“ගැරී නැති වෙලා“
ඉකුත් සිකුරාදා (14) උදයේ ලේක්හවුසිය කැලඹුණේ ඒ ආරංචියත් සමඟිනි. ලේක්හවුසිය පමණක් නොව ගැරී ගැන දන්නා පාඨක ප්‍රජාවට ද එය දුක්මුසු ආරංචියක් වූ බව නිසැකය.
ඊට පෙර දිනයේ එනම් 13 දා ද සේවයට පැමිණි ඔහු සිකුරාදා උදෑසන මිය ගිය පුවත කෙසේ නම් විශ්වාස කරන්නද? නමුදු එය සත්‍යක් විය. ජීවිතය යනු තණ අග පිනි බිඳක් බැව් සිතේ තිබුණ ද මේවා එවැනි දෑ අපට ජීවිතයෙන්ම පසක් කරන ආරංචිය.
ගැරී යනු තම රාජකාරිය උතුම් ලෙස කළ අයෙකි. උදෑසන සේවයට පැමිණෙන ගැරී බොහෝ දිනවල සේවය නිමකර නිවෙසට යන්නේ මධ්‍යම රාත්‍රියේය.
ගැරී එතරම් සිය වෘත්තියට ආදරය කළ අයෙකි. ඩේලිනිවුස් කර්තෘ මණ්ඩලයට ඔහු ආභරණයකි; ශක්තියකි. කොයි කවුරු දැක්කත් මුව පුරා හිනැහෙන ඔහු නිහතමානී බවෙන් අගතැන්පත් ය.
ගැරී පිළිබඳ කෘතවේදීව සිහිපත් කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී ඩේලිනිවුස් කර්තෘ ජයන්ත ශ්‍රී නිශ්ශංක පැවසුවේ, සිය වසර විසිපහක වෘත්තීය මාධ්‍ය ජීවිතයේ ගැරී තරම් කැපවීමෙන් වැඩ කළ මාධ්‍යවේදියකු හමු වී නැති බවත් ඔහුගේ හදිසි නික්ම යෑම තමා දැඩි කම්පනයට පත් කළ බවත්ය. ඉංග්‍රීසි චිත්‍රපට පමණක් නොව ගීත ගැන මෙන්ම කලාව ගැන ඔහුට මනා රසවින්දනයක් තිබුණේය. ඔහු තම කාර්යාලයේ හිත මිතුරන් සමඟ මේවා බෙදා ගත්තේ කලාකාමියකු ලෙසිනි. ඔහු සිටිනා තැන කිසිවකුටත් පාළුවක් කාන්සියක් දැනුණේ නැත. අනෙකාට බෙහෙවින් ගරු කළ හේ ඒ ගෞරවයම පෙරළා ලැබුවේ නිරායාසයෙනි. ඔහු හමු වූ කිසිවිටෙක වදනක් නොදොඩා යන්නට තරම් කිසිවකුගේ හිත නොනැමුණේ එබැවිනි.
වසර 26ක් පුරා ඩේලිනිවුස් පුවත්පතේ සේවය කළ නියෝජ්‍ය කර්තෘ ගැරී ගානියර් මිය ගියේ හෘදයාබාධයක් වැලදීමෙනි. 1968 ජුනි 27 දින මෙලොව එළිය දුටු ගැරී මිය යන විට ඔහුගේ වයස අවුරුදු පනස් පහකි.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු අයිලන්ඩ් පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය ඇරඹුවේ 90 දශකයේ මුලදී ය.
උප කර්තෘවරයකු ලෙස ඩේලිනිවුස් පුවත්පතට බැඳෙන ඔහු පසුව එම පුවත්පතේ නියෝජ්‍ය ප්රවෘත්ති කර්තෘ ලෙස ද කලක් සේවය කළේය. ගැරීගේ බිරිය වූයේ ඩේලිනිවුස් පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ අංජලී ගානියර්ය.
ඔහුගේ දේහය සෙනසුරාදා උදෑසන 9.00 සිට දහවල් 2.00 දක්වා කළුබෝවිල පීරිස් මල්ශාලාවේ තැන්පත් කර තිබුණි. මාධ්‍යවේදීන්ගේ මෙන්ම පාඨකයන්ගේ ද ඇසෙහි කඳුළක් නංවමින් ගැරී සෙනසුරාදා (15) කොහුවල පොදු සුසාන භූමියේදී නික්ම ගියේ හදවතේ බරම තැන සංතාපය දවටමිනි. නික්ම ගිය ද ඔහුගේ මතකය සදා අප හදවතේ බරට තැන්පත් වෙන බැව් නම් නොකියා බැරිය.
ආදරණීය ගැරී ඔබට සුබ ගමන්!
l ඉනෝකා සමරවික්‍රම