සවිමත් පදනමක වසරක පිය සටහන් | Page 2 | සිළුමිණ

සවිමත් පදනමක වසරක පිය සටහන්

රනිල් වික්‍රමසිංහයන් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇරඹි තිබූ අරගලය ගිය අවුරුද්දේ ජූලි මාසයේ 9 දා වනවිට තනිකරම අත්පත් කරගනු ලැබ සිටියේ රුසියාවේ වැග්නර් බළකාය වැනි දේශපාලන කුලී හේවායන් විසිනි. ඒ වන විට, අරගලයට ආරම්භයක් දුන් දේශපාලන පක්ෂවල සහ වෙනත් කණ්ඩායම්වල පාලනයෙන් එය සම්පූර්ණයෙන්ම ගිලිහි ගිය බවක් පෙනෙන්නට තිබිණ. රට පුරා දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තැබීමට පටන්ගෙන තිබූ අතර කාගේ අතට බලය යනු ඇත්ද යන කාරණය පැහැදිලි නොවූ බැවින් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ප්‍රචණ්ඩකාරීන් මර්දනය කිරීම සඳහා ඒ තරම් ලොකුවට සම්බන්ධ වුණේ නැත. මේ වන විට ත්‍රිවිධ හමුදාව තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන ප්‍රශ්නය පවා මතුවිය. ඒ අතර ජූලි 9 දා රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහයන්ගේ ගෙට ගිනි තබන ලදී. ඒ වන විට ඔහු 6 වන වරටත් මේ රටේ අගමැති ලෙස දිවුරුම් දී තිබිණ. එය ආසියානු වාර්තාවකි. සමහරවිට එය ලෝක වාර්තාවක් වීමට ද පුළුවන. කොළඹ රාජකීය විද්‍යාලය අසල පස්වන පටුමගෙහි පිහිටා තිබූ රනිල් වික්‍රමසිංහයන්ගේ නිවෙස පළාතේ හැටියට කුඩා ගෙයකි. එහි තට්ටු දෙකක් තිබූ නමුත් එම තට්ටු ඉතා කුඩා කොටස්වලට බෙදා තිබිණ. පහළ තට්ටුවේ වූ විසිත්ත කාමරය විශාල බෞද්ධ චිත්‍ර තුනකින් ද, ඉපැරණි බුදු පිළිම සහ පුරා වස්තු සිය ගණනකින් ද සරසා තිබිණ. ඒ අතර අලුත් සෙටි එකක්ද, පරණ පුටු දෙකක්ද විය.

රනිල් වික්‍රමසිංහයන්ගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් ජීවතුන් අතර සිටි කාලයේදී ඉඳගත්තේ මේ පුටු දෙකෙන් එකකය. ඔහු ඒ පුටුවේ හිඳ ආණ්ඩු සහ අගමැතිවරුන් තැනීමෙහි නියුතු විය. අනෙක් පැරණි පුටුවේ හිඳගත්තේ රනිල් වික්‍රමසිංහයන්ගේ මව වූ නාලිනී වික්‍රමසිංහ මැතිනියයි. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබ ජෝතිෂ්‍යය පිළිබඳ විශිෂ්ට දැනුමක් සහිත කාන්තාවක් වූ ද ඩී.ආර්. විජයවර්ධනයන්ගේ දියණියක වූ ද නාලිනී වික්‍රමසිංහ බුදු දහම කෙරේ මහත් උනන්දුවකින් කටයුතු කළාය. මේ කුඩා විසිත්ත කාමරය තුළ පොත් රාක්ක කිහිපයක් වූ අතර ඒවායේ තිබූ පොත් විවිධ විෂයයන්ට අනුව අංකනය කර පිළිවෙළට ගබඩා කර තිබිණ. විසිත්ත කාමරයට වම් පසින් පිහිටියේ රනිල් වික්‍රමසිංහයන්ගේ පුස්තකාලයයි. ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ අත් පිටපත් කිහිපයක් ද, රාජ්‍යය නායකයන් විසින් තෑගි කරන ලද පොත් සමූහයක් ද මේ පුස්තකාලයේ විය. විසිත්ත කාමරයේ සහ පුස්තකාලයේ තිබූ පොත්වල දළ එකතුව හාරදහසක් පමණ වීමට ඉඩ තිබේ. 

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් විසින් පුද්ගලිකවම අත්සන් කොට වික්‍රමසිංහයන් වෙත තෑගි කරන ලද දේශපාලන පොතක් මේ පුස්තකාලයේ තිබිණ. රනිල් වික්‍රමසිංහයන් හමුවීමට යන හැම දිනකම මම ඒ පුස්තකාලයේ විනාඩි පහළොවක් විස්සක් ගත කළෙමි. හෙන්රි කිසින්ජර් ගේ අත්සන සහිත පොත කෙරෙහි මා තුළ මහත් ලෝභයක් ඇතිව තිබිණ. පොතක් සොරකම් කිරීමෙන් නීතිය නොකැඩෙන්නේ නම් තමන් පොතක් සොරකම් කිරීමට පසුබට නොවන බව පසුගිය සියවසේ පහළ වූ විශිෂ්ටතම දාර්ශනිකයකු වන මහාචාර්ය හැරල්ඩ් ජේ. ලැස්කි පවසා තිබේ. ඔහු ආචාර්ය එන්.එම්. පෙරේරාගේ දේශපාලන සහ ආර්ථික විද්‍යා ගුරුවරයා ය. කිසින්ජර්ගේ අත්සන සහිත පොත අතට ගන්නා හැමවිටකම මට ලැස්කිගේ කියමන සිහිවිය. එවැනි අවස්ථාවලදී මම ඒ පොත පැත්තකින් තැබුවෙමි. මා දන්නා පරිදි ඒ පොත ද, පෙරකී දුර්ලභ අත්පිටපත් වලින් කිහිපයක් ද, තවත් පොත් තුන්දහසක් පමණ ද ජූලි 9 දා ගින්නෙන් විනාශ විය. රනිල් වික්‍රමසිංහයන් සමඟ අප පැය ගණන් කතා කළ විසිත්ත කාමරය ද, එහි තිබූ පොත් ද, ගෘහ භාණ්ඩ ද ගින්නෙන් අළු විය. පුරාවිද්‍යාත්මක කලා කෘති සියල්ල අරගලයේ කුලී හේවායන් විසින් පොළොවේ ගසා කුඩු කර තිබිණ. මෙයින් එක් බුද්ධ ප්‍රතිමාවක් අවුරුදු 500කටත් වඩා පරණය. සිය පියා හිඳගත් පුටුවේ හිඳ ගැනීමට පුරුදුව සිටි රනිල් දිනක් සිය තරුණ කාලයෙන් කොටසක් මට මෙසේ විස්තර කළේය.

“මම ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ. මගේ අධ්‍යාපන මාධ්‍ය වුණේ සිංහල. අපේ ගේ තිබුණේ ඉස්කෝලෙට විනාඩි එකහමාරක පමණ දුරින්. ඒ නිසා ඉස්කෝලෙට පයින් යන්න එන්න අපට පුළුවන් වුණා. මම උසස් පෙළ කරලා සමත් වුණාට පස්සේ නීතිය හදාරන්නට තීරණය කළා. එංගලන්තෙට ගිහින් නීතිය හදාරන්න කියලා තාත්තා මට උපදෙස් දුන්නා. ඒ වෙනකොට මගේ අයියා ෂාන් වික්‍රමසිංහ හිටියේ එංගලන්තේ. ඔහු එහි ගිහින් විදුලි ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්තා. ඔහු වඩාත්ම ආසා කළේ ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන තාක්ෂණය ඉගෙනගන්නයි. එංගලන්තේ ගිහින් ඉගෙන ගන්න කියලා තාත්තා මට කිව්වම, මම තාත්තට කිව්වා මුලින්ම එහෙ ගිහිල්ලා තත්ත්වේ බලාගෙන එන්නම් කියලා. ඉතිං මම එංගලන්තෙට පිටත් වුණා. මට නවතින්න සිද්ධ වුණේ අයියත් එක්ක. අයියා ගත කළේ හරිම අමාරු ජීවිතයක්. තාක්ෂණික විද්‍යාලයක ඉගෙන ගත් ඔහු පොකට් මනි හොයා ගන්න රෑ එළිවෙනකන්ම පරණ රේඩියෝ අලුත්වැඩියා කළා. අයියා හිටියේ පුංචි කාමරයක. මේක ඇතුළේ දෙන්නකුට තියා එක්කෙනකුටවත් ඉන්න අමාරුයි. ශීත කාලයේදී ප්‍රශ්නේ දෙගුණ වුණා. ටික දවසක් අයියත් එක්ක හිටපු මම එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීම ගැන අදහස සම්පූර්ණයෙන්ම අතෑරලා ආපහු ලංකාවට ආවා. අයියා විඳින දුක විඳින්න මට බැරි බවත් අපේ ගෙදර ඉඳලා විනාඩි පහක පා ගමනකින් යන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය ඉගෙන ගැනීමට තීරණය කළ බවත් මම තාත්තට කිව්වා. ඉතින් උදේට කිසි කරදරයක් නැතුව මම පයින්ම විශ්වවිද්‍යාලයට ගියා. දවල්ට කෑම කන්න ගෙදරත් ආවා. අපේ නැති බැරි යාළුවෝ වැඩි හරියක් දවල්ට කෑවේ අපේ ගෙදරින්..... ”

මේ කතාව ඉතා දීර්ඝ ය. එදා ඔහු සිය තරුණ ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ මට කීවේය. සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ගැනත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගැනීමට හැකිවීම ගැනත් ඔහු මහත්සේ සතුටු විය. “ලංකාවේ ළමයි ඉගෙන ගන්න ඕන ලංකාවෙමයි. අධ්‍යාපනය සඳහා මවු භාෂාව තරම් හොඳ භාෂාවක් තවත් නැහැ. හැබැයි ඒ ගාණට අපි අපේ අධ්‍යාපනය දියුණු කරන්න ඕන.” නීතීඥයකු බවට පත්වීමෙන් පසු පස් අවුරුද්දක් පමණ උසාවි ගිය රනිල් නඩු කතා කළේය. ඉන්පසු එම වෘත්තිය අතහැර ජේ. ආර්. ජයවර්ධන සමඟ දේශපාලනයට එකතු විය.

රනිල් වික්‍රමසිංහයන් මේ රටේ ජනාධිපති වන්නේ නීතිඥයකු බවට පත්වී පනස් වසරක් ද, ක්‍රියාකාරී දේශපාලනඥයකු ලෙස වසර 45ක් පමණ ද ගත කිරීමෙන් පසුවය. ඔහු මේ රට භාර ගන්නා මොහොතේදී මේ රට සම්පූර්ණයෙන්ම ගිනි ගොඩකි. පාස්කු බෝම්බයෙන් ද, කොරෝනා වසංගතයෙන් ද, දේශපාලඥයන්ගේ දූෂණ නිසා ද පරිහානියට පත්ව තිබූ රට 2022 වන විට විදේශ ණය ගෙවා ගැනීමට බැරිව එක් තැනක හිර විය. එතැන් පටන් රුපියලේ අගය පහත වැටෙන්නට වූ අතර රටේ ගෑස් හිඟයක් ද, තෙල් හිඟයක් ද ඇති විය. ඉන්ධන ගැනීමට මුදල් නැති නිසා විදුලි සැපයුම විටින් විට කපාහරින ලදී. ඇතැම් දවසක පැය 13ක් විදුලිය කැපීම සිදුවිය. ගෑස් පෝලිම් සහ ඉන්ධන පෝලිම් රට පුරාම දක්නා ලදී. වෙනදා ණයවර ලිපි මඟින් ලංකාවට ගෙන්වන තෙල් නැව් කොළඹ වරායට තෙල් පටවාගෙන පැමිණ ඩොලර් නෝට්ටු වලින් මුදල් ගෙවන තුරු අපට තෙල්දීමෙන් වැළකී සිටියහ. මේ අතර ක්‍රමයෙන් බඩු මිල ඉහළ ගිය අතර ආහාර හිඟයක ලකුණු ද පහළ වනු දක්නා ලදී. සාමාන්‍ය ජනතාව සිටියේ වියරුවෙනි. ඇතැම් විට ඇතැම් කෙනෙක් දවස් 4ක් පමණ තෙල් පෝලිම්වල රැඳී සිටියහ. ගෑස්, කළු කඩ මිලට විකුණන ලදී. රුපියල් එක්දහස් ගණනට තිබූ ගෑස් සිලින්ඩරයක කළු කඩ මිල රුපියල් දහදාහක් විය. ඒ නිසා අලුත් දර ලිප් සංස්කෘතියක් ඇති විය. නගරයේ දර නැත. තට්ටු ගෙවල්වල ලිප් බැඳීමට ද නොහැකිය. මේ නිසා මධ්‍යම පාන්තික ජනතාව සහ පහළ මධ්‍යම පන්තිය නන්නත්තාර විය.

ජනාධිපති වශයෙන් දිවුරුම් දුන් සැණින් රනිල් වික්‍රමසිංහයන් කළේ තෙල් ප්‍රශ්නය සහ ගෑස් ප්‍රශ්නය විසඳීමය. අද වන විට තෙල් පෝලිමක් සහ ගෑස් පෝලිමක් මීට අවුරුද්දකට පමණ පෙර මේ රටේ ජනතාවට වද දුන් බව අද කාටවත් මතක නැත. ලෝකයට හිම යුග දෙකක් තිබිණ. ලෝක යුද්ධ ද දෙකක් තිබිණ. අපේ රටට පෝලිම් යුග දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න නම් 1970 සමගි පෙරමුණු රජය සමයේ පැවති පාන් පෝලිම සහ සමූපකාර පෝලිමයි. සමගි පෙරමුණු රජය රට තුළ ඉතා දැඩි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර පිටරටින් බඩු ගෙන්වීම නවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් තිරිඟු පිටි ගෙන ඒම සීමා විය. ඒ නිසා පාන් නිකුත් කරන ලද්දේ සලාකයට ය. එක් අයකුට පාන් රාත්තල් භාගයක් සලාකයෙන් හිමි විය. මේ පාන් බාගය ගැනීම සඳහා බේකරිය ඉදිරිපිට පාන්දර 4 සිට පෝලිමේ සිටීමට ජනතාවට සිදු විය. ඒ අතර සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින ලද්දේ සමූපකාරයෙනි. ඒ නිසා සමූපකාරය ඉදිරිපිට ද සැතපුම් ගණන් දිග පෝලිම් විය. අප දන්නා ඉතිහාසයේ දෙවන පෝලිම් යුගය හටගන්නේ ගිය අවුරුද්දේ ගෑස් සහ තෙල් හිඟය මතය. රනිල් වික්‍රමසිංහයන් ජනාධිපතිවී දෙසතියක් තුළ මේ පෝලිම් සියල්ල අතුරුදන් විය. ඒ වන විට ඔහුට කිසිදු රටකින් අලුතින් තඹ සල්ලියක්වත් ලැබී තිබුණේ නැත. ඔහු කළේ තිබෙන සම්පත් කළමනාකරණය කරගැනීම පමණි. හැබැයි මේ කිසිවකට විපක්ෂය කිසිදු සහයෝගයක් දුන්නේ නැත. විපක්ෂයේ අපේක්ෂාව වූයේ රට කඩා වැටෙනු දැකීමය. ඒ විනාශය අවසානයේදී තමන් ද විනාශයට පත්වන බව ඔවුන්ට නිකමටවත් සිතුණේ නැත.

විපක්ෂයේ සිටින බොහෝ දෙනකුට ඇතිවෙන්නට මුදල් තිබේ. දේපළද තිබේ. පැය 24 ක් ඇතුළත සිංගප්පූරුවේ පදිංචි වීමටත් ඉන්පසු ඩුබායි, කටාර් හෝ අබුඩාබි හරහා යුරෝපයට පැන ගැනීමටත් ඔවුන්ට පුළුවන. ඒ නිසා විපක්ෂයේ වැඩි දෙනකුගේ නිරන්තර පරමාර්ථය වූයේ විනාශයෙන් සැපක් ගැනීමය. රනිල් වික්‍රමසිංහයන් රට ගොඩනැඟීම සඳහා විදේශීය ආයෝජන කැඳවන හැම අවස්ථාවකදීම රනිල් රට විකුණන බව කියමින් විපක්ෂය කෑගැසුවේය. හැබැයි ඒ ආයෝජනවලින් තමන්ගේ බඩට ද කෑම වැටෙන බවත් ආණ්ඩුවේ වියදමින් තමන් පාවිච්චි කරන සැප වාහනවලට ඉන්ධන පොම්ප වන බවත් ඔවුහු කල්පනා නොකළහ. එක්දහස් නවසිය හැට ගණන් වලදී සිංගප්පූරුව ගොඩනැඟීමේදීද අගමැති ලී ක්වාන් යූ ට මෙවැනිම ප්‍රශ්නයක් මතු විය. කොළඹ දිස්ත්‍රික්කය තරම් වපසරියක් ඇති එවකට වැලි කාන්තාරයක් වූ සිංගප්පූරුව නිදහස් වෙළඳ කලාපයක් බවට ප්‍රකාශයක් කළ ලී ක්වාන් යූ එම භූමියේ ඉඩම් 99 අවුරුද්දට විදේශිකයන්ට බදු දීමට පටන් ගත්තේය. එවිට සිංගප්පූරුවේ තරගකාරයා වූ මැලේසියාවේ සිටි දේශපාලනඥයෝ ලී ක්වාන් යූ පිට රටවල්වලට සිංගප්පූරුව විකුණන බව කියමින් කෑ ගසන්නට වූහ. එහෙත් ලී ක්වාන් යූ ඇඹරුණේ නැත. ඔහු නිතරම කීවේ 99 අවුරුද්දට බදු දෙන භූමි කොටස සිංගප්පූරුවෙන් ගලවා ගෙන ගොස් වෙන රටක පැළ කිරීමට ආයෝජකයන්ට බැරි බවය. ආයෝජකයෝ තමන් බද්දට ගත් භූමියෙහි විවිධ කම්හල් ඉදි කර සිංගප්පූරුවේ වැසියන්ට රැකියා ලබා දුන්හ. අද සිංගප්පූරුව ලෝකයේ දියුණුම රටක් බවට පත්ව ඇත්තේ එම භූමියේ ඇති ඉටි ගෙඩියක් නිසා නොව විදේශීය ආයෝජන නිසාය. මිනිසුන්ට කොතරම් නිදහස ලැබුණත් එම මිනිසුන් අතේ සල්ලි නැත්නම් එම නිදහසින් වැඩක් නැති බව මහාචාර්ය හැරල්ඩ් ජේ. ලැස්කි කියා තිබේ. ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඩ් සහ ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ යන තිදෙනාම මෙම අදහසට අනුගත නායකයන් බව අපගේ මතය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන තුනක පමණ ණයක් ශ්‍රී ලංකාවට නිකුත් කරන්නේ රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති වූ පසුය. ඩොලර් බිලියන තුනක් ලොකු මුදලක් නොවේ. එහෙත් ලෝකයේ කිසිම කෙනකු අපට තඹ සල්ලියක්වත් ණය නොදෙන කාලයක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක් ලබා ගැනීමට හැකිවීම කලාතුරකින් කෙනකුට සිදු කළ හැකි දෙයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලරයක් ණයට ගැනීම පවා පණ පිටින් සිටින මිනිහකුගෙන් ඉල ඇටයක් ලබා ගැනීම හා සමාන කාර්යයකි. ණය දීමට පළමුව ණය ගන්නා රටේ දේශපාලන ස්ථාවරභාවය තක්සේරු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යය වී ඇත. මන්ද යත් කිසියම් රටකට තමන් ලබා ගන්නා විදේශ ණය ආපසු ගෙවිය හැක්කේ රට තුළ වියවුල් වලින් විනිර්මුක්ත ස්ථාවර දේශපාලනයක් පවතින්නේ නම් පමණි. ඒ දේශපාලන ස්ථාවරත්වයත්, එකී ස්ථාවරත්වය තුළින් රට තුළ ඇතිවන ආර්ථික පුනරුදයත් පිළිබඳ මාර්ග සිතියමක් ජනාධිපති වික්‍රමසිංහයන් විසින් මේ වන විට සකස්කොට තිබේ. එය සහතික කළ පිටපතකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් රටකට ණය දෙන විට ණයකාරයාගේ ගෙදර පැත්තක පදිංචි වෙයි. ඒ අනුව එම සංවිධානයේ කාර්යාලයක් මහ බැංකුවේ පිහිටුවා ඇත. තවත් කාර්යාලයක් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ද පිහිටා ඇත. තමන් මේ රටට දෙන ණය නිසි ලෙස රට තුළ ආදායම් උපදවමින් ක්‍රියාත්මක වන්නේ දැයි ඔවුහු බලා සිටිති. අප්‍රිකා මහාද්වීපයේ දැඩි නියඟයක් පවතින රටකට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයක් සහන ණයක් දුන්නේය. මේ ණය මුදල් ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයාබැලීම සඳහා එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ණය දීමෙන් අවුරුද්දකට පසු එම රටට ගිය විට ඔවුන්ට දැකගැනීමට ලබුණේ රටේ හමුදා පාලකයාගේ මන්දිරය සම්පූර්ණයෙන් AC කිරීමටත් අක්කර 100කින් සමන්විත මාළිගා අංගණයට පිට රටින් තණකොළ පිඩලි ගෙන්වා ඇල්ලීමටත්, ඒවාට වතුර දැමීමටත් ණය මුදල වැයකර ඇති බවය. මෙවැනි නීච වැඩ නිසා ජාත්‍යන්තර ණය සංවිධාන ආසියාවට හා අප්‍රිකාවට ණයක් දෙන්නේ ඉතා පරිස්සමිනි.

වසර 2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් කිරීම සඳහා අවශ්‍යය මාර්ග සිතියම මේ වන විට ජනාධිපති වික්‍රමසිංහයන් අත තිබේ. ජනාධිපති ධුරයට පත්වී මාස දෙකකට පසු මේ සිතියම දිගහැර ගත් ඔහු වැඩ පටන් ගෙන ඇති අතර ජනතාවගේ උපරිම සහයෝගය ලැබෙන්නේ නම් එම වැඩපිළිවෙළ කඩාකප්පල් වීමට කිසිදු හේතුවක් නැත.



අනුර සොලමන්ස්

 

Comments