රට ඉදිරියට යාමට නම් ජාති, ආගම් කුලභේද අමතක කර සියලු දෙනා එක්වී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා 26 වෙනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බෙදීමේදී ඉන්දියාව අනුගමනය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. ඒ බව විශේෂයෙන්ම අවධාරණය කරමින් ඔහු පෙන්වා දුන්නේ ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තවලට බලය ලබා දී ඇත්තේ එකම ආකාරයකින් නොවන බව ද පෙන්වා දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්ටර් අයිවන් මෙසේ පැවසුවේය. ‘‘ඉන්දියාවෙ සමහර ප්‍රාන්තවලට වැඩිපුර බලය දීල තියෙනව. සමහර ප්‍රාන්තවලට බලය දීල තියෙන්නේ ටිකයි. ඒකෙන් තේරෙන්නෙ බලය බෙදීම එකම විදියකට වෙන්න ඕන නැහැ කියන එක. ඕන නම් අපිට පුළුවන් අවුරුදු කිහිපයකට උතුරට බලය බෙදා දීල කොහොමද පාලනය වෙන්නෙ කියල බලන්න. හොඳට වැඩ පිළිවෙළ යනව නම් අපිට පුළුවන් අනිත් අවශ්‍ය අයටත් ඒ විදියට බලය බෙදල දෙන්න. සමහර දේවල් වලදී අපේ පැත්තෙනුත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. අපි මේ දිහා අලුත් විදියකට බැලිය යුතුයි. දැනට තියෙන තත්ත්වය පදනම් කරගෙන වඩා අලුත් විදියකට බලන්න ඕන. ඒ බලන අලුත් විදිය රටට යහපත් වුණොත් සුළු ජාතීන්ටත් යහපත් වුණොත් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් අපිට ඇඟිලි ගහන්න එන්නේ නැහැ.
බලය බෙදන ක්‍රියාවලියේදී සියලුම පක්ෂ එකට එකතු වී සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡා කරල, විවාද කරල තමයි හරි තීරණයක් ගන්න ඕන. බලය බෙදීමක් කියන්නේ රට බෙදනව කියන එක නෙවෙයි. ඒක බොරු කතාවක්, බොරු තර්කයක් ඒක. ඒක එහෙම කියනව නම් බලය බෙදා දීපු ඉන්දියාවට මොකක්ද වෙලා තියෙන්නේ. එතකොට ස්විස්ටර්ලන්තයෙ තියෙන්නෙත් බලය බෙදීමක්. ඒක අපි වගේ පොඩි රටක්. එතකොට බෙල්ජියම ගත්තොත් අපිට වඩා පොඩි රටක්. එහේ තියෙන්නෙත් බලය බෙදීමක්.
හැබැයි රට බෙදිල නැහැ. ඒ රටවල් බලය බෙදපු එක ගැන අපි අධ්‍යයනය කළ යුතුයි. අපි ඒ තැනට යන කොට දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය ගැන ගැඹුරු ලෙස සාකච්ඡා කළ යුතුයි. ඒක තනියෙන් කළ යුතු වැඩක් නෙවෙයි. සියලු පක්ෂ එකතු වෙලා කළ යුතු දෙයක්. එහෙම වුණාම තමයි සියලු දෙනාට පිළිගත හැකි බලය බෙදා හැරීමේ වැඩපිළිවෙළකට එකඟ වෙන්න පුළුවන් වෙන්නෙ. එහෙම එකතුවක් ඇති වුණොත් දේශපාලන ක්‍රමයේ තිබෙන අවුල් සහගත තත්ත්වයන් ද අපිට විසඳගන්න පුළුවන්. අවශ්‍ය නම් අලුත් ව්‍යවස්ථාවක් ඇති කරගැනීම සඳහාත් අපිට එය හවුල් කර ගත හැකියි.
ඕනෑම දෙයක් රටේ වෙනස් කරන්න හදනව නම් ඒක දේශපාලන පක්ෂ අතර විතරක් කතා කරල වැඩක් නැහැ. ඒකෙ වැදගත්ම දෙයක් වෙන්න ඕන මහජනයාව දැනුවත් කිරීම. ඒකට හොඳම උදාහරණ තමයි ඉන්දියාව, දකුණු අප්‍රිකාව වගේ රටවල්.
ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ලංකාව බංකොලොත් භාවයට පත්වීමේ අර්බුදයත් සියලු දෙනා එකට එකතුවෙලා වාද විවාද කරමින් ඒකට සුදුසු වැඩසටහන් ඇති කරගනිමින් ජයගත යුතුව තිබුණු ප්‍රශ්නයක්. මේක ආණ්ඩුව විතරක් කර ගැසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. සියලු පක්ෂත් මේකට කර ගැසිය යුතුව තිබුණා. මේක මඟ නොහැරිය යුතුව තිබුණා. අඩු තරමේ අපි දැන්වත් මේක බුද්ධිමත්ව විසඳාගත යුතුයි.
සමාජ ක්‍රමයේ තිබුණු බෙදීම්, කුල අනුව බෙදීම්, ආගම් අනුව බෙදීම්, සංස්කෘතිය අනුව බෙදීම් තිබුණා. මේ බෙදීම් අනාගතයට අවශ්‍ය නැහැ කියල ඉන්දියාව දැනගෙන ඒ අනුව කටයුතු කළා. ඒකයි අද ඉන්දියාවට මේ තියෙන තැනට එන්න පුළුවන් වෙලා තියෙන්නේ.
අපි ඉන්දියාවත් එක්ක එකට වැඩ කළ යුතුයි. ලෝක බලතුලනයේදී ඉදිරියේ ප්‍රධාන සාධකය වන්නේ ඉන්දියාවයි. එසේම ඉන්දියාවත් එක්ක අපි එකට වැඩ කළොත් අපිට දියුණු වෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩියි‘‘.