පාර්ලිමේන්තුව අද සිට ලබන 21 දක්වා රැස්වෙයි | සිළුමිණ

පාර්ලිමේන්තුව අද සිට ලබන 21 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව අද(18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙන බවත් ඒ අනුව සෑම දිනකම පෙ.ව 9.30 පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. 
 
මේ අනුව 2023 ජූලි මස 18 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 දක්වා රේගු ආඥාපනත යටතේ අංක 2325/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනා සම්මතය (235 අධිකාරය) සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2335/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව තිබේ.
 
අනතුරුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව පලස්තීන ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සඳහන් කරයි.
 
ජූලි මස 19 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරිය පැවසුවාය.
 
ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය ‍වෙන්කර තිබේ.
 
ජූලි මස 20 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඉන්පසු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට ද ‍නියමිත වේ.
 
ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට විවාදයට ගැනෙනු ඇත.
 
ජූලි මස 21 වැනි සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකගත්වය පළවී තිබේ .
 
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇති බවද සඳහන් වේ.

Comments