මහානුභාවසම්පන්න මෝර පිරිත මෝර පිරිතේ නිධාන කතාව මෙන්න | සිළුමිණ

මහානුභාවසම්පන්න මෝර පිරිත මෝර පිරිතේ නිධාන කතාව මෙන්න

වරකට වතාවක් පමණක් සජ්ඣායනය ප්‍රමාණවත්

දිනපතා උදේ සවස භාවිතයට ඉතා සුදුසුයි

සිළුමිණ ඉසිවර පින්වත් පාඨක ⁣ඔබ වෙත පසුගිය කාලය පුරාවටම අප විසින් එදිනෙදා ජීවිතයේ ඇතිවන කරදර බාධක දුරුකරගෙන අපමණ ආරක්ෂාව හා යහපත උදාකරගැනීම සඳහා වූ ඉතා ආනුභාව සම්පන්න වතාවත් සහ පුද සිරිත් ඉදිරිපත් කළෙමු. ඒ තුළින් අශිර්වාද ලබාගත් පිරිස අතිමහත්ය.

අද අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එදිනෙදා ජීවිතය තුළ විවිධ උපද්‍රව අනතුරු සහ කරදර වළකා ඔබ⁣⁣ට අපමණ රැකවරණය සලසන, මෝර පිරිතේ ආරක්ෂාවයි.

මහ බෝසතාණන් වහන්සේ එක් කලෙක කිණිහිරි මල් කැකුළක් සේ බබළන රන්වන් පැහැති සිරුරක් ඇති මොනරෙක්ව ඉපදුණේය. මහ වනයේ කඳු වළල්ලක ගල් තලාවක වාසය කළ මෙම බෝසත් මොනරා උදේ හිරු පායා එන විට ද සවස එසේ හිරු බැසයන විට ද එම හිරු දෙස බලමින් සූර්ය දිව්‍ය රාජයා වන්දනා කළේය. සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සහ උන්වහන්සේලාගේ උතුම් සීලාදි ගුණයට වන්දනා කළේය.

එහි ආනුභාවයෙන් ආහාරපාන පල වැල වල කිසිදු හිඟයක් කිසි කලෙක නොවූ අතර කිසිම බියක් තැතිගැනීමක් උවදුරක් නැතිව ඉතා සැපසේ අවුරුදු 700ක් සුවසේ වාසය කළ බව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවයි. එවන් ආනුභාව සම්පන්න මෙම උතුම් මෝර පිරිත පැරණි යතිවරයාණන් වහන්සේලා සහ ගිහි වැඩිහිටියන් උදේ සවස භාවිත කරමින් අපමණ රැකවරණයක් ලැබූ අතර අදටත් බොහො ගිහි පැවිදි පින්වතුන් මෙම උතුම් මෝර පිරිත භාවිත කරති. මෙම පිරිත භාවිතයේදී ‘උදෙතයං චක්කුමා එකරාජා’ යනුවෙන් ආරම්භ වන පළමුවන මෝර පිරිත උදේ කාලයේදීත් ‘අපේතයං චක්ඛුමා ඒකරාජා’ යනුවෙන් සඳහන් දෙවන මෝර පිරිත සවස් කාලයේදී භාවිත කළ යුතුය. ඕනෑම ගමනක් පිටත්වීමට පෙර සහ නිතිපතා උදේ හවස භාවිතා කිරීම අපමණ රැකවරණයට හේතු වන අතර දූ දරුවන්ගේ පාසල් ගමන සහ එදිනෙදා ඕනෑම ගමනකදී භාවිත කිරීම තුළින් සියලු අනතුරු වළකා රැකවරණය ලබා දේ. මේ සඳහා කිසිදු පේ වීමක් පිරිසිදු වීමක් අවශ්‍ය නොවන අතර එක් වතාවක් පමණක් කියවීම ප්‍රමාණවත් වේ. මෙය පුරුදු පුහුණු වූ විට සිහිපත් කිරීම වුවද ප්‍රමාණවත් බව කරුණාවෙන් සිහිපත් කරමු.

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

Comments