![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/17/Shehan%20Semasinghe%20Presidential%20Secretariat%20.jpeg?itok=8LNUPVhS)
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ලබන මාසය වන විට උද්ධමනය 7% - 8% මට්ටම දක්වා පහළ බසිනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ණයබරතාව සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් බංකොලොත් වූ රටක් ලෙස සැලකුණු ශ්‍රී ලංකාව අද ආර්ථික අර්බුදය කඩිනමින් විසඳාගනිමින් නැගී සිටින රටක් ලෙස ජාත්‍යන්තරය හමුවේ උදාහරණයට ලක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා නිශ්චිත ඉලක්ක සහිතව දැඩි මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම හේතුව බවට පත්ව ඇති බවයි.
දේශීය ණය ප්‍රශස්තීකරණය පිළිබඳ වෘත්තිය සමිති නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පසුගියදා (14) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඵලදායී අදහස් භාර ගැනීමට රජය තව දුරටත් සූදානම් බවයි. පැරිස් සමාජය ඇතුළු කණ්ඩායම් විසින් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ වේදිකාවන්වලට අවතීර්ණ නොවූ විපක්ෂය හුදු විරෝධතා පමණක් දැක්වීම කණගාටුවට කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේ ය. අවශ්‍ය ඕනෑම අවස්ථාවක විපක්ෂ කණ්ඩායම් පවා ඉදිරිපත් කරන යෝජනා සලකා බැලීමට කැබිනට් මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් සේමසිංහ මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිතවරයා වෙත වුව ද අදාළ යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇත්තේ කොන්දේසි නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා ණය හිමි සෙසු රටවල් සහ ශ්‍රී අතර ගනුදෙනුව වඩාත් විශ්වාසනීයත්වයට පත් කිරීමේ වගකීම ඔවුන් ඉටු කරන බව පෙන්වා දුන්නේ ය. රටක ආර්ථික අර්බුදයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම මගින් අදාළ රට පිළිබඳ ඉහළ මට්ටමේ සහතිකයක් සෙසු පාර්ශ්ව වෙත ලැබෙන බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2027න් පසු යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවනු ඇති බවයි.
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ ඇතැම් පාර්ශ්වය ඉදිරිපත් කළ පදනම් විරහිත කතා අද වන විට ප්‍රතික්ෂේප වී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ විශේෂයෙන් ම සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් දේශීය ණය ප්‍රශස්තකරණය හේතුවෙන් කිසිදු බලපෑමකට ලක් නොවන බවයි.