
මනාලයා නිවසින් පිටත්වන නැකත ප්‍රබල නම් දෝෂ අවමයි
මංගල නැකතක් හැදීම ලේසිපාසු නෑ
පොඩ්ඩක් එහා-මෙහා වුණොත් අවමඟුලක් වීමටත් ඉඩ
කුමන හෝ සුබ කාර්යක් ආරම්භ කිරීමේදී ඒ සඳහා සුබ මුහුර්තයක් යොදා ගැනීම බහුතරයක් ජනතාව සම්ප්රදායක් ලෙස අනුගමනය කරති. උපන් දා සිට කේන්දරය නොබැලු අය ද ජ්‍යොතිෂය පිළිබඳ කිසිම විශ්වාසයක් නොමැති අය ද, තමාගේ හෝ තම පවුලේ කෙනෙකුගේ හෝ විවාහ නැකත් විෂයෙහි වන චාරිත්‍ර - වාරිත්‍ර සුබ මුහුර්ත අනුවම සිදු කරන බව සෑම දෙනාම පාහේ ප්‍රායෝගිකව දන්නා කරුණකි.
විවාහ නැකත පලදීම කෙසේද යත් දෙදෙනා එකට ජීවත්වන තුරු එහි බලපෑම ඍජුවම ඔවුන් දෙදෙනා වෙත බලපායි. කෙනෙකුගේ වියෝවක් හෝ දික්කසාදයක් වී දෙදෙනා දෙපොළක ජීවත්වන තුරාවට මෙම විවාහ නැකතේ බලපෑම වක්‍රාකාරව හෝ ක්‍රියාත්මක වෙයි. පොරොන්දම් පරීක්ෂාකර සමස්ත ගැළපීම සුබ වුවත් විවාහ අසාර්ථක වූ අයද, කිසිම පොරොන්දමක් නොබලා විවාහ වී ජීවිතය අතිසාර්ථක කරගත් පිරිස් ද සමාජයේ ඉතා පැහැදිලිව හඳුනා ගත හැකිය.
මෙවන් විටකදී ජ්‍යොතිෂය හා යම් විරෝධයක් ද ගොඩනැඟේ. නමුදු ජන්මියාගේ උප්පත්ති බලය, පූර්ව වාසනා බලය කරණ කොටගෙන විවාහයෙන් පසු අති සාර්ථක ජීවිතයක් ගත කිරීමට හේතු වෙයි. එවන් අය යම් කටයුත්තක් තම හිතුමතයට කිසිම වෙලාවක් පවා නොබලා කටයුතු කළ ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් වනුයේ එම වේලාවන් ඔහුට හෝ ඇයට නිරායාසයෙන් සුබ වේලාවක් බවට පත්ව ඇත්තේ වාසනාව සහ භාග්‍ය කරන කොටගෙන බව අවබෝධ කර ගත යුතු කරුණකි.
විවාහ චාරිත්‍රානුකූලව සියලු වැඩ සඳහා නැකත් යොදා ගනී. නමුත් මඟුල් නැකත් ලෙස ප්රබලතම නැකත ලෙස වර්තමානයේ ජ්‍යොතිෂවේදීන් සැලකිය යුතු පිරිසක් ලබා දෙනුයේ විවාහය ලියාපදිංචි කිරීම සඳහාය. මෙම දිනය බොහෝ විට පෝරුවේ චාරිත්‍ර සිදු කරනු ලබන දිනයට පූර්ව දිනයක් වෙයි. නමුදු දිනයට අදාළ මඟුල් නැකත් ක්‍රියාත්මක වනුයේ මනමාලයා නිවසින් පිටත්වන නැකත මූලික කරගෙනය. එය ප්‍රධානත්වයෙන් ගැනෙනුයේ එතැන් සිට පෝරු මස්තකව තැලිරිලි, හුරුළු දීම්, ලියාපදිංචියෙන් පසු මනාලිය කැඳවාගෙන ඒම හෝ මනාලියගේ නිවසේ නතර වීම හෝ සිදුවන හෙයිනි. එසේ වූ මංගල නැකත සියලු අංගයන්ගෙන් පරිපූර්ණ විය යුතුය. දැනට විවාහ මුහුර්ත සැදීමේදී භාවිත නොකරන යෝගයක් ජාතක පාරිජාතයේ මෙසේ දක්වා ඇත.
සම්භෝග කාලයෙහි හිරු කෙරෙන් සත්වැන්නට ගියා වූ කුජ, ශනි දෙදෙනා පුරුෂයා හටද සඳුගෙන් සත්වැන්නට ගියා වූ ශනි, කුජ දෙදෙනා ස්ත්‍රියට ද රෝග පීඩා පමුණුවන බවයි. කුජ හා ශනිට මැදි වූ රවි පුරුෂයාට ද, කුජ හා ශනිට මැදි වූ සඳු ස්ත්‍රියට ද නිසැක අකල් මරණ ගෙන එනු ලබයි. කුජ හෝ ශනි සමඟ එක් වූ රවි අතින් වැඩිපුර ග්‍රහයන්ට පෙනීමෙන් පුරුෂයා හට ද, සඳු මෙලෙස වීමෙන් ස්ත්‍රින්ට ද මරණය සිදුවන බවයි.
මෙපරදිම රවි, සඳු පාපකර්තරිය පදනම් කරගෙන මරණය වන අයුරු ලඝු ජාතකයෙහි ද සඳහන් වෙයි.
කුමන හෝ ක්‍රියාවකට විපාක දීමට ඒ සඳහා මාර්ගයක් තිබිය යුතුය. එසේම විවාහයේ සුබ අසුබ පල ගෙන දෙන මාර්ගය නැකත් වෙයි. පූර්වාචාරින් දක්වා ඇති පරිදි විවිධ වූ දශා ක්‍රම අතුරින් විත්ශෝත්තරී දශා ක්‍රමය අනුව ඉතා නිවැරදි ලෙස කර්ම පල තීරණය කළ හැකිය. නමුදු මංගල නැකත හා සැසඳෙන දශාවත් හෝරාධිපතියා නියෝජනය කරන දශාවත් ගැන වැඩි අවධානය යොමු කළ යුතුමය.
ජන්ම කේන්දරයක මංගල යෝග ක්‍රියාත්මක නොවන කාලයක නැකත් කොතරම් ප්‍රබල වුවද විවාහයේ අඩුපාඩු රැසක්ම නිර්මාණය වෙයි. යට කී රෝග මරණ ආදී යෝගයන් මගහැර මඟුල් නැකතක් නිර්මාණය ද ලෙහෙසි පහසු කාර්යක් නොවනු ඇත. චාරිත්‍ර විධියකට අදාළ නැකත් යම් යම් දෝෂ සහිත වුව ද, මනාලයා නිවසින් පිටත්වන නැකත ප්‍රබල වූයේ නම් යට කී දෝෂයන් අවමයක් කරා ගෙන යනු ඇත.
උභය රාශියක් සත්වන භාවය නියෝජනය නොවන අවස්ථාවලදී 7 අධිපති ග්‍රහයාගේ හෝරාව ඉතා සුබ මුහුර්තයක් විෂයෙහි යොදා ගැනීම ඉතා යහපත්ය. 7 වන භාවය උභය රාශි ගතනම් 7 දකින සුබ ග්‍රහයාගේ හෝ 9 අධිපතියාගේ හෝරාව ඉතා සුබ වනු ඇත. ත්‍රිකස්ථාන හෝ 22 වෙනි දෙර්කාණාධිපති හෝරාවලින් තොරව සුබ හෝරා, පංචම සහ සුක්ෂ්ම ගෙන බලවත් වූ තත්කාලයක් ඇති දිනක නිර්මිත සුබ මුහුර්තය මැරෙන තුරුම පල දෙන ලබන අනගි නැකතක් වෙයි. මුහුර්තයට අදාළ තත්කාලයේ කාල සර්ප යෝගය යෙදී තිබීමත්, සිකුරු දැඩි සේ පාපී වී තිබීමත් විවාහය ඉදිරියේදී විනාශ වී යන බව ඉඟි කිරීමකි.
ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍රවල පිළිවෙළින් පුරුෂ මර යෝග සහ ස්ත්‍රී මර යෝග පිහිටා තිබුණහොත් මේ තත්ත්වය මෙයට වඩා සංකීර්ණ වනු ඇත. එවන් විටකදී යෝගය ක්‍රියාත්මක වීම අවම වන ලෙස බලවත් වු නැකතක් නිර්මාණය කළ යුතුමය. මේ තුළින් මරණයම අපේක්ෂා නොවන අතර, විවාහයේ මරණය හෙවත් කම්සැප විඳීමේ භාග්‍යය කෙසේ හෝ වැළකී යනු ඇත.
මෙලෙස ගුණ දොසින් සපිරිව නිර්මාණය වු නැකතක තත්කාලය පහත දැක්වේ.
මෙදින සිත නැකත උදා වී තිබුණි. සිකුරු හෝරාවේ කුජ පංචමය කරණ කොටගෙන මෙම නැකත නිර්මාණය කර තිබේ. මෙහි නැකත හිමි කුජ තත්කාලයේ ලග්න ගතවී ශනි, රාහුට මැදිවී බුධට පෙනී පීඩිතව සිටියදී ලග්නාධිපති ගුරු 8 වැන්නේ ශනි, කුජ, රවි යන ග්‍රහයන්ට පෙනී පීඩිතව සිටී.
මෙකී පිහිටීම විවාහය කැඩී යන බවට යථෝක්ත කරුණු අනුව ඉඟි කරයි. එය සැබෑ කරමින් මෙම මනාල යුවළ දින 04 කින් තම යුග දිවිය නිමා කරන ලදී.
මෙලෙස ගත් කළ මංගල නැකත් සැදීමේදී ඉතා සැලකිල්ලෙන් සිදු කළ යුතු බව අවධාරණය කරමි. මන්ද මඟුල් නැකත් අවමඟුලක හෝ දික්කසාදයක පෙරනිමිත්තක් නොකිරීම ජ්‍යොතිර්වේදියකු සතු වගකීමක් මෙන්ම යුතුකමක් ද වන බැවිනි.
ජ්‍යොතිර්විද්‍යා විශාරද ස්වාපන මනෝ චිකිත්සක ආචාර්ය සම්පත් වීරසිංහ