කේන්දරෙන් පෙන්වන අනාගත සහකරු සහකාරිය ගැන දැනගන්න | සිළුමිණ

කේන්දරෙන් පෙන්වන අනාගත සහකරු සහකාරිය ගැන දැනගන්න

විවාහ අපේක්ෂාවෙන් සිටින අය අනිවාර්යයෙන් කියවිය යුතුම ලිපියක්

 

තරුණ තරුණියන් තම විවාහය ගැන සිහින මවන බව නොරහසකි. මේ වෙනුවෙන් ඔවුන් ප්‍රේම සබඳතා ද ඇතිකර ගනී. නමුත් ඒ සියල්ල සාර්ථක වනවාට වඩා අසාර්ථක වන බව අප දැක ඇත්තෙමු. ඊට හේතුව අපට ඕනෑ ආකාරයෙන් විවාහ සිදු නොවන බව සහ උපතින්ම අපට අයත් අනාගත බිරිය සැමියා කේන්දරෙන් පෙන්නුම් කරන බැවිනි.

තරුණ වියේ දරුවන් තම අනාගත සැමියා / බිරිය කුමනාකාරයේ කෙනෙක්ද කුමන දිශාවෙන් ලැබේද යන්න දැනගැනීමට මහත් රුචිකත්වයක් දක්වන බව අත්දැකීමෙන් දනිමි. තරුණ තරුණියන්ට තමාටම විවාහය ගැන දැනගත හැකි වන පරිදි සරලව මේ ලිපිය පළ කෙරේ.

කෙන්දරය උපයෝගී කරගෙන අනාගත සහකරු - සහකාරිය ගැන තොරතුරු පෙන්නුම් කරන ආකාරය දැන් විමසා බලමු.

ස්ත්‍රී කේන්දරයක තමාට ලැබෙන පුරුෂයා කේන්දර පරීක්ෂා කරගැනීමෙන් හෙළි කරගත හැකිය. කිසියම් කේන්දරයක 7 වැන්න අධිපතියා ද ඔහු සිටින නවාංශකය ද 7 වැන්නේ සිටින වෙනත් ග්‍රහයන්ද 7 වැන්නට දෘෂ්ටි හෙළන වෙනත් ග්‍රහයන් ගැනද සලකා බැලිය යුතුය. සිකුරු විවාහ කාරක ග්‍රහයාය. කුජ හෙවත් අඟහරු පුරුෂ කාරක ග්‍රහයාය. සිත පාලනය කරන්නේ සඳුය. මේ නිසා කේන්දරවල සඳු / සිකුරු / කුජ යන ග්‍රහයන් බල දුබලතා පරීක්ෂා කළ යුතුය.

මේ ග්‍රහයන් තිදෙනාගේ බල දුබලතා ඔබගේ දැනගැනීම සඳහා පහත දක්වමි.

කේන්දරය පරීක්ෂා කිරීමේදී ලග්නයේ සිට වමට ගණනය කළ යුතුයි. රාශි 12 පිළිවෙළින් මෙසේය. මේෂ/වෘෂභ/මිථුන/කටක/සිංහ/කන්‍යා/තුලා/වෘශ්චික/ධනු/මකර/කුම්භ/මීන ස්ත්‍රී කේන්දරයක කුජ බලවත්ව සිටියේ නම් ඇයට ලැබෙන්නේ එඩිතර සැමියෙකි. (කුජගේ බලවත්කම් ඉහත වගුවෙන් බලාගත හැකිය) ඔබ මේෂ ලග්නයේ නම් තුලා රාශිය වී සිකුරු සිටියේ නම් බලවත් බව සිතාගත යුතුයි.

මේ අනුව සිකුරු බලවත් නම් ලැබෙන සැමියා විනෝදයෙන් කාලය ගත කරන යහපත් ගතිගුණ ඇති හොඳ කෙනෙක් වේ.

පුරුෂ ස්ත්‍රී කේන්දරවල 7 අධිපතියා දෙවැන්නේ නම් ධනවත් සැමියෙක් බිරිඳක් ද 7 අධිපති 10 වැන්නේ නම් දියුණු රැකියාවක් කරන අයද 7 අධිපතියා 11 වැන්නේ නම් ව්‍යාපාරික සැමියෙක් ලැබේ. 7 අධිපතියා 7 වැන්නේ ම සිටීනම් තමාට හොඳින් ආදරය කරන ගරු කරන සැමියෙක් බිරියක් ලැබේ. ගුරු බලවත් නම් උගත් සහකරුවෙක් ද බුධ බලවත් නම් උගත් ගණිත අංශයේ නැණවත් බිරියක් සැමියෙක් ලැබේ. ගුරු සිකුරු දෙදෙනාම බලවත් නම් ඉඩකඩම්, යානවාහන හිමි, උගත් ධනවත් ව්‍යාපාරික අංශයට නැඹුරු සැමියෙක් ලැබේ. ගුරු බලවත් වන්නේ ධනු මීන රාශිවලත් බුධ බලවත් වන්නේ මිථුන කන්‍යා රාශිවලත් සිකුරු මීන/ තුලා/වෘෂභ රාශිවල බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

ජීවිතයේ එක් වරක් පමණක් සිදුවන සිදුවිය යුතු ඉතාම වැදගත් වාසනාවන්ත දිනය විවාහ වන දිනයයි. මෙය ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශ්වයටම පොදුය. එබැන් ස්ත්‍රී /පුරුෂ දෙපාර්ශ්වයම තම අනාගත මනමාලයා / මනමාලිය තෝරා බේරා ගැනීම ඉතාම සැලකිල්ලෙන් ඉක්මන් නොවී දෙමාපිය ආශිර්වාදය ඇතිව කළ යුතුය. ඔබේ කේන්දරයේ උපතින්ම ඒ අනාගත සහකරු/සහකාරිය පෙන්නුම් කරයි. සමාජයේ කැපී පෙනෙන ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට පින්වත් බිරියක්/සැමියෙක් සොයාගත යුතුමය.

පුරුෂ කේන්දරයක 7 වැන්න / 9 වැන්න / සිකුරු ග්‍රහයා බලවන්ත එම තත්ත්වය උදාකර ගැනීමට පිළිවෙත ඔබේ කේන්දරයේ 7 අධිපති ලග්නාධිපතියා සමඟ සංයෝගව සිටීමෙන් හෝ 5 වැන්නේ සිටින ග්‍රහයාගේ හෝ 5 වැන්න අධිපති ග්‍රහයාගේ දෘෂ්ටිය 7 වැන්නට වැටේ නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය ප්‍රේම සම්බන්ධතාවකින් සිදුවේ. එමෙන්ම පුරුෂ කේන්දරයක 7 අධිපති සෙනසුරු වී ඒ ග්‍රහයා දුර්වල නම් එවැන්නන්ට තම බිරිය ලැබෙන්නේ ප්‍රමාද වීමෙනි. බුධ/කේතු වැනි පාප ග්‍රහයන් හතේ සිටීමෙන් හා 7 වැන්නට අශුභ දෘෂ්ටි වැටීමෙන් පින්වත් සහකරුවෙක් / සහකාරියක් ලබා ගැනීමට නොහැකි වේ. සෙනසුරු 7 සිටින අයට විවාහය ප්‍රමාද වුවත් ඔවුන්ට ලැබෙන්නේ රුව ඇති සහකරුවන්ය. කුජ/සිකුරු 7 වැන්නේ සිටින දෙපාර්ශ්වයටම ඊට ගැළපෙන රාහු / සිකුරු යෝග ඇති අය හෝ ඊට ගැළපෙන කුජ/සිකුරු සිටින අය තෝරා බේරා ගැනීමෙන් විවාහ ජීවිතය සාර්ථක වේ. නැතිනම් අසාර්ථක වේ. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශ්වයේම කේන්දරවල 2 වැන්න බලවත් නම් හෝ 2 වැන්නේ බලවත් ග්‍රහයන් සිටීනම් එයට ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටේනම් එවැනි අයට ධනවත් බිරියක්/ සැමියෙක් ලැබේ. කිසියම් කේන්දරයක, 7 අධිපති 4 වැන්නේ නම් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ඇති අයද, 7 අධිපති 10 වැන්නේ නම් උසස් රැකියාවක් කරන අයද, 7 අධිපති 9 වැන්නේ නම් තමාට අනාගත සෞභාග්‍ය උදාකර දෙන අයද, 7 අධිපති 6 වැන්නේ නම් නිතර රෝගී වන අයද, 7 අධිපති 8 වැන්නේ නම් හදිසි ධන ලාභ ලබා දෙන අයද ඇතැම් විට හදිසි කරදරද ගෙන දේ.

අනාගත බිරිය / සැමියා ලැබෙන කාලවකවානු කිසියම් කේන්දරයක 7 අධිපති ග්‍රහයාගේ මහ දශා / අතුරු දශා විසඳා කාලවලදී විවාහය සිදුවේ. එමෙන්ම ලග්නාධිපතියාගේ දශාව ලද විවාහය සිදුවේ. (සිකුරු/කුජ මහා දශා /අතුරු දශා/ විසඳා කාලවලදී) ඊට අමතරව 9 වැන්නාධිපති දශාව ලදී 10 වැන්නාධිපති දශාවලදී බ්‍රහස්පති මහා දශාවලදී විවාහය සිදුවන කාල බව සිතාගත යුතුයි. විවාහයට විශේෂයෙන් කුජ/සිකුරු/ගුරු මහා දශා / අතුරු දශා/ විසඳා කාල විශේෂයෙන් බලපායි

අනාගත බිරිය/ සැමියා ලැබෙන්නේ කවර දෙසින්ද යන්න විමසා බැලීමේදී 7 අධිපති ග්‍රහයා එම ග්‍රහයා සිටින නවාංශකය හිමි ග්‍රහයා ගැන බැලිය යුතුයි.

ඒ ග්‍රහයාට හිමි දිශාව සහකරු ලැබෙන දිශාව වේ. ගුරු / බුධට උතුරු දිශාවත්, සෙනසුරුට දකුණු දිශාවත්, රවි /කුජට බස්නාහිර දිශාවත්, සඳු / සිකුරුට නැ‌ෙඟනහිර දිශාවත් හිමි බව දැනගත යුතුය. ඒ අනුව හත අධිපති ශනිගේ නවාංශකය සිටින විට දකුණු දිශාවෙන්ද සහකරු ලැබෙන බව සිතාගත යුතුය. ඒ අනුව අනෙකුත් දිශාවන් සොයා සහකරු ලැබෙන දිශාව නිගමනය කර ගන්න.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, විශ්‍රාමලත් විදුහල්පති කොස්ගොඩ කේ.ඩී.ආර්.පී. රාජකරුණා

Comments