සුබ නැකතක් හදන්නේ මෙහෙමයි | සිළුමිණ

සුබ නැකතක් හදන්නේ මෙහෙමයි

 

සියලු සුබ නැකත් හිරු උදාව පදනම් කරගෙන සකස් කරගත යුතුයි

චක්‍රවලට එල්ල වන පරිදි සුබ නැකත් සෑදීමත් අසීරු කාර්යයක්

ජ්‍යොතිෂයේ  අසීරුම කාර්යය සුබ නැකත් සොයා ගැනීමයි

වඩාත් හොඳ නැකතක් හෝ නැකත් ලබා ගැනීම සඳහා ඇතැම් අය ජ්‍යොතිර්වේදීහු තිදෙනෙක් පමණ සම්බන්ධ කර ගනී. ඒ නැකත් යෝජනා කරන්නට එක් අයෙකුත්, නැකත් ශුද්ධ කරන්නට තව අයෙකුත්, නැකත් පරීක්ෂා කිරීම සඳහා තවත් අයෙකුත් වශයෙනි. මෙසේ සිදු කළත් නැකත් වරදින අවස්ථා ඇත.

ජ්‍යොතිෂයේ අසීරුම කාර්ය ද සුබ නැකත් සොයා ගැනීම බව සියලු දෙනාම දැන සිටිය යුතු කාරණයකි. කළු ගලක් අලවංගුවෙන් සිදුරු කළ හැකි ආකාරයේ නැකත් ද තිබූ බව ඔබ අසා ඇතැයි සිතමි. නැකත් සෑදීම බෙහෙවින් ම සූක්ෂ්ම කාර්යයකි. ඒ සඳහා නැකත්කරුවන් කීපදෙනෙකුගේ සේවය ලබා ගැනීම අවශ්‍ය නොවේ. නැකත් ශාස්ත්‍රය මැනවින් දන්නා හිත හොඳ එක් නැකත්කරුවෙකුගේ සේවය ලබා ගැනීම ප්‍රමාණවත් වේ. නැකත් ශාස්ත්‍රයේ පතුලට ම කිඳා බැස සුබ නැකත් ලබා දෙනවා විනා ඔහු බාලාංශ පන්තියේ දැනුමෙන් නැකත් ලබා දෙන්නෙකු නොවනු ඇත.

සියලුම සුබ නැකත් හිරු උදාව පදනම් කොටගෙන සකසා ගත යුතුය. හිරු උදාව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට විවිධ වේලාවන්ට සිදු වේ. පංචාංග ග්‍රහස්ථුට ලිතෙහි දැක්වෙනුයේ කොළඹ කොටුව ප්‍රදේශයට හිරු උදාව සිදු වන වේලාවයි. ශ්‍රී ලංකාවේ අක්කරෙයිපත්තු ප්‍රදේශයට ඒ වන විට හිරු උදාව සිදු වී විනාඩි අටයි තත්පර හතරක් ගත වී අවසන්ය. ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට හිරු උදාව සිදුවන වේලාවන් එකිනෙකට වෙනස් වේ. මේ සිද්ධාන්තමය සත්‍යයට ගරු කරමින් විනා ඒ පිළිබඳව නොතකා නැකත් සාදා දීම වරදකි.බොහෝ ජ්‍යොතිර්වේදීන්ට අමතක වන කාරණයක් ලෙස මේ හිරු උදා වේලාව පිළිබඳව නිසි ගණනය කිරීමක් සිදු නොකිරීම දැක්විය හැකි ය. සුබ නැකතක් සාදන්නට ප්‍රථමයෙන් අදාළ කාර්යය සිදු කෙරෙන්නේ කුමන ප්‍රදේශයකදීද යන්න ප්‍රථමයෙන් ම හොඳින් සොයා බලා එම ස්ථානයට හිරු උදාවන වේලාව සොයා දැනගෙන සුබ නැකත් සෑදීම ආරම්භ කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට හිරු උදාව සිදු වන වේලාව ගණනය කර ගැනීමට අවශ්‍ය දත්ත පංචාංග ග්‍රහස්ඵුට ලිත්වල පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව අදාළ ස්ථානයට හිරු උදා වීමට නියමිත වේලාව තත්පරයට ගණනය කරගත හැකිය. නැකත් සෑදීමට යාමේදී කඩදාසියේ මුලින්ම සටහන් කර ගත යුත්තේ ද අදාළ ප්‍රදේශයට එදින හෙවත් තෝරා ගත් දිනයේ හිරු උදාව සිදු වීමට නියමිත වේලාවයි. ඉන්පසු එදින රාහු කාලය කිනම් වේලාවක සිට කිනම් වේලාවක් දක්වා පවතී දැයි සටහන් කරගත යුතුය. මේ සඳහා ද හිරු උදාව එකී ප්‍රදේශයට සිදුවන වේලාව පදනම් කරගත යුතුය. ඉන් අනතුරුව සුබ නැකත් සඳහා සුබ හෝරාවන් තෝරාගත යුතුය. සුබ හෝරාව තුළ ඇති සුබ පංචම කාල හෝරාවෙන් පමණක් සෑහීමකට පත් නොවී සූක්ෂ්ම කාල හෝරාව ද ස්පර්ශ කොට වඩාත් සුදුසු සුබ මුහුර්තය තීරණය කළ යුතුය. මේ ක්‍රියාවලිය බොහෝ නැකත්කරුවන් දන්නා දෙයකි. එහෙත් ක්‍රියාවට නැංවීමේදී නොසැලකිල්ල හේතු කොටගෙන සුබ මොහොත පෙනි පෙනී වෙනත් වේලාවන් ලබා දෙන අවස්ථා ද නැතුවා නොවේ. මා දන්නා එක්තරා විහාරස්ථානයක නව ගොඩනැඟිල්ලකට මුල්ගල තැබුවේ ගුරු හෝරාවේ, ගුරු පංචම කාල හෝරාවේ, කුජ සූක්ෂ්ම කාල හෝරාව තුළදීය.

සුබ නැකත් සෑදීමේ අසීරු ම කොටස වනුයේ චක්‍රවලට එල්ල වන පරිදි සුබ නැකත් සෑදීමයි. චක්‍ර පිළිබඳව හොඳ දැනුමක් තිබෙන ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් බොහෝ සිටින අතර, චක්‍ර පිළිබඳව කිසිත් නොදන්නා ජ්‍යොතිර්වේදීන් සිටී නම් ඔවුන් ගොඩ පෙරකදෝරුවන්ට දෙවැනි නැත. ගෙවල් නැකත් සාදා දීමේදී භූමි නාග චක්‍රයට මෙන්ම ගෙවල් චක්‍රයට ද අනුව යමින් එදින හිරු සිටින නැකතින් 16, 17, 18, 19, 20, 21 නැකතක් සොයා දිය හැකි නම් ඉතා අගනේය. භූමි නාග චක්‍රය පමණක් සැලකිල්ලට ගෙන හිරු සිටින නැකතින් 5, 6,7, 8 ස්ථානයක නැකතක් ලබා දීමත් වරදක් නැත. එහිදී බාහිර සම්පත් ඕනෑ තරම් ලැබෙන නමුත් මානසික අසහනයක් ඇති වීමට ඉඩ ඇති බව ජ්‍යොතිෂ මතයයි.

විවාහ මංගල නැකත් සෑදීමේදී අනඟ ධජයට අනුකූල වන පරිදි නැකත් සකස් කර දීම වඩාත් සුදුසුය. අනඟ ධජය යනු නැකත් චක්‍රයක නමකි. විවාහයකට අත්සන් කරන මොහොතේදී තත්කාල කේන්දරයේ හත්වැන්නාධිපති ශුභ ස්ථානයක සිටීමද වැදගත් ය. මෙහි සඳහන් කළේ නැකත් සෑදීම පිළිබඳ තොරතුරු රාශියකින් අංශුවක් පමණි. මේ සියලු අංගයන් සම්පූර්ණ වන පරිදි සකස් කර දුන් සුබ නැකත් නිසි පරිදි අනුගමනය කිරීම ඉතා වැදගත් බව අවධාරණය කරමි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

විශ්‍රාමලත් පාඨශාලාචාර්ය

අසෝක විජයසේකර

 

Comments