ධනය සෞභාග්‍යය යසඉසුරු කැන්දන ශ්‍රී ලක්ෂ්මි දෙවඟන | සිළුමිණ

ධනය සෞභාග්‍යය යසඉසුරු කැන්දන ශ්‍රී ලක්ෂ්මි දෙවඟන

පුද සත්කාර පැවැත්වීමේදී  බෙලි වෘක්ෂය ඉතා වැදගත් -බදාදා සිකුරාදා ඉතා සුබයි

ආරක්ෂිත ස්තෝත්‍රය ගායනයෙන් පසු ඔබේ අපේක්ෂාවන් දෙවඟන ඉදිරියේ පවසන්න

ශ්‍රී ලක්ෂ්මි  පූජාව සුවිශේෂියි

 

ශ්‍රී ලක්ෂ්මි දෙවඟන පිළිබඳ නොදත් කෙනෙක් නැති තරම්ය. ඒ වාගේම එතුමියගේ බලය, ශක්තිය, විශ්වය පුරා පවතින්නේත් එතුමියගේ කීර්තිය පැතිර පවතින්නේත් ධනයට අධිපතිත්වය මතයි. ඒ නිසාම ශ්‍රී ලක්ෂ්මි දෙවඟන 'ධන ලක්ෂ්මි' ලෙසද හඳුන්වන අවස්ථා ඇත. ලක්ෂ්මි දේවිය පිළිබඳව තිබෙන තොරතුරු අති විශාලය. ඈත පුරාණයේ සිට ලක්වාසීන්ට ව්‍යාපාර, රැකී රක්ෂා දියුණුව සඳහාත් අගහිඟකම්වලින් තොරව ජීවිතය ගතකිරීමට මූල්‍යමය වශයෙන් සහ වෙනත් සම්පත් දේපොළ ආකර්ෂණය කරගැනීමටත්, සමාජීය වශයෙන් ඉහළම තැනක ජීවත්වීමටත් ශ්‍රී ලක්ෂ්මි දෙවඟනගේ ආකර්ෂණීය බලය ලබාගත් බව පුරාණ පොතපත ඇසුරු කිරීමේදී තේරුම්ගත හැකිය.

දෙවඟන පිළිබඳ ලියවුණ පොත්පත් විශාලය. දහඅටවන සියවසේ අග භාගයේදී ලියවුණ පුස්කොළ ග්‍රන්ථයක සඳහන් වූ ආකාරයට මේ දෙවඟනගේ ආකර්ෂණය ලබා දියුණුවේ හිණිපෙත්තටම යා හැකි මහ බලගතු සුවඳ ධූපයක් පිළිබඳව වසර ගණනාවක අත්හදා බැලීමෙන් ලද සාර්ථක ප්‍රතිඵල නිසාම ඉසිවර පාඨක ඔබටද එයින් ප්‍රයෝජන ගැනීම සඳහා මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

ඊට ප්‍රථම ශ්‍රී ලක්ෂ්මි දේවියට පූජාවක් පවත්වන්නේ කෙසේද යන්න බලමු. මහා ලක්ෂ්මි, ශ්‍රී ලක්ෂ්මි, ධන ලක්ෂ්මි යන කුමන හෝ නාමයකින් ලක්ෂ්මි දෙවඟන හැඳින්වුවද ඇය ශ්‍රීමත් විෂ්ණු දෙවිඳුන්ගේ ප්‍රියම්භිකාවයි. ඇය රූපශ්‍රීයෙන් ද මනා ස්වභාව ගතියෙන්ද යුක්තයි. ඇගේ පිළිරුව මේ මහා විශ්වයේ ඈත කොනක තිබෙන වස්තුවකින් නික්මෙන ශක්ති විශේෂයන් ආකර්ෂණය කරගැනීමේ ශක්තියක් ඇති බව පෙනී ගොස් ඇත. ලක්ෂ්මි දේවියට අත් සතරකි. එතුමියගේ වස්ත්‍රය රතුය. ආසනය නෙළුම් මලයි. එක් අතක රන් කාසිද අනෙක් අත්වල රතු නෙළුම් මල්ද වේ. රතු වස්ත්‍රයෙන් සංකේතවත් කර ඇත්තේ සශ්‍රිකත්වයයි. අත් හතරෙන් ගම්‍ය වන්නේ ධර්ම, කාම, අර්ථ, මෝක්ෂ යන මිනිස් ජීවිතයේ සීමා හතරයි.

මේ සියල්ල පොදුවේ ගත් කල ලක්ෂ්මි දෙවඟන සෞභාග්‍යයේ සංකේතයකි. එතුමිය ආලෝකය, රූපශ්‍රීය, වාසනාව පමණක් නොව භෞතික සම්පත් ධන ධාන්‍ය, රන් රිදී මෙන්ම අධ්‍යාත්මික සුවයද නිරතුරු දියුණුවද ලබා දෙන්නීය. සාමාන්‍යයෙන් දේව භාෂිතය සංස්කෘතික භාෂාවකි. එහි අර්ථය නිර්වචනය කළොත් ලක්ෂ්මි යනු පරිවර්තන නාමය ඉලක්කයයි. එයින් මිනිස් ජීවිතයේ විශිෂ්ට අරමුණු හඹා යාමේ ස්වකීය හැකියාව මිනිස් සිතට කා වදින ශ්‍රී අක්ෂරයේ ගුණාංගය වන්නේ දිව්‍යමය ස්වභාවයයි. එය ශ්‍රී ලක්ෂ්මියගෙන් ධනවත්කම ශ්‍රීයාව, ආදරය, සතුට, ස්නේහය, හැඟීම් ආකර්ෂණය නිරතුරුවම ප්‍රසාරණය වන බව හැඟෙයි.

මෙතුමියගේ ආකර්ෂණය ලබා ගැනීමේ මහා බලගතුකම රඳා පවතින්නේ එතුමියට කරනු ලබන පුද සත්කාර අනුවයි. ඒ අනුව එතුමියට පූජා පැවැත්වීමේදී බෙලි වෘක්ෂය වඩාත් වැදගත්ය. බෙලි යනු ඖෂධීය ශාකයකි. බෙලිවලට දේව ආකර්ෂණය ලබා ගැනීමේ මහඟු හැකියාවක් ඇත. ලක්ෂ්මි දෙවඟනට පූජා පැවැත්වීමේදී බෙලි මල්, බෙලි ගෙඩි, බෙලි කොළ, බෙලි පොතු, බෙලි මුල්, පස් පංගුව අනිවාර්ය වේ. එතුමිය වෙනුවෙන් යහන් තැබීමේදී කැවිලි, පලතුරු, පොල්, විලඳ, මී පැණි, හබල පෙති, උක් හකුරු, කිරිබත්, සුවඳ වර්ග එලඟිතෙල් පහන් ආදී අංග සම්පූර්ණ මල් යහන සකස් කළ යුතුය. තම නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ ඉතා පිරිසිදු ස්ථානයක උඩු වියන් බැඳ දණහිසෙන් ඉහළ උස් ස්ථානයක යහන් මාලාව තැබීම සුදුසුය. දින වශයෙන් ගත් කල බදාදා, සිකුරාදා ඉතාම සුබයි. උදය වරුවේ පූජාව තැබීම සුදුසුය. ක්‍රමානුකූලව සකසන ලද මල් යහනේ පහන් දල්වා මුලින්ම ශ්‍රී ලක්ෂ්මි දෙවඟනට ආරාධනා කළ යුතුය.

ශ්‍රී ලක්ෂ්මි ආරාධනාව

පීනා කුච හස්තායව කේශ නීලා වර්ණං

පිනාශෂි සෞම්‍ය වස්ත්‍ර දේහ හේම වර්ණං

දිර්ඝා නයනා නීලොත්පල

ශ්‍රී කාන්තා ප්‍රණාමාමිත ආසන ප්‍රවිෂ්ටං

ශ්‍රී මහා ලක්ෂ්මී දෙවඟනට ආරාධනාකොට දුම් දී දෙවනුව ඇයට නමස්කාර ආරාධනාව සිදු කළ යුතුය.

 

නමස්කාර ආරාධනාව

නමඃ සර්වස්ච රූපවේච නමඃ කල්‍යාණ දායිතේ

මහා සම්පත් ප්‍රදේ දේවී ධන දායි නමෝස්තුතේ

මහා භෝග ප්‍රදේ දේවි මහා කාම ප්‍රපුරිතේ

සුබ මෝක්ෂ ප්‍රදේ දේවි ධනදායි දේයි නමෝස්තුතේ

 

උදෙත් සුර්ය ප්‍රකාශහේ උදෙත්

ආදිත්‍ය මණ්ඩලේ

සිව තත්ත්ව ප්‍රදේ දේවි ධන

ධාදේයි නමෝස්තුතේ

 

බ්‍රහ්ම රූපේ සදා නන්දේ සදා නන්දස්ව රූපිනී

ධ්‍රැත සිද්ධි ප්‍රදේ දේවි ධන ධාදේයි නමොස්තුතේ

 

විෂ්ණු රූපේ විශ්ව මතේ විශ්ව පාලන කාරිනී

මහා සත්ත්ව ක්‍රාන්තේ ධනදායි දේයි නමෝස්තුතේ

 

ශිව රූපේ ශිවා නන්දේ කාරණා නත්ද විග්‍රයේ

විශ්ව සංහාර රූපේච ධන ධාදෙයි නමොස්තුතේ

 

පංච තත්ත්ව ස්ව රූපේව පංචාචාර සාදාරතේ

සාධතා භීෂ්ටධා දේවි ධන ධාදෙයි නමෝස්තුතේ

 

සර්ව මංගල මංගල්‍යයේ ශිවේ සර්වාර්ථ

සාදිකේ ශරන්යේ ත්‍රයම්බසෝ ගෞරි ධනධාදෙයි නමෝස්තුතේ

 

නමස්කාර ආරාධනාවෙන් පසු ඔබට දෙවඟනගේ ශක්තිය ලබා ගැනීම සඳහා පහත ස්ත්‍රෝත්‍රය 21 වර කියවන්න.

පීනා කුච හස්තායාන කේෂ නීල වර්ණං

පීනා ශසි සෞම්‍ය වක්ත්‍ර දේහ හේම වර්ණං

දීර්ඝ නයනා හිලොත්ඵලපත්‍රජ වර්ණං

ශ්‍රී ලක්ෂ්මි ප්‍රණධාමාමිත ආයුෂ ආරක්ෂං

 

ශ්‍රද්ධා මන බද්ධා ගුණ ලද්ධා සත කීර්තිං

බද්දා මන නිත්‍යා පාරිශුද්ධා මතී ශ්‍රේෂ්ඨං

ශ්‍රද්ධා ගුණ බුද්ධිවර කෘෂ්ණ දේව රාභූං

වක්ෂ ස්ථල වාස භූත ශ්‍රී දදාතු සෙඛ්‍යං

 

ශ්වේත පද්ම හස්තධාරි පද්මාසන යුත්තං

සත්‍යා වවනේ කදම්භ අම්බුජ වත වාසං

කත්‍යා කුඤ්ජර වාරම ශ්වේත වර්ණ ජත්‍රං

වාස භූත ශ්‍රී ලක්ෂ්මි ආතුර ආරක්ෂං

 

ආරක්ෂිත ස්ත්‍රෝත්‍රයෙන් පසු ඔබගේ සිතැඟි අපේක්ෂාවන් දෙවඟන ඉදිරියේ ඉල්ලා සිටින්න. ඒකාන්තයෙන් ඇය ඔබට උදවු කරනු ඇත. ඔබගේ ගේදොර, රැකී රක්ෂා, ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වනු ඇත. ඊට අමතරව පහත සඳහන් සරල ක්‍රම කීපයද ඔබට අත්හදා බැලිය හැකිය.

පිරිසිදුව පෙරාගත් පැන් කොතලයකට කිරි බින්දු දෙකක්, දෙහි, තැඹිලි බිංදු දෙකක්, දෙහි කොළ දෙකක්, සුදු හඳුන් ගලගා ස්වල්පයක් ගෙන මෙම ගාථාවෙන් 54 වර මතුරා ශ්‍රී ලක්ෂ්මි පූජාසනයට දිනපතා උදේ ඉසින්න.

ගාථාව

ඕම් ශ්‍රිං ගුරුබ්බ්‍යාය නමං

ඕම් ශ්‍රිං පරම ගුරුබ්බ්‍යාය නමං

ඕම් ශ්‍රිං පරාපර ගුරුබ්බ්‍යාය නමං

තවද හල් දුම්මලගෙන පහත මන්ත්‍රයෙන් දස දහස්වර ජීවම්කර උදේ හවස දුම් දීමටද සුබයි. එයින් අති ප්‍රබල ප්‍රතිඵල සහ දියුණුව ලැබේ.

මන්ත්‍රය

ඕම් ප්‍රාණාය නමඃ ඕම් ජිවාය නමඃ

ඕම් සිද්ධියේ නමඃ ඕම් සර්ව කාර්ය්‍ය

සිද්ධියේ නමඃ

මීට අමතරව අති ප්‍රබල ගුණ දෙන ඇස්පනාපිට දියුණුව සෙත ශාන්තිය නිසැකවම ලැබෙන ලක්ෂ්මි සුවඳ ධූපය සකස්කර ලක්ෂ වර ජීවම්කර නිවසට, ව්‍යාපාර ස්ථානයට, යානවාහනවලට දුම් දීමෙන් අති ප්‍රබල ප්‍රතිඵල නිසැකවම ලැබෙන බව සත්තයි.

 

ලක්ෂ්මි සුවඳ ධූපයට අවශ්‍ය ද්‍රව්‍ය

සාම්බ්‍රාණි, වියළි සමන්පිච්ච මල්, හල් දුම්මල, සුදු හඳුන්, රත් හඳුන්, සුවඳ කොට්ටන්, සැවැන්දරා, අඟිල්, ගුගුල්, විෂ්ණුක්‍රාන්ති, තුල්සි, තුන් දිරික්ක, වේළුණු ගිනිහිරියා මල් මේ සියල්ල ගෙන කොටා සකස්කර යහන් තබා පුද සත්කාර දී ශ්‍රී ලක්ෂ්මි ධන ස්ත්‍රෝත්‍රයෙන් ලක්ෂවර ජීවම් කර ගන්න. ශ්‍රී ලක්ෂ්මි දේවිය පිළිබඳ පරිහරණය කළ යුතු පොතපත අති විශාලය. එම පොත්පත්වල ධන ස්ත්‍රෝත්‍රය විශාල සංඛ්‍යාවක් සඳහන්ව ඇත. මෙම සුවඳ ධූපය ඔබ භාවිතයෙන් ඔබගේ දියුණුව හා චිත්ත ශක්තියට කිසිවකුට බාධා කළ නොහැකිය.

ඔබගේ සියලු පූජා කටයුතු අවසාන කර අනතුරුව පහත සඳහන් ස්ත්‍රෝත්‍රය කියා පූජාව අවසන් කරන්න.

නමස්තුතේ මහා මායේ

ශ්‍රී පීඨෙ සුර පූජිතේ

ශංඛ චක්‍ර ගදා හස්තේ

මහා ලක්ෂ්මි නමෝස්තුතේ

 

 

ජ්‍යොතිර් විද්‍යා විශාරද  කේ. එස්. එස්. යෝදින්ගේ

Comments