
ආපෝ ධාතුව (WATER) දිශාවක් ලෙස අදාළ ඊසානයටයි
තෙතමනය රඳවන තත්කාල වැස්ම අන්තරීක්ෂ ශක්තිය නිවසට කැඳවයි
නිරිතේ ඉහළ ජල ටැංකියක් රැඳවූවොත් නිවසට ඇතුළු වන අන්තරීක්ෂ ශක්තියට බලපෑමක් නෑ
ආපෝ ධාතුව පංච මහා ධාතුන්ගේ මූලික ධාතුවකි. එය දිශාවක් ලෙස ඊසානයට අදාළ බව ඍෂි භාවිතයයි. බොහෝ ඉංග්‍රීසි පොතපතෙහි ඊසානයට අදාළ ධාතුව වන ආපෝ ධාතුව ජලය (WATER) ලෙස දක්වා තිබේ. එය සංකල්පීයව අඩුපාඩුවක් වුවත් අප භාවිත කරන ධාතු මූලාශ්‍ර වශයෙන් ආපෝ ධාතුවෙන් බහුලම කොටස හිමි වන්නේ ජලයට බැවින් එහි එතරම් වරදක් අපට නොදැනේ. එබැවින් ආපෝ ධාතුව නියෝජනය සඳහා ජලය වුව යොදා ගත හැකියි.
මෙහිදී ඊසානයට හිමි වන ජල හෙවත් ආපෝ ධාතුව නිවැරදි ලෙස අදාළ වන්නේ පොළොව මට්ටමෙන් පහළ පිහිටන අවස්ථාවලදී පමණි.
නොඑසේව පොළොවට ආසන්නව වත් නොපිහිටි ඉහළ ජල ධාරකයක (ටැංකියක) ඇති ජලය ධාතු තුලනය සඳහා ආපෝ ධාතුව ලෙස ක්‍රියා කරන බවක් නොපෙනේ. ඒ වෙනුවට ඉහළ ජලය උචිත දිශාව ලෙස භාවිත වන්නේ නිරිත දිශාවයි.
නිරිත දිශාවට ඉහළ ජල ටැංකියක් තිබීම විශාල ආර්ථික ප්රතිලාභ හා මූල්‍යමය ඉතිරිය සඳහා බලපානු ලබයි. මෙය සෛද්ධාන්තිකව වටහා ගැනීමට අපට නූතන බටහිර භෞතික විද්‍යාව ඇසුරින් උපන් නූතන වාස්තු විද්‍යාව යොදා ගැනීම අපහසු නොවේ.
අන්තරීක්ෂ ශක්තිය සාපේක්ෂ වශයෙන් ගලා ඒමේදී ජල මූලාශ්‍ර වෙත එහි පවත්නා ඇදී යන (ආකර්ෂණය වන ගුණය) නිසා ඍෂි භාවිතයට අනුව මෙන්ම අන්තරීක්ෂ ශක්තිය පොළොවට වැඩි වැඩියෙන් ළංව ගලා ඒමට පොළොවේ පවත්නා තෙතමනය පවා බලපාන බව පෙන්වා දිය හැකියි.
මේ අනුව ළිං, පොකුණු තැනීමේ සිට ජලය මෙන්ම තෙතමනය රඳවන තණ කොළ වැස්මක් සහිත භූමියක් තිබීමද අන්තරීක්ෂ ශක්තිය නිවස වෙත වැඩි වැඩියෙන් කැඳවා ගැනීමට ඉවහල් වේ.
මෙසේ ගලා ඒමේදී ඊසාන දිශාවෙන් ඉහළ ජල ටැංකියක් යෙදීම උචිත නොවන්නේ ඇයිදැයි පැහැදිලි කළ හැකිය.
එයට හේතුව වන්නේ ඊසානයෙන් සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය ජල ටැංකියෙහි ඇති ජලයට උරා ගැනීම නිසා ඊසානයෙන් නිවසට ලැබෙන අන්තරීක්ෂ ශක්තියේ ප්‍රමාණය අඩු වේ.
එසේ වුවත් ඉතා ඉහළින් ජල ටැංකිය පිහිටුවා ඇති විට මෙසේ නිවස වෙත අන්තරීක්ෂ ශක්තිය ගලා ඒමේ ප්‍රමාණය අඩු නොවන බවද සැලකිය යුතු වේ.
දැන් පෙර පැහැදිලි කිරීමට ඉතිරි වූ නිරිතේ ඉහළ ජල ටැංකියක ඇති උචිත බව කවරක්දැයි අපි වටහා ගැනීමට උත්සාහ කරමු. නිරිතේ ඉහළ ජල ටැංකියක් රැඳවීමේදී ප්‍රධාන වශයෙන් නිවසට ඇතුළු වන අන්තරීක්ෂ ශක්තියට බලපෑමක් ඇති නොවේ.
නිවස පසු කර යන අන්තරීක්ෂ ශක්තිය භූගත වීම නිරිතේ සිදුවීම නිසා ඉවතට ශක්තිය ගැලීමක් සිදු නොවන බවද ඉතා පැහැදිලියි.
ඉහළ ජල ටැංකිය විසින් ද තැන්පත් කර ගන්නේ මෙසේ නිවස පසුකර ඉවතට යෑමට නියමිත අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණය බව අපට පහසුවෙන් තේරුම් ගත හැකියි.
මෙසේ අන්තරීක්ෂ ශක්තිය භූගතව තැන්පත් වීම හා ඉහළින් ජලගතව තැන්පත් වීම නිසා ඉවත්ව යන විශාල ශක්ති ප්‍රමාණයක් සුරැකීම සිදුවේ. (උස ගස්කොළන්, තාප්ප ආදිය නිරිතේ පැවතීමේදීත් මෙසේ අන්තරීක්ෂ ශක්තිය අපතේ යෑම අඩුවන බව පෙනේ.)
මීට අමතරව පෙර කී නිරිතේ භූගතව හා ජලගතව ඇති අන්තරීක්ෂ ශක්තිය නිවස අභ්‍යන්තරයේ යම් ශක්ති ඌණතාවක් සිදුවන අවස්ථාවල ද පහසුවෙන් ඒ ඌණතාව සපුරාලීම සඳහා දායක වනු ඇත.
මේ නිසා ජල මූලාශ්‍ර යනු අන්තරීක්ෂ ශක්තිය කළමනාකරණයෙහිදී වැදගත් භාවිතයක් සලසා දෙන්නක් බව නිසැක වශයෙන් පැවසිය හැකියි.
සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ජනක ප්‍රියන්ත දයාරත්න