මුඩුබිම සරුබිමක් කර පාසල් පෙළ පොතට ගිය බරවකුඹුකේ සියදෝරිස් | සිළුමිණ

මුඩුබිම සරුබිමක් කර පාසල් පෙළ පොතට ගිය බරවකුඹුකේ සියදෝරිස්

ත්සාහයත්, කැපවීමත් හා විශ්වාසයත් ඇත්නම් කළ නොහැක්කක් නැත. එකී කියමන තව තවත් සනාථ කරවන පුවතකි මේ. වාරි ඉංජිනේරුවන්ට පවා ඉටු කළ නොහැකි යැයි පවසා අතහැර දැමූ මුඩු බිමක් සරු බිමක් කරමින් අක්කර 100කට වැඩි බිමක් අස්වැද්දීමට ඇළක් කපා ජලය ගෙනා අපූරු ගොවි දෙවියකුගේ තතු සොයා පසුගිය දින හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් බරවකුඹුක අබේසේකරගමට ගියෙමු. මෙහි ඇති විශේෂත්වය නම් මේ අපූරු ගොවි දෙවියාගේ වීර ක්‍රියාව පිළිබඳ 10 වැනි ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ 10 වැනි පාඩම ලෙස පාසල් පෙළ පොතට එක් කර තිබිමත් හා වර්තමානය වන විට එම කතාව වේදිකා නාට්‍යයක් ලෙස කලඑළි දැකීමත්ය. මේ නිසාම අප මෙම අපූරු ගොවියා සොයා බරවකුඹුක අබේසේකරගම පිහිටි නිවෙසට ගියෙමු. මේ ඒ පිළිබඳ කතාවයි. 

චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය යටතේ බරවකුඹුක, අබේසේකරගම ඉඩම් ලබා පැමිණි සියලුම දෙනාට එදා අත් වූයේ අවාසනාවන්ත ඉරණමකි. ඒ චන්ද්‍රිකා වැවෙන් පැමිණි මහ ඇ‍ෙළ් ජල කඳ මෙම ඉඩම්වලටත් වඩා පහළින් ගමන් කිරීමය. මේ හේතුව නිසාම එවකට සිටි වාරි ඉංජිනේරුවන් පවා මෙම ගමට ජලය සැපයීමට නොහැකි බව දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය. මේ නිසාම සරු බිමක් මුඩු බිමක් බවටත්, ගොවි පරපුරක් කුලීකාරයන් බවටත් පත් විය. නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසාම රත්රන් පොළොවක් යකඩ පොළොවක් බවට පත්ව තිබුණි. ඉඩම් ලබා පැමිණි ගොවියෝ ද තමන්ට ලැබුණු ඉඩම් කැලෑ වදින්නට දී අල්ලපු ගමේ ඉඩම්වලට කුලියට ගොස් කීයක් හරි හොයාගෙන ජීවත් වූහ.

බරවකුඹුක අබේසේකරගම පදිංචි සමරප්පුලිගේ සියදෝරිස් නොහොත් බරවකුඹුකේ සියදෝරිස්ට දැන් වයස අවුරුදු 92කි. සියදෝරිස්ගේ උපන් ගම උස්වැව මැටිගත්වලය. සහෝදර සහෝදරියන් 08 දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූයේ සියදෝරිය. ඉතාමත් කටුක දිවියක් ගෙවූ සියදෝරිස් ඇතුළු පවුලේ උදවියට ඉඩමකට කියා තිබුණේ අක්කර කාලකටත් වඩා අඩු බිම් ප්‍රමාණයක් පමණි. පවුලේ සාමාජිකයන් අට දෙනාට ගොවිතැනක් කරගෙන ජීවත් වීමට තරම්වත් එම ඉඩම ප්‍රමාණවත් නොවීය. සියදෝරිස්ගේ ගමේ පිහිටි ඉඩම්වලින් හතරෙන් තුනක්ම අයිතිව තිබුණේ ගමේ පන්සලට හා බලපුළුවන්කාර පවුල් කිහිපයකටය. අන් සියලුම දෙනා ගමේ පදිංචිව සිටියේ කුඩා ඉඩම් කැබලිවලය. පාසල් අධ්‍යාපනයත් හරිහැටියට නිමා කර ගැනීමට නොහැකි වූ සියදෝරිස් තමන්ට වයස අවුරුදු 25දී පමණ දොන් පේලිගේ චාර්ලිනා සමඟ විවාහ වීය. පවුලේ සාමාජිකයන් වැඩිවීමත් සියළුම දෙනාට අක්කර කාලකටත් වඩා අඩු පුංචි ඉඩමේ ජීවත් වීමට බැරි නිසාත් දිනක් සියදෝරිස් හම්බන්තොට කච්චේරියට ගියේ තමන්ට ඉඩමක් ලබා දෙන්නැයි ඉල්ලීමටය. එදින ඉඩම් කච්චේරියට ගිය සියදෝරිස්ගෙන් ලියමන් කිහිපයකටම අත්සන් ලබා ගත් නිලධාරීන් පසුව දැනුම් දෙන්නම් කියා සියදෝරිස් පිටත් කර යැවිණි. මාස කිහිපයක් ගත වීම නිසා සියදෝරිස් බිරිය සමඟ ද පැවසුවේ ආණ්ඩුවේ කන්තෝරුවෙන් ලියමනක් එනකම් බලාගෙන හිටියොත් අපි පරාදයි. ඒ නිසා හෙටම යන්න ඕනේ කච්චේරියට අයේමත් කියාය. එසේ කියූ සියදෝරිස් පසුදින උදෑසන පිටත් වූයේ කච්චේරියට යන්නටය. සිය නිවෙසේ සිට උස්වැව දෙසට යමින් සිටි සියදෝරිස්ට පියුන් මහතා ලියමනක් ගෙනත් දුන්නේය. ඔහු ලවාම එය පරීක්ෂා කරගන්නට සියදෝරිස් කටයුතු කළේය. එහි සඳහන්ව තිබුණේ තමන්ට බරවකුඹුක අබේසේකර ගමින් ඉඩම් ලැබී ඇති බවයි. වහා කකුල ඉක්මන් කර ඉඩම් කච්චේරියට ගිය සියදෝරිස් සියල්ල සැක හැර දැන ගත්තේය. තමන්ට කුඹුරු අක්කර 03ක් හා ගොඩින් අක්කර 02ක් හිමිව ඇති බවයි. “අක්කර කාලෙන් කාලකටවත් හිමිකමක් නොලැබුණු මට අක්කර 05ක් ලැබුණා“ යැයි සියදෝරිස් කෑ ගසා කියන්නට වීය. ඉහවහා ගිය සතුටින් නිවසට ගිය සියදෝරිස් තම ඥාතීන්ටද මේ ගැන කීවේය. සියදෝරිස්ගේ පවුලේ කිසිවෙකුටත් මේ තරම් ලොකු ඉඩමක් නොතිබිණි. සියලුම දෙනාට මෙය හීනයක් වගේ විය.

සියදෝරිස් බිරිය සමඟ පසුදා ම බඩු මුට්ටු ලොරියක පටවාගෙන අබේසේකරගමට ගියේය. ඒ වන විට සියදෝරිස්ට වයස අවුරුදු 27ක් පමණය. තමන්ට ලැබුණු ඉඩමට පැමිණි සියදෝරිස් බිරිඳ සමඟ පැල් කොටයක්ද අටවා ගෙන එහි පදිංචි විය. තමන්ට ලැබුණු ඉඩම වටා සතුටින් එහා මෙහා ඇවිද යන ගමන් සියදෝරිස් බිරියට කීවේ මෙය රත්රන් පොළොවක් කියාය. කෙසේ නමුත් වැඩිකල් යන්නටත් මත්තෙන් රත්රන් පොළොවක් කියා හැඳින් වූ බිම යකඩ පොළොවක් යැයි සියදෝරිස්ම කියන්නට විය. ඒ මෙම ඉඩම් සඳහා වතුර නොලැබීමය.

නිවසේ වු ප්ලාස්ටික් පුටුවක සුව පහසුවට වාඩිවී සිටි සියදෝරිස්ට දැන් වයස 92කි. තවමත් තමන්ගේ වැඩපළ තනියම කරගන්නා සියදෝරිස් එදා අතීත කතාව අපත් සමඟ මෙලෙස කීවේය.

අපිට ඉඩම් ලැබුණේ චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය යටතේයි. ඒ 1958 දීයි. මමත් එක්ක තව පවුල් 38ක් මේ ගමට පදිංචියට අවා. එක් පවුලකට අක්කර 05ක වෙන්න ලැබුණා. අපි එනකොට මේ මුකළානේ හිටියේ අලි කොටි වලස්සු විතරයි. කොහොම නමුත් අපි ඇවිත් කැලෑ කපලා කියලා වගා කරන්න සූදානම් වුණත් අපිට වතුර ලැබෙන්න විදියක් තිබුණේ නෑ. චන්ද්‍රිකා වැවෙන් එන මහ ඇළ ඒ වනවිටත් පිහිටලා තිබුණේ අපේ ඉඩම්වලටත් වඩා ගොඩාක් පහතින්. ඒ කාලේ තිබුණේ ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය කියලා එකක්. පස්සෙදින් ඔය මහවැලිය කියලා එකක් ආවේ. අපි ඉඩම් ලැබිලා ආව පවුල් 38ම වතුර නැති නිසා අපිට වගාවක් කරන්න විදියක් තිබුණේ නෑ. මාස් කන්නයට වැස්ස බලලා මොනවා හරි ගොඩ බෝගයක් වගා කර ගත්තා විතරයි. ඒ හැරුණම අපි සියලුම දෙනාට වුණේ ඉඩ කඩම් තියාගෙන අහල පහල ඉඩම්වල කුලියට යන්න විතරයි. මට මේක රුස්සන්නේ ම නැති නිසා මම නිකන් හිටියේ නෑ. මම දවස ගාණේ ආණ්ඩුවේ කන්තෝරුවල ඉන්න ලොකු ලොකු මහත්තුරුන්ට මේ දුක් ගැනවිල්ල කියලා ලියුම් ලිවුවා. මම අපේ මේ ඉඩම්වලට වතුර දෙන්න කියලා ලියපු ලියුම් තැපැල් කරන්න වියදම් වෙච්ච මුදල් ප්‍රමාණය මාසයක් කුලියට ගිහින් හම්බ කරන මුදලටත් වඩා වැඩියි.

කොහොම හරි මගේ ලියුම්වලට විවිධ නිලධාරීන් වගේම ඉංජිනේරු මහත්වරු ගමට ආවා. ඒ ආව හැම කෙනාම කිව්වේ මේක කරන්න බැරි වැඩක් කියාය. ගමට ආව නිලධාරීන් අපේ බලාපොරොත්තු සුන් වෙන විදිහට කතා කරලා දමලා ගහලා ගියා. අපි වසර 07කට ආසන්න කාලයක් මේ විදිහට දුෂ්කර ජීවිතයක් ගෙවුවා. බොන්න හා වෙනත් වැඩවලට වතුර ටිකක් ගේන්න කිලෝ මිටර් හය හතක් පාපැදිවලින් වලවේ ගඟට යන්න සිදු වුණා. මේ ඉඩම් දමලා ගහලා කො‍ෙහට හරි යමු කියලා බිරිඳ නිතරම මට කිවුවා. ඒත් ඒ වෙලාවේ මම කිව්වේ මේ ඉඩම්වල තියෙන රත්රන් යට ගිහිල්ලා. බොරලු මතු වෙලා තියෙන්නේ කියලා. මේක රත්රන් පොළොවක්. අපි බලමු මේ පොළොවේ රත්රන් මතු කර ගන්න කියාය. මේ වෙනකොට මගේ බිරිඳත් අබේසේකර වෙද ගෙදර වැඩට යනවා. ඉතින් වෙද ගෙදරින් හාල් පොල් ටිකක් එළවළු ටිකක් අපිට දින දෙක තුනකට සැරයක් ලැබෙනවා. එදා පෝය දවසක්.වෙන යන්න කුලී වැඩකුත් තිබුණේ නෑ. මම උදැල්ලත් කර තියාගෙන ඒ අසල තියෙන රොටවැවට ගියා. එහි ගිහින් අපේ ඉඩම් දිහා බලන කොට මහ දුරකුත් නෑ වගේ මට පෙනුණේ. රොටවැව දිගේ ඇවිද ගෙන ගිය මට දකින්න ලැබුණේ, රොට වැවේ පිටවානෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගලාගෙන යන මහා වතුර කඳක්. මට හිතුණා මේ වතුර ටික අපේ ඉඩම්වලට ගෙනියන්න තිබුණනම් හොඳයි කියලා. මම ඇස් මට්ටමට රොටවැවේ පිටවානේ සිට අපේ ඉඩම් දෙසට බැලුවා. ඒ කාලේ උදැල්ල කියන්නේ මගේ ශරීරයේ කොටසක් වෙලා තිබුණේ. මම යන්නේ කොහෙද උදැල්ලත් මගේ කරේ තිබුණා යැයි සියදෝරිස් සිනාසෙමින් කියයි. 

රොටවැව පිටවානේ ඉඳලා ඉඩම් දෙස බැලූ සියදොරිස්ට සිතේ කෙටූ විදුලියක් මෙන් රොටවැවේ පිටවානෙන් අපතේ යන ජලකඳ සිය ඉඩම් දෙසට ගෙනියන්නට අදහසක් පහළ විය. පිටවානේ සිට ඉඩම දෙස බැලූ විට හැතැක්ම බාගෙකට වැඩිය දුරක් පෙනෙන්නට නැත. සියදෝරිස් තමන් අත තිබූ උදැල්ලෙන් පිටවානේ සිට මඟ ලකුණු කරමින් සිය ඉඩම් දෙසට ගියේය. තැන තැන කැපුවේය. වතුර ගෙනියන්න පුළුවන් ඇළක් කැපීමට සියදෝරිස් මඟක් ලකුණු කළේය. රොටවැවේ පිටවානේ සිට මඟ ලකුණු කරමින් ඉඩමට පැමිණි සියදෝරිස් යළිත් වැව දෙස හැරි බැලීය. මේ වන විට සියදෝරිස්ගේ බිරියත් ඉඩමට පැමිණ තිබුණාය. “මට වරදින්න විදිහක් නෑ. මට ඕනෑ විදිහට තමයි පොළොව පිහිටලා තියෙන්නේ“ යැයි සියදෝරිස් තමන්ටම කියා ගත්තේය. ඒ වන විටත් ඉඩමට පැමිණ සිටි බිරියට ද මෙය ඇසුණි. “මොකක්...ඔලුව නරක් වේ ගෙන එනව ද“ බිරිය සියදෝරිස්ගෙන් ඇසුවාය. ඔලුව නරක් වේවි තව කලක් මෙහෙම හිටියොත් සියදෝරිස් කීවේය.

ඇළට උඩින් අපේ ඉඩම් පිහිටලා තියෙන නිසා මහ ඇ‍ෙළන් වතුර ගන්න බෑ අපේ ඉඩම්වලට. අනික ලොක්කන්ට ඕනි කමක් නෑ අපිට වතුර අරගෙන දෙන්න. උන්නැහේලට ඕනේ නෑ මේක කරන්න. වතුර ඕනේ අපිට. ඒක අපිම කරගන්න ඕනේ, සියදෝරිස් උස් හඬින් කිවේය. දැන් ඉතින් මොකද්ද කරන්න යන්නේ සියදෝරිස්ගේ බිරිය විමසුවාය. වෙන මොකක් කරන්න ද. ඇළක් කපන්න හදන්නේ යැයි පැවසිය. ‍ෙරාටවැවේ පිටවානේ සිට ඇළක් ලකුණු කළ සියදොරිස් එදින රාත්‍රියේ අසල්වැසියන්ට ද මේ ගැන කීවේය. එහිදී බොහෝ දෙනෙකු කීවේ “අනේ පලයන් සියදෝරිස් පිස්සු කතා නොකර. ඕකට ගත කරන්න අපිට වේලාවක් නැහැ. අපිට වැඩ තියෙනවා යැයි“ ඉඩම් හිමියන් සියදෝරිස්ට උසුළු විසුළු කර පිටව ගියේය.

එතැන් සිට සියදෝරිස් යළිත් අප සමඟ කතාව මෙලෙස විස්තර කළේය.

මට ඕනෑ වුණේ කුලී වැඩෙන් නිදහස් වෙලා මගේ ම කියලා කුඹුරක් කරගෙන ඉන්න. පහුවෙනිදා උදේ මං උදැල්ලත් අලවංගුවත් අරගෙන ගිහින් පෙරදින මම ලකුණු කළ මාර්ගය කැපුවා. එතනින් යන එන අය මට “ගොන් බඳින කණුවක් බන් උබ“ කියා බැණ්නා. මම ඒ එකක්වත් ගණන් ගත්තේ නැතිව ඇළ කැපීම කළා. ඒ වෙලාවේ හම්බන්තොට හිටපු මහ ලේකම්තුමා මෙතනට ඇවිත් කිවුවා සියදෝරිස් මේක නවත්තන්න කියලා. මේ විදියට ඇළවල් කපන්න දෙන්න බෑ. මම නීතිය ක්‍රියාත්මක කරනවා, සියදෝරිස්ට එරෙහිව කියලා කිව්වා. මම කිව්වා ඔබතුමාට කැමති දෙයක් කරගන්න කියලා මම මගේ පාඩුවේ ඇළ කැපුවා. මාස තුනකට ආසන්න කාලයක් මම ඇළ කැපුවා. අතරමඟදි මට සහායට දෙන්නෙක් ආවා. මම කොහොම හරි රොටවැවේ පිටවානේ ඉඳන් ඉඩමට යනකම් ඇළක් කැපුවා. පිටවානෙන් පිටවන වතුර හා කැපූ ඇළ එකට යා වන තැන එකට සම්බන්ධ කරන දිනයේ මම සියලුම දෙනාට එන්නැයි කිව්වා. ඒ වෙලාවෙත් එතැනට ආව බොහෝ දෙනෙක් කිව්වේ මේකෙන් වතුර ඒවිද දන්නේ නෑ නේද කියලයි. මම ඇළ එකට සම්බන්ධ කරනකොට ජලය හෙමින් හෙමින් ඇළ දිගේ ගලා ගෙන ගිහින් ඉඩම්වලට වතුර වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඒක දැක්ක බොහෝ දෙනෙක් “සියදෝරිස් අයියා දින්නා“ යනුවෙන් කෑ මොර දෙන්නට විය. ඒ වෙලාවේදි සියදෝරිස් කිව්වේ “සියදෝරිස් දින්නා නොව අපි සියලුම දෙනා දිනුවා“ යනුවෙනි.

මේ දැන ගත් ගමේ ජනපද නිලධාරීවරයා වූ ගාමිණි ජී. පුංචි හේවා ද එතැනට ආවේය. ඔහුගේ පැමිණීම දුටු ඇතැමෙක් කියන්නට වූයේ මේ කළ වැඩේට සියදෝරිස්ට හිර කූඩුවේ ලඟින්න වේවි ද දන්නේ නෑ කියාය. කෙසේ වෙතත් සියදෝරිස් අසලට පැමිණි ජනපද නිලධාරියා සියදෝරිස්ගේ දෑත සිඹ රන් පවුම් දෙන්න වටින වැඩක් මේ කරලා තියෙන්නේ යැයි ප්‍රශංසා කරන්නට විය.

එදා සියදෝරිස්ගේ වීර ක්‍රියාව බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය නමින් ප්‍රකට විය. එදා සියදෝරිස් කුඩාවට කැපූ ඇළ ගම්මුන් සියලුම දෙනා එක්ව හාරා යළි අඩි තුනක් දක්වා පළලට සංවර්ධනය කෙරුණි. ජනපද නිලධාරීයා විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීය. සියලු දෙනාගේ ආශීර්වාදය නැතුව වුණත් සියදෝරිස්ගේ උත්සාහය නිසා අක්කර 100කට වැඩි බිම් ප්‍රමාණයක් යල මහ කන්න දෙකේ වගා කෙරුණි. අවසානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම වී අස්වැන්නක් ලබා ගත් කුඹුර යාය බවට ද මෙය පත්විය. එදා පවුල් 38ක් සඳහා සෙත සලසමින් ජලය සැපයූ ඇළ මාර්ගය අද වන විට පවුල් 70කට වැඩි ප්‍රමාණයකට සෙත සලසමින් තිබේ.

එදා මහ පොළොව සමඟ හරි හරියට ඔට්ටු වූ සියදෝරිස් අද වන විට වයෝවෘද්ධය. වෙනදා මෙන් උදැල්ල සමඟ ඔට්ටු වෙන්නට තරම් වාරුවක් සියදෝරිස්ට නැත. එදා මෙන් අද ද අපි ඇසූ ප්‍රශ්නයක් වුණු ඔබට ලෝකයේ ප්‍රියතම හඩ කුමක්දැයි ඇසූ විට “කිසිදු පැකිළීමකින් තොරව සියදෝරිස් කිව්වේ මට තියෙන මිහිරිම හඬ නම් අන්න අර ඇලේ වතුර බහින හඬ යැයි පැවසීය.

සියදෝරිස්ගේ මේ අපූරු වික්‍රමය ගැන පාසල් පෙළ පොතේ සඳහන්ව තිබුණත් කිසිවකුත් සියදෝරිස් පිළිබඳ දන්නේ ද නැත. අහල පහල ටික දෙනෙකු ඇරුණු කොට කිසිවකුත් අදටත් සියදෝරිස් දැක කතාබහ කර හෝ පාඩමට අදාළවවත් පාසල් මට්ටමින් හෝ පැමිණ සියදො­්රිස් සමඟ කතාබහ කර නොමැති තරම්ය. සිංහල විෂය උගන්වන ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන්ද අප මේ කතාව පිළිබඳ මෙන්ම කතා නායකයා පිළිබඳව ද විමසීමි.එහෙත් ඒ හැමෝගෙම පිළිතුර වූයේ සියදෝරිස් කියා කෙනෙක් ඉන්නවා ද කියාය.

සියදෝරිස්ටත් හොරා ඔහුගේ වීර ක්‍රියාව පාසල් පෙළ පොතට එද්දී සියදෝරිස්ගේ කතාව වේදිකා නාට්‍යයක් ලෙස කලඑළි දැක්වීමට ද කටයුතු කර තිබීම විශේෂත්වයකි. එය සංහිඳ සංස්කෘතික පදනමේ ඉදිරිපත් කිරීමක් ලෙසින් 30 වන දින මහරගම ජනාධිපති විද්‍යාලීය රංග ශාලාවේදි කලඑළි බැසීමට නියමිතය. දෙනගම සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද විශේෂාංගයක් යටතේ ජගත් මුතුකුමාරණ විසින් මෙම අපූරු චරිතය නාට්‍යයක් බවට පත් කෙරුණි. සියදෝරිස් සොයා යන ගමනේදී අපට එම්. ජී. කරුණාදාස දැක් වූ සහාය මෙහිදී අතිශයින්ම අගය කළ යුතුය. ඒ ඔහු නොසිටින්නට අපට ද සියදෝරිස් සොයාගත නොහැකි නිසාය. අද ජීවිතයේ සැදෑ සමය ගත කරන සියදෝරිස් හා බිරිය දරුවන්ගෙන් ලැබෙන දෙයකින් සතුටින් ජීවත් වෙයි. මෙම අපූරු මිනිසා හමුවට පාසල් ළමුන් රැගෙන යාමට හැකි නම් ඔහුගේ වදන්වළන් ඔහු එදා කළ කී දෑ මනාවට පැහැදිලි කර දෙන්නේ සියලු දෙනාට හිතුවොත් කළ නොහැක්කක් නොමැතිය යන්න සනාථ කරමිනි.


Comments