පදවිප්‍රාප්තියට උත්සව එපා | Page 3 | සිළුමිණ

පදවිප්‍රාප්තියට උත්සව එපා

රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති ධුරයට පත්ව ලබන 20දාට වසරක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශ්වවලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය.

2022 ජූලි මස 20 දින පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහයන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් වූ අතර එදිනට පසු දින එනම් ජූලි 21 වැනිදා පාර්ලිමේන්තුවේදී අට වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කොට රට සාමාන්‍යකරණයකට පත් කර තිබේ.

පදවිප්‍රාප්ත උත්සව පැවැත්වීමට අදහස් හා යෝජනා ඉදිරිපත්ව ඇති අතර කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රාප්ත උත්සව පැවැත්විය යුතු නැතැයි ජනාධිපතිවරයා නියෝග කොට ඇත.

පදවිප්‍රාප්ත දිනයේම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම ද විශේෂත්වයකි.

Comments