
පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ සියලුම වෙළඳ කටයුතු හෙට (26) බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මැනිං වෙළඳපොලේ සිදුවිය හැකි කඩකප්පල්කාරී ක්‍රියා වැළැක්වීම සඳහා ද සියලු ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි. මහජනතාවට පීඩාවක් ඇතිවීම වැළැක්විම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ සියලුම වෙළඳාම් කටයුතු වලින් ඉවත් ව හෙට දිනයේ දි විරෝධතාවයක් පැවැත්විමට එහි පොදු වෙළඳ සංගමය තිරණය කර තිබිණි. බාහිර පුද්ගලයන්ට වෙළඳකුටි ලබාදීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර තිබු බව එම සංගමය සඳහන් කරයි.
මේ අතර පෑලියගොඩ මැනිං වෙළඳපොලේ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් අද (25) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
මැනිං වෙළඳපොලේ පොදු වෙළඳ සංගමය හෙට සංවිධානය කර තිබු විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බව පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කරමින් සඳහන් කර තිබිණි. ඒ අනුව අදාළ නියෝගය නිකුත් කෙරුණේ මැනිං මාර්කට් පොදු වෙළඳ සමිතියේ සභාපති, ලේකම් ඇතුළු සමාජිකයන්ට එරෙහිවයි.
මෙම තහනම් නියෝගය නොතකා උද්ඝෝෂණය කළහොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (3) වගන්තිය යටතේ ක්‍රියාකිරීමට පොලිසියට හැකියාවක් තිබෙන බව ද එම නියෝගය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මහේස්ත්‍රාත් නියෝගයේ සඳහන් වේ.