රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන රැසක් වාණිජකරණයට ලක් කෙරේ | Page 2 | සිළුමිණ

රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදන රැසක් වාණිජකරණයට ලක් කෙරේ

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව සිදුකරන නවෝත්පාදන හා පර්යේෂණ වාණිජකරණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩසටහනේ 2 වන අදියර පසුගියදා (26) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විණි. 
 
මෙහිදී විවිධ පර්යේෂණ ආයතන හා විශ්ව විද්‍යාල විසින් සිදුකළ  රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ අතරින් තෝරාගත් නව නිපැයුම් හා පර්යේෂණ  20 ක්  එළි දක්වන ලද අතර මීට පෙර මෙම වැඩසටහන යටතේ ආහාර නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදනයන් රැසක් වාණිජකරණය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.
 
රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් පිළිබඳව මෙරට පර්යේෂණ ආයතන  හා විශ්ව විද්‍යාල විසින් නව නිපැයුම් සිදු කර තිබුනද ඒවා නිෂ්පාදනයන් ලෙස වාණිජකරණයවීම සිදුවන්නේ ඉතාමත් සුළු වශයෙනි. එම නිසා කර්මාන්ත අමාත්‍යංශය කර්මාන්ත ක්ෂේත්‍රයේ  අවශ්‍යතාවයක් ඉටුකරමින් රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන අංශයට අයත් පර්යේෂණ හා නව නිපැයුම් වානිජකරණය කිරීමේ අරමුණෙන්  මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.
 
මෙමගින් රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නවෝත්පාදනයන් එම නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සම්බන්ධ කරමින් රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් නිෂ්පාදන අංශයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිවන අයුරින් වාණිජකරණයට ලක් කොට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම කර්මාන්ත අමාත්‍යංශයේ අපේක්ෂාව වේ. 
 
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ රටක් ලෙස ඉදිරියට යාමට නවෝත්පාදන හා පර්යේෂණ වැදගත් වන අතර ලංකාවේ මේ වන විට කර්මාන්ත අංශය හා පර්යේෂණ අංශය අතර පරතරයක් පවතින බවත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය සලකා බලා එම පරතරය පියවීමට කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි. එසේම නිදහසින් පසු ගෙවී ගිය වසර 75 ක කාලය තුළ අප රට අධ්‍යාපන මට්ටම්න් ඉතා වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බවත් එම තත්වය රටේ ආර්ථික සංවර්ධනයට ඵලදායි ආකාරයෙන් යොදාගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 

Comments