඔහොම නිදාගෙන ඉන්නෙ නෑනේ. මේ ඔයාගෙ අලුත් ඉස්කෝලෙ යාළුවොත් ඇවිත්. ඔයා හැම තිස්සෙම කියන ඔයාගෙ යාළුවා අනුහස් ඇවිත්. ඉතින් නැඟිටින්නකො සුදු මහත්තයො”.

ඒ කිසිවක් අම්මාගේ 'සුදු මහත්තයා', වෙනිඳු සත්සර පෙරේරා (11)ට ඇහෙන්නේ නැත. දැනුම් තේරුම් ඇති දා සිට ආනන්දියයකු වන්නට හීන දුටු වෙනිඳුට අවසන් බුහුමන් දක්වන්නට පැමිණි ආනන්දේ යාළුවන් නෙත කඳුළු පිසිමින් සිය අලුත් මිතුරාට සමු දෙනු දකිද්දී නෙතට කඳුළක් නොආවා නම් අරුමයකි. “අනුහස් පුතා කවුද? අනේ පුතේ ඔයා ගැනමයි වෙනිඳු කිව්වෙ. එයා ඉස්සෙල්ලාම ඉස්කෝලෙට ගිය දවසෙ එයාට ඉඳගන්න පුටුව දුන්නේ ඔයා කිව්වා පුතේ” වෙනිඳුගේ අම්මා නදීකා රෝහිනී (40) එසේ කියද්දී දරුවන් අතරෙන් ඇය වෙතට ආ අනුහස් පුතු තුරුලු කරගෙන ඉකිබිඳිමින් වැලපෙන්නට වූවාය. වෙනිඳුගේ ආච්චි අම්මා කරුණාවතීගේ වියපත් හදවත ද ඔහුගේ වියෝව දරාගත නොහැකිව විටින් විට හඬා වැටෙන්නීය.

2012 ජුලි මාසයේ 16 වැනිදා උපන් වෙනිඳු පුතු පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවේ මීගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේය. ඉගෙනුමට මෙන්ම ඔහු ක්‍රීඩා, සෞන්දර්ය සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද උපන් හපන්කම් දැක්වූ දරුවකු විය. ඒ අතරෙන් චෙස් සහ පිහිනුමට ඔහු විශේෂ දක්ෂතාවක් සහ කැමැත්තක් දැක්වීය. පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා විභාගවලදී කිසිවිටෙක වෙනිඳු පළමු, දෙවැනි හෝ තෙවැනි ස්ථානවලින් පහළට නොගියේය. ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන තෙක් ඔහු මීගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළේය. මීගොඩ ශ්‍රී ගුණරතන දහම් පාසල කුඩා වෙනිඳුගේ අාධ්‍යාත්මික ජීවිතය පෝෂණය කළ දහම් තෝතැන්න විය. ඒ සියලු වටිනාකම් මැද වෙනිඳු දිනෙන් දින දිදුලන දරුවකු ලෙස හැදී වැඩිණ.

වෙනිඳුගේ පියා ප්‍රියන්ත කුමාර (51) සිය බිරිය, දරුවන් තිදෙනා ඇතුළු පවුල පෝෂණය කළේ වෙළෙඳාමෙනි. වෙනිඳුගේ වැඩිමහල් සොහොයුරු අවිඳු ඉසුරංග (21) හෝටල් සූපශාස්ත්‍ර පාඨමාලාවක් හදාරන අතර, කොළඹ අවන්හලක ප්‍රායෝගික පුහුණුව ලබමින් සිටී. පවුලේ එකම දියණිය කුෂාණි ඉසුරංගි (13) මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන්නීය. මේ සියලු දෙනාගේ රැකවරණය සහ අසීමිත සෙනෙහස විඳිමින් වෙනිඳු පුතු ගත කළේ ප්‍රීතිමත් ළමා වියකි. 

ශිෂ්‍යත්ව විභාගයෙන්ම ඉහළින්ම සමත් වූ වෙනිඳු සත්සර කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තෙමසක් ගතවූවා පමණි. ආනන්දයට ඇතුළත් වීමෙන් පසු ඔහු වෙනදාටත් වඩා සතුටින් සිටි බව ඔහුගේ සහෝදරයා අප සමඟ කීවේය.

“මල්ලි ඉස්කෝලෙ යන්න ගෙදරින් යන්නේ පාන්දර පහට. තාත්තා මල්ලිව ගොඩගම හන්දියෙන් පාසල් බස් රථයට නග්ගනවා. මල්ලිත් එක්ක මල්ලිගේ යාළුවකුත් ආනන්දෙට ඇතුළත් වුණා. ඒ මල්ලිගේ අම්මයි, අපේ අම්මයි මාරුවෙන් මාරුවට හැමදාම දවල් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලෙ ළඟට ගිහින් මල්ලිලා දෙන්නා ස්කූල් බස් එකට නග්ගලා අම්මලා පාරේ බස් එකේ ගෙදර එනවා. තාත්තා මල්ලිව ගොඩගම හන්දියෙන් ස්කූල් බස් එකෙන් අරගෙන ගෙදර එක්ක ගෙන එනවා. ඒ තරම් පරෙස්සමට බලාගත්ත මල්ලිට මෙහෙම දෙයක් වුණාම අපි දරාගන්නෙ කොහොමද? අම්මට, තාත්තට මේ දුක දරාගන්න බැහැ. අපේ පවුල දැනටමත් කඩා වැටිලා ඉවරයි. ආනන්දෙට ඇතුළත් වෙලා මල්ලි මුහුණ දීපු පළමුවැනි වාර විභාගෙ ලකුණු දුන්නේ මල්ලි නැතිවෙන්න දවස් දෙකකට කලින්. අලුතින් ඉස්කෝලෙට ගිය නිසා වෙනදා වගේ පන්තියෙ පළමුවැනියා, දෙවැනියා වෙන්න බැරිවෙයිද කියලා එයාගේ හිතේ පුංචි චකිතයක් තිබ්බා. ඒත් මල්ලි සේරම විෂයන්වලට ලකුණු 1,139ක් අරගෙන තිබුණා. එයා ඒ ගැන ගොඩක් සතුටෙන් හිටියෙ. මල්ලිව හොරු අරගෙන ගියා වගේ අපිට නැති වුණා. මට හරිම දුකයි. මේ අනතුර වෙන්න දවස් දෙකක් ඉඳලා මම මල්ලිව දැක්කෙ නෑ. මම පාන්දර කොළඹ වැඩට යද්දි මල්ලි නිදි. මම රෑවෙලා ගෙදර එද්දිත් මල්ලි නිදි. මල්ලි අම්මට කියලා මට කියන්න කියලා එයාට චීස් කොත්තුවක් හදලා දෙන්න කියලා.”

තරුණයා දෑතින් මුව වසාගෙන කඳුළු සලන්නේ අවිහිංසක හුරතලකු වූ සිය මලනුවන්ගේ අකල් වියෝව දරාගත නොහැකිවය. අනතුර සිදුවූ ඉකුත් 26 වැනිදාත් වෙනිඳු සුපුරුදු පරිදි පාසල් ගියේය. එදින හවස්වරුවේ විද්‍යාලයේ පැවති නාට්‍යයක් නැරඹීමට ද එක්වූ වෙනිඳු පියා සමඟ නිවෙසට පැමිණියේ මඳක් රෑ බෝවීය. එහෙත් කිසිවක් නිසා ඉගෙනුම් කටයුතු අතපසු කරගැනීම වෙනිඳුගේ සිරිත නොවේ. පසුදින පාසලේ භූගෝලය පාඩම සඳහා අවශ්‍ය වූ පින්තූර කොළයක් ගැනීමට ඔහු සිය පියා ප්‍රියන්ත කුමාර (51)සමඟ ඔවුන්ගේ ත්‍රිරෝද රියේ නැඟී මීගොඩ නගරයට යන විට රාත්‍රී 9.30ට ආසන්න වී තිබිණ. අවශ්‍ය පින්තූර කොළ සහ ඡායා පිටපත් ද ලබාගත් වෙනිඳු පියා සමඟ ත්‍රිරෝද රථය අසලට ආවේ පොළ දෙසට යෑමට පාර මාරු වීමටය. එහෙත් එළැඹෙමින් තිබුණේ මාරයාගේ මොහොත බව කිසිවකු දැන සිටියේ නැත. වෙනිඳුගේ වැඩිමහල් සොහොයුරු අවිඳු ඉසුරංග ඒ වේදනාකාරී මොහොත සිහි කළේ කඳුළු අතරෙනි.

“තාත්තයි මල්ලියි පාර පනින්න හිටගෙන ඉන්නකොට හයිලෙවල් පාර දිගේ අවිස්සාවේල්ල පැත්තේ ඉඳන් කොළඹ දෙසට අධික වේගයෙන් ඇවිත් කැබ් එකක හැප්පිලා. ඒ කැබ් එකට මල්ලි යටවෙලා. කාර් එක ඊට කලින් 20 කණුව හරියෙදි පාරේ ගිය තවත් දෙන්නෙක්වත් හප්පගෙනයි ඇවිත් තියෙන්නෙ. කැබ් එකට යටවෙලා මල්ලිට ගොඩක් තුවාල වෙලා තියෙනවා. එවෙලෙම මල්ලිව හෝමාගම ඉස්පිරිතාලෙට ගෙනිච්චත් මල්ලිගෙ ජීවිතේ බේරගන්න බැරි වුණා. තාත්තාගෙත් ඔළුවට, පපුවට තුවාල වෙලා. තුවාලවලට මැහුම් දාලා තියෙන නිසා තාත්තව ගෙදර එන්න බෑ කියලා රෝහලෙන් කියලා තිබුණත් තාත්තා මල්ලිව බලන්න ඕන නිසා බලෙන් ටිකට් කපාගෙන ගෙදර ආවා. අනතුරෙන් ඔළුවට වෙච්ච තුවාලයි මල්ලි නැති වුණු වේදනාවයි නිසා තාත්තා මානසිකව ගොඩක් ලොකු පීඩනයක ඉන්නෙ. තාත්තව මානසික උපදේශන සේවයට එක්ක ගෙන එන්න කියලා රෝහලෙන් දැනුම් දුන්නා.” 

වසර 11ක් පවුලේම හුරතලා ලෙස සියලු දෙනාගේ ආදරය ලබමින් හැදුණු වැඩුණු වෙනිඳුගේ හදිසි වියෝව ඔහුගේ මවුපියන්ට, එකම සහෝදරිය සහ සහෝදරයාට පමණක් නොව අසල්වැසියන්, හිතමිතුරන් සියලු දෙනාටම විශාල කම්පනයකි. වෙනිඳු ජීවත් වූයේ මීගොඩ හෙට්ටියාවත්ත, 6 වන පටුමඟේ අංක 412 / 06 නිවෙසේය. වෙනිඳුට අත්වූ ශෝචනීය ඉරණම දැනගත් මොහොතේ සිට ඔහුට අවසන් ගෞරව දක්වන්නට ඒ කුඩා නිවෙස වෙත විශාල පිරිසක් පැමිණෙන්නට විය. නිවෙස හා වෙනිඳු කුඩා වුවත් ජීවත් වූ ටික කාලයට ඔහු ගුණදහමින් පිරුණු දරුවකු ලෙස හැදී වැඩුණු බවට එය නිහඬ සාක්ෂියකි. ඒ අතර වෙනිඳු පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් මීගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ කුඩා පාසල් මිතුරන් රැසක් වෙනිඳුගේ වියෝව දරාගත නොහැකිව කම්පා වෙමින් ඔහුගේ දේහය අසලම රැඳී සිටියහ. ඒ අතර සිටි නදිත, ජිතුල, යුමෙත්, සෙනිත සහ සිනෙත්මා වෙනිඳුගේ ළෙන්ගතුම මිතුරන්ය. වෙනිඳුගේ හොඳම මිතුරා නදිත නිම්සර අබේරත්න (11) වෙනිඳු ගැන මතකය අවදි කළේ දෙනෙත්වල කඳුළු පුරවාගෙනය.

“අපි දෙන්නා එක වසරේ ඉඳලම එකම පන්තියෙ හිටියෙ. වෙනිඳු ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. එයා ආනන්දෙට යද්දි මට දුක හිතුණෙ නැත්තේ එයා ඒ ගැන ගොඩක් ආසාවෙන් හිටිය නිසා. ගිය සිකුරාදත් එයා අපේ ගෙදර ඇවිත් සරුංගලයක් හදන්න කිතුල් පිත්තක් කපාගෙන ගිහින්. ඒ වෙලාවේ මම ගෙදර හිටියෙ නෑ. වෙනිඳු ගොඩක් හොඳ යාළුවෙක්. අපි වගේම සර්ලා මිස්ලත් වෙනිඳුට ගොඩක් ආදරෙයි. පහ වසරෙදි අපේ පන්ති භාරව හිටිය ගයාන් කුමාර සර් වෙනිඳුට ගොඩක් ආදරෙයි. වෙනිඳුගෙ උපන්දිනේ තිබ්බෙ ජූලි 16 වැනිදා. එයා කිය කිය හිටියෙ අපි කට්ටියටයි ගයාන් සර්ටයි උදව් කරපු අනිත් සර්ලා මිස්ලටයි පාටියක් දෙන්න ඕනේ කියලා. අපිට ගොඩක් දුකයි අපේ වෙනිඳුට වෙච්ච දේට” ඒ කුඩා උන්ගේ හදවත්වලින් ගලන අව්‍යාජ වදන්වැල්ය.

ඉංජිනේරුවකු වී රටට සේවයක් කරන්නට සිහින දුටු වෙනිඳු ඉකුත් 29 වැනිදා මීගොඩ මුතුහේන වත්ත සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ බොහෝ දෙනකුගේ සෝ සුසුම් මැදය. පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව 26 වැනිදා රාත්‍රී 10ට පමණ බීමත් පුද්ගලයකු අධික වේගයෙන් පැදවූ මෝටර් රථයක් මීගොඩ 20 කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් 57 හැවිරිදි මවක සහ ඇයගේ 18 හැවිරිදි පුත්‍රයාගේ සිරුරේ ගැටීමෙන් පසු නොනවත්වා මීටර් 500ක් පමණ දුරක් ඉදිරියට ධාවනය කරද්දී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී ඇත. වෙනිඳු පුතු යට වන්නේ ඒ කැබ් රියටය. ඔහු සමඟ මෝටර් රථයේ ගැටුණු දෙදෙනා සහ වෙනිඳුගේ පියා ද හෝමාගම රෝහලට ඇතුළත් කෙරිණි. පොලිස් අත්අඩංගුවට පත් වූ මෝටර් රථය පැදවූ බීමත් රියැදුරු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. වෙනිඳුගේ සහෝදරයා අවිඳු මේ සිදුවීම සම්බන්ධයෙන් තවත් කරුණක් හෙළි කළේය.

“අනතුර සිදුවුණු ස්ථානය ළඟ රෙදි කඩයක තියෙන සීසීටීවීවල මේ සිද්ධිය පැහැදිලිව පේනවා. කැබ් එකේ හැප්පිලා කාර් එක ඉස්සරහට ගිහින් නතර කරලා තියෙද්දි කාර් එකේ පිටිපස්සෙ හිටපු කෙනෙක් බැහැලා යනවා. කීප දෙනෙකුට තුවාල කරලා මරණයකුත් වෙන්න තරම් බරපතළ අනතුරක් කරපු වාහනයක හිටපු කෙනෙකුට පොලිසියට සාක්ෂියක්වත් නොදී හොරෙන් එහෙම වාහනෙන් බැහැලා යන්න පුළුවන්ද? වාහනය පැදෙව්වෙ එයා නොවුණට ඒක මනුස්සකමටවත් ගැළපෙන වැඩක්ද? මේ වගේ බීමත් අවිනීත මිනිස්සු අතින් තවත් අහිංසක ජීවිත විනාශ වෙන්න ඉඩ දෙන්න එපා කියලයි අපි ඉල්ලන්නෙ. අපේ අහිංසක මල්ලිගේ නැතිවුණු ජීවිතේට සාධාරණයක් කරන්න කියලා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.” නීතිය රකින වගකිවයුත්තෙනි, අහිංසක මල් කැකුළක් අකාලයේ මිලින කළ බීමත් අවිනීත රියැදුරා වෙනුවෙන් ඔබ නීතිය ක්‍රියාත්මක කරන තුරු ඔවුහු බලා සිටිති.



ඡායාරූප- සුදත් නිශාන්ත

Comments