අලුත් අදහස් ඇති X අකුර හිමියෝ | සිළුමිණ

අලුත් අදහස් ඇති X අකුර හිමියෝ

ජීවිතයේ  නව වෙනසක් බලාපොරොත්තු වන අය

යහපත් විවාහ ජීවිතයක්ද ඇත

නිශ්චිත  අරමුණු ඇත්තෝ

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව මෙවර විග්‍රහ කෙරේ. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ X අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට W අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදි.

මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ X අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට X අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ X අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක් නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කොතරම් සමීපද කියා.

මෙම අක්ෂරයෙන් පටන් ගන්න නම් සිංහල භාෂාවේ හෝ ලංකාවේ භාවිත වනවා දක්නට නොමැති තරම්ය. සිංහල නම් දුලබ වුවත් වෙනත් රටවල වෙනත් භාෂාවන් තුළ මේ අකුර පුද්ගල නාම සඳහා බොහෝ සෙයින් භාවිත වනු දක්නට ලැබේ.

කෙසේ නමුත් මෙම අක්ෂරයෙන් පුද්ගල චරිත කෙරෙහි ධනාත්මක ආකාරයේ බලපෑමක් සිදුවන බව පෙනේ.

X අකුර හිමියන් නවීන අදහස්වලින් යුක්ත පුද්ගලයන් වෙයි. සෑම විටකදීම සෑම අවස්ථාවකදීම ජීවිතය තුළ අලුත් වෙනසක් බලාපොරොත්තු වෙයි. අලුත් මෝස්තරයේ ඇඳුම් පැලඳුම් ඇඳීමට මෙන්ම නවීන විලාසිතාවන්වලට ද මොවුන් බෙහෙවින් කැමැතිය.

කාලයට තාලයට ගැළපෙන ආකාරයට වෙනස් වීම මොවුන්ගේ ස්වභාවයයි. කලාවට සහ සෞන්දර්යාත්මක දේවලට බෙහෙවින්ම ප්‍රිය කරයි. විවිධ කලා කුසලතාවන් ද X අකුර හිමියන් සතුව පවතී.

මොවුන් ඉතා ඉහළ රස වින්දනයක් සහිත පුද්ගලයන් කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවනි. ජීවිතයේ කුමන ප්‍රශ්න කරදර බාධක තිබුණත් ඒ සියල්ල ඉවසා දරාගෙන සෑම මොහොතක්ම සතුටින් ගත කළ යුතු ය යන හැඟීමක්ද මේ පුද්ගලයන් සතුව පවතී.

ජීවිතය පිළිබඳ සෑම කාරණාවක් පිළිබඳවම නිතරම ධනාත්මකව සිතයි. හොඳ දරා ගැනීමේ හැකියාවකින් යුත් සිතක් මෙන්ම ධෛර්යසම්පන්න පුද්ගලයන් කොටසක් ලෙසටද හැඳින්විය හැකිය. නිශ්චිත අරමුණක් ඉලක්කයක් සහිතව කටයුතු කරන X අකුර හිමියන් තම බලාපොරොත්තු වූ අරමුණු ඉටුකර ගන්නාතුරු අධිෂ්ඨානශීලිව කටයුතු කරයි. අවංක පිරිසිදු සිතිවිලි ඇත.

ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී තම සහකරු සහකාරියගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ නිතර උනන්දු වෙයි. ඉතා යහපත් විවාහ ජීවිතයක් ගෙවීමේ වාසනාව ඇත. මනා උත්සාහයකින් කටයුතු කරන මොවුන් ස්වාධීන අදහස් දරන පිරිසක් වෙයි. එසේම මනා විනයගරුක භාවයකින් කටයුතු කරයි.

තවද කිසිම කටයුත්තකට මොවුන් ඉක්මන් වන්නේවත් කලබල වන්නේවත් නැත. තීරණ ගැනීමේදී හදිසියක් නොමැතිව හොඳින් සිතා බලා තීරණ ගනියි. ජීවිතයේ බොහෝ කටයුතු සෙමින් සිද්ධ වුණත් හොඳ ස්ථාවරභාවයක් ඇත. ඒ නිසාම ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීමේ වාසනාව මොවුන් සතුව පවතී.

Y අකුර පිළිබඳ තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 ඒ. ජේ. දීපාලෝක (ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය)

Comments