
ජීවමට පෙර කිලි කුණුවලින් වළකින්න
ශ්‍රී මහා විෂ්ණු දැහැනෙන් 108 වර ජීවම් කරගන්න
වෙහෙර විහාර ව්‍යාපාරික ස්ථානවල දියුණුවට ඉතා හොඳයි
සිළුමිණ - ඉසිවර පාඨක ගිහි පින්වතුන් මෙන්ම පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේලාද මෙම අතිරේක පළවන ලිපි කියවා අප වෙත දුරකතන ඇමතුම් ලබා දී ආශීර්වාද කිරීම ඉමහත් සතුටට හේතුවකි. මෙම ලිපි මාලාව මඟින් අප ඔබ වෙත ඉදිරිපත් කරන පුද පිළිවෙත් සහ වතාවත් පෞද්ගලිකවම අප විසින් සිදු කරන වතාවත් සහ පරපුරෙන් පරපුරට පැවත එන පුද සිරිත් බව සිහිපත් කළ යුතුමය.
අද අප ඔබට ලබා දෙන මෙම මහඟු ‘ඖෂධ ධූපය‘ කිසිදු ඇදුරෙකු විසින් තම පරපුරෙන් පිට මෙතෙක් ලබා දී නොමැති බව විශ්වාසයෙන් සඳහන් කරන්නෙමු.
ඓතිහාසික අප කොළඹගම රජමහා විහාරයේ පෞරාණික ටැම්පිට විහාරය තුළ නිතිපතා පැවැත්වෙන තේවාවේදී සුවඳ දුම් පිදීම සඳහා අප විසින් යොදා ගනු ලබන්නේ මෙම උතුම් ඖෂධ ධූපයයි.
බොහෝ වෙහෙර විහාරවල සහ ගිහි පින්වතුන්ගේ නිවාස සහ ව්‍යාපාර ස්ථානවල කිසිදු කලඑළියක් නොමැති අතර ඒ ස්ථානවල ජීවත් වන්නන් අතරද වරින්වර මතභේද ඇතිවී සමඟිය බිඳී පරිහානියේ අගාධයටම පත්ව ඇති අතර සමහර විහාරස්ථානවල කොයිතරම් සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කළද ඒ සියල්ල අතරමඟ ඇනහිට දායක පිරිස සහ ස්වාමින් වහන්සේ අතර අසමඟිය සහ මතභේද පැන නැඟී මහත් කරදරයන්ට මුහුණ දීමට සිදු වේ.
ඔබ විශ්වාස කළද - නොකළද මේ පරිහානියට හේතුව ප්‍රේත සහ මල යක්ෂ උපද්‍රවයන්ය. ගිහි ප්‍රේත සහ ශ්‍රමණ ප්‍රේත බලවේගවලට දුර්වල මිනිසුන් බොහෝ සේ පීඩාවන්ට ලක්කළ හැකිය. අමනුෂ්‍ය බලවේගයකට හසුවූ හිමිනමක් ඉන් මුදා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් අමු මස් අනුභව කිරීමට දුන් කතා පුවත දහමේ විස්තර වේ. එවන් පවිටු අමනුෂ්‍ය බලවේග දුරලා ජීවිත සහ ස්ථානවලට රැකවරණය සහ වාසනාව උදාකරන මෙම මහඟු ඖෂධ ධූපය නිසි පිළිවෙත් පුරා සකස් කරගැනීම ඔබටද සිදුකළ හැකිය.
අප සඳහන් කරන ඖෂධ කුඩු සිංහල බෙහෙත් බඩු කඩවලින් ලබාගත හැකිය. වෙන වෙනම ප්‍රමාණවත් ලෙස ලබා ගන්නා ඖෂධ කුඩු එක් බඳුනකට දමා සුදුසු ආසනයක තැන්පත් කරගන්න. ආසනය මත අමු කෙසෙල් කොළයක් එළා ගන්න. නෙලුම් මල් සහිත මල් වර්ග පහක් ආසනය වටා තබා පිරිසිදු පොල් තෙල් පහනක් දල්වා සුවඳ දුම් දල්වා ඔබ මුලින් පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කර ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පින් දී මෙම සිදු කරන උතුම් කාරණය සාර්ථක වේවායි අධිෂ්ඨාන කරගන්න. අනතුරුව ඖෂධ බඳුන පහත සඳහන් ආනුභාව සම්පන්න ශ්‍රී මහා විෂ්ණු දැහැනෙන් 108 වරක් ජීවම් කරගන්න. එක දිගට අපහසුනම් වරින්වර ජීවම් කරගැනීමේ වරදක් නැත. ජීවම් කාලය පුරාම නිති පන්සිල් සුරකිමින් තෙරුවන් වැඳීම සහ කිලි කුණුවලින් වැළකීම, නිර්මාංශ ආහාර ගැනීම අනිවාර්ය වේ. කිසිදු විටෙක මිල මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන තකා මෙම කටයුත්ත සිදු නොකළ යුතුය. එසේ සිදුකළහොත් එය දෙවිවරුන්ගේ මහත් කලකිරීමට හේතු වන බව සිහි තබාගන්න.
සුවඳ ධූපය සඳහා අවශ්‍ය ඔසු
සුදු හඳුන්
රත් හඳුන්.
දේව ධාර
අගිල්
ගුගුල්
සුවඳ කොට්ටන්
ජටා මාංශ
සැවැන්දරා
විෂ්ණු ක්‍රාන්ති
කවඩි සාම්බ්‍රානි.
මදුරුතලා
ජීවම් කිරීම සඳහා වූ මහා විෂ්ණු දැහැන
ඕං නමඃ ශ්‍රීඝනාය නමඃ - ඕං නමො භගවතො නාරායණාය, වාසුදේවාය, වාමනාය , හෘෂිකෙශාය, ජනාර්දිනාය, පුණ්ඩරීකාක්ෂාය, වෛකුණ්ට දෙවරාජාය, භූතරාය, ශ්‍රීධරාය, භුවනෙශ්වරාය, ගොවින්දාය, ගරුඬවාහනාය, යඥෙයාය, යඥපුරුෂාය, චක්‍රපාණිය, සංඛපාණිය, ත්‍රිවික්‍රමාය, ත්‍රිකාලඥාය, චතුර්භුජාය, රාමාවතාරාය, රාමචන්ද්‍රාය, කපිරාජාය, ජ්‍යොතිරූපාය, දශාවතාරාය, මෙඝවර්ණාය, භුගර්භ දුෂ්ට දමන සපරිවාර දිව්‍යරාජ ශ්‍රී විෂ්ණු දේවාම් දිෂ්ටි දිෂ්ටි සපරිවාර දිව්‍යාංගනා මහා ලක්ෂමී දිෂ්ටි දිෂ්ටි ඉන්ද්රාග්නියාම, නෛරුත්‍ය වරුණ වායව්‍ය සෞම්‍ය ඊශාන ආකාශ පාතාල දිෂ්ටි දිෂ්ටි සර්වකායර්‍යාර්ථ සිද්ධයෙ ශ්‍රී විෂ්ණු නාරායණාය නමස්තුතෙ ස්වාහ ටං ටං.
මෙම උතුම් සුවඳ ධූපය ගොඩනැඟිලි ඇතුළත සහ භූමිය පුරා උදේ සවස දුම් දෙන්න. සාම්බ්‍රානි කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරමින් වැඩි කලක් ප්‍රයොජනයට ගන්න.
වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද
ගල්ලැහැපිටියේ පේමරතන
ස්වාමීන් වහන්සේ
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)