දෙබරු | Page 2 | සිළුමිණ

දෙබරු

දෙබරු’ යනු පුරාණ ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොෆනීස්ගේ (ක්‍රි.පූ 446 - 386) හාස්‍ය නාට්‍යයකි. ප්‍රථම වරට ක්‍රි.පූ. 422දී ඇතැන්ස්හි Lenaia නම් උත්සවයේදී වේදිකාගත කරන ලද එය ලෝකයේ විශිෂ්ටතම හාස්‍ය නාට්‍ය අතරින් එකක් ලෙස සැලකෙයි. එය වෙනත් ඕනෑම සෝපහාසී (comedy)නාට්‍යයකට වඩා පැරණි ප්‍රහසනයේ සම්මුතීන් හොඳින් නිරූපණය කරන බව විචාරක මතයයි.

ඇරිස්ටොෆනිස් සෝපහාසී නාට්‍ය කලාවේ පියා ලෙස ද හැඳින්වේ. ඊට පෙර එම ප්‍රවර්ගයට ඇතුළත් කළ හැකි නාට්‍ය නොතිබුණ බවක් මින් අදහස් නොකෙරේ. ඔහු විසින් ලියා රඟ දක්වන ලද නාට්‍ය සංඛ්‍යාව හතළිහක් බව පැවසෙන නමුත් මේ වන විට නිශ්චිතවම ඔහුගේ බව හඳුනා ගෙන ඇති නාට්‍ය ගණන එකොළහක් පමණි. 

මේ නාට්‍යවල එවක ඇතැන්ස් ජන සමාජය මෙන්ම නොයෙක් ප්‍රකට පුද්ගලයන් උපහාසාත්මක ලෙස විවේචනය කිරීම් දක්නා ලැබිණි. ඔහු විසින් වැඩිම නාට්‍ය ගණනකින් හාස්‍ය දනවමින් විවේචනය කරනු ලැබූ පුද්ගලයා වූයේ ක්ලියොන් ය. පිටපත අස්ථානගත ‘බැබිලෝනියන්’, ‘The Knights' සහ මේ නාට්‍යය යන තුනෙන්ම ඔහු ක්ලියොන් නිර්දය විවේචනයට ලක් කළේය. ඔහුගේ ‘වලාකුළු’ නාට්‍යයේ සොක්‍රටීස් ගැන වූ විවේචනය සොක්‍රටීස්ට එරෙහිව පැවැති විභාගයේ විනිසුරන් කෙරෙහි බලපෑමක් ඇති කළ බවත් එය සොක්‍රටීස්ට අහිතකර වූ බවත් සඳහන්ය.

එකල අපහාසය වරදක් ලෙස සැලකෙන නීති නොපැවැතිණි. ඇරිස්ටොෆනිස්ගේ දෙවැනි නිර්මාණය වන බැබිලෝනියන් නාට්‍යයෙන් තමාට එල්ල කැරුණු උපහාසාත්මක විවේචනය දරා ගත නුහුණ ක්ලියොන් විසින් ඔහු ඇතැන්ස්වලින් නෙරපන ලද බව සඳහන්ය. එසේ කරන ලද්දේ ඔහුගේ පියාට අයත් ඇතුළු නුවර දේපළ රජයට පවරාගෙන පිට නුවරින් වාසස්ථානයක් සපයා දීමෙනි. එහෙත් ඔහු ඉන් පසුබට වූයේ නැති බව ඉන්පසු තවත් නාට්‍ය දෙකක්ම ක්ලියොන් විවේචනය සඳහා රචනා කිරීමෙන් පැහැදිලි වේ.

පාලකයන්ගේ දොස් ජනතාව දැන ගත්තේ නාට්‍යකරුවන්ගේ මෙවැනි නිර්මාණවලිනි. ඒවා නිසා පාලකයන් ගැන සමාජයේ අප්‍රසාදයක්, නොමනාපයක් ඇති විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පාලකයන්ට ඒවා නොරිසි වීම ඒ අනුව වටහාගත හැකිය. ජූරි සභාවට ඇබ්බැහි වී සිටින පැරණි ජූරි සභික ෆිලොක්ලියොන් සහ ඔහු පුනරුත්ථාපනය කරන්නට ඔහුගේ පුත් Bdelycleon ගන්නා අසාර්ථක උත්සාහ පිළිබඳ කතාවකි එය. මෙමඟින් කෙරෙන්නේ එසමයේ ඇතැන්ස්හි බලවත් ජනරාල් කෙනකු වූ ක්ලියොන් උපහාසයට ලක් කිරීමයි.

දෙබරු වෙත පිවිසෙන්නට පෙර ජුරි සභිකයා සහ ක්ලියොන් ගැන දැන ගැනීම අනිවාර්ය වේ.

ක්ලියොන් යනු ඇතැන්ස්හි රණ ශූරයෙකි. එහෙත් ඔහු අත්තනෝමතික පාලනයක් ගෙන ගියේය. ඒ වන විට පැවැති එරට අධිකරණ ක්‍රමය මෙහෙය වන ලද්දේ ඔහු විසිනි. විනිසුරන් නොමැති වූ අතර යුක්තිය පසිඳලන ලද්දේ ජූරියක් විසිනි. වසරකට ජූරි සභිකයන් හය දහසක් පමණ බඳවා ගනු ලැබිණ. ඔවුන්ගේ කාලය වසරකින් අවසන් වූ අතර, ක්ලියොන්ට අවශ්‍ය නම් නැවත බඳවා ගනු ලැබිණ. ඔවුන්ට මාසිකව සැලකිය යුතු දීමනාවක් ගෙවන ලදී. ක්ලියොන්ට අවශ්‍ය පරිදි තීන්දු දෙන්නට එය ද හේතු වූයේය. ෆිලොක්ලියොන් යනු ක්ලියොන්වාදියා යන අරුත් දනවයි. ඔහු කලක් තිස්සේ ජූරි සභිකයකු ලෙස සේවය කරන තැනැත්තෙකි. ඔහුගේ පුත්‍රයා වන ඩෙල්ක්ලියොන්, ක්ලියොන්ට එරෙහි අයෙකි. මුලින් යෙදෙන Bdel යන ප්‍රත්‍යයේ අරුත් ‘එරෙහි ’බව සඳහන්ය. මේ සිංහල පරිවර්තනයේ ඔහුගේ නාමය දක්වා ඇත්තේ ප්‍රතික්ලියොන් ලෙසිනි.

මෙහි එන දෙබරු කවරහුද? ඔවුන් දෙබරුන් ලෙස හැඳින් වෙන්නේ ඇයි?

මේ දෙබරුන් යනු ක්ලියොන්ගේ මිනිසුන්ය. ඔවුහු ජනතාව පීඩාවට පත් කරන්නෝය. ප්‍රොක්ලියෝන්ට ජූරි සේවයට යන්නට පුත්‍රයා බාධා කරද්දී ඔහු වෙනුවෙන් පෙනී සිටින්නෝ ඔවුහුය.

පියා කෙසේ හෝ ජූරි සේවාවට යන්නට තැත් කිරීමත්, පුතා එය වළක්වන්නට හැකි සැම උත්සාහයක්ම ගැනීමත් මේ නාට්‍යයේ කතාන්‍යාසයේ ඇතුළත්ය.

පැහැදිලිවම මෙහි ඇත්තේ පරම්පරා ගැටුමයි. තරුණ පරපුර දූෂණයට එරෙහි වන අතර, ඔවුන්ගේ පිය පරම්පරාව එහි ඇලී ගැලී සිටිති. ඔවුන් ඉන් මුදවා ගැනීම අසීරුය. මෙහි ප්‍රධාන චරිතය වන ප්‍රොක්ලියොන් එවැන්නෙකි.

මේ කෘතියේ පෙරවදනින් ගත් උධෘතයකි මේ.

"අප විසින් කර ඇති මේ පරිවර්තන සලකා බලන කාටත් වැටහෙයි මහා නාට්‍යකරු ඇරිස්ටොෆනිස්ගේ පැවතෙන ප්‍රහසන එකොළහෙන් කිසිවක් මුල් ග්‍රීක් බසින් හැරුණ විට ඉංගිරිසියෙන්වත් සිංහලට නඟා නැති පාඩුව. වෝල්ටර් මාරසිංහ ඇරිස්ටොෆනිස්ගේ මැඩියෝ නාට්‍යය මත පණ්ඩිතයෝ නමින් නාට්‍යයක් ඉදිරිපත් කළා. මා දන්නා හැටියට උගත් ප්‍රේක්ෂකයන් පිරිසකට. කොතරම් සාර්ථක වුවත් එය බෙහෙවින්ම අනුවාදයක්ම විය.

පැරණි ග්‍රීක ප්‍රහසන නාට්‍ය ගැන දැනුමක් ලබා ගත හැක්කේ ඇරිස්ටොෆනිස්ගේ නාට්‍ය එකොළහෙනුයි. මේවා ලියා ඇත්තේ පද්‍යයෙන්. රඟපා ඇත්තේ බටනළා වාදනයත් සමඟයි. ඒවා ගැන අප කිසිවක් නොදන්නා බැවින් කථනය දිය හැක්කේ ගද්‍යයෙන් පමණයි. එයයි මා කර ඇත්තේ. සමහර පරිවර්තකයන් කෝරසය පමණක් කාව්‍යයට නංවා ඇතත් ඒ පර්වර්තිත බස මිස ග්‍රීක කාව්‍ය විලාසය අනුව නොවේ. මෙය කරද්දී සමහරෙක් ඇරිස්ටොෆනීස් අබිබවා ගොස් ඇත. සමහර පරිවර්තකයෝ මේ යම්“අසභ්‍ය වචනයක් හෝ අදහසක්”හමුවූ විට ඒවා යටපත් කරන්න, වෙනස් කරන්න හෝ මග හරින්න පුරුදු වී ඇත."

හැඳින්වීමේ මෙසේ ද සඳහන්ය.

"එය එසේ වෙතත් මා අන්තිමේදී මේ කාර්යයට බැස්සේ එය නොකළොහොතින් සිංහල පමණක් දන්නා, එහෙත් නාට්‍ය ඉතිහාසය හදාරන හෝ ප්‍රියකරන ලාංකිකයන්ට ග්‍රීක මුල් බසින් මේ නාට්‍ය රචකයාගේ කිසිම නාට්‍යයක් කවදාවත් හදාරන්නට නොලැබෙනු ඇත යන විශ්වාසයෙන්. මක්නිසාද යත්, මා හැරුණු විට මේ කාර්යයට සෑහෙන සම්භාව්‍ය ග්‍රීක භාෂාව පිළිබඳ දැනුමක් අද ඉතිරිව ඇත්තේ තව දෙදෙනකු පමණක් නිසායි. එහෙත් ඒ දෙදෙනාටත් වෙනත් හේතුන් නිසා ඇරිස්ටොෆනිස්ගේ මෙය හෝ වෙනත් නාටයයක පරිවර්තනයක් කිරීමට කැමැත්තක් හෝ අවකාශයක් නොමැති බව මට පෙනී ගිය බැවිනුයි.’

‘දෙබරු’ මහාචාර්ය මර්ලින් පීරිස්ගේ කෘතියකි.

Comments