ජනපති යළි දිවයිනට | සිළුමිණ

ජනපති යළි දිවයිනට

ඉන්දියාවේ දෙදින නිල චාරිකාවක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම චාරිකාවේ නිරත වුණි.
 
ජනාධිපතිවරයා සමඟ 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් සිටියේය. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මේ වසරේ සමරන අවස්ථාවේදී මෙම සංචාරය සිදු වීමද විශේෂත්වයකි.
 
අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් මෙහිදී ප්‍රකාශයට පත්කෙරුණි. දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන මෙම හවුල්කාරිත්ව දැක්මෙහි කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා කැපවන ලෙස මෙහිදී ඉන්දු – ලංකා නායකයෝ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ.
 
සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබේ.

Comments