මංගල නැකතක් හදන්න ජ්‍යොතිෂවේදියා ගන්නා මහන්සිය | Page 5 | සිළුමිණ

මංගල නැකතක් හදන්න ජ්‍යොතිෂවේදියා ගන්නා මහන්සිය

 

විවාහ මංගල්‍යයේ නියම කාලසටහන ජ්‍යොතිෂවේදියා මුළුමනින්ම  දැන සිටිය යුතුයි

මිනිත්තු 24ක් ඇතුළත පෝරුවේ චාරිත්‍ර  නිම කිරීම සුදුසුයි

 

විවාහ මංගල්‍යයකට නැකත් සෑදීම ඉතා වගකිවයුතු හා බැරෑරුම් කාර්යයකි. විවාහප්‍රාප්ත වන දෙදෙනාගේ උපන් නැකැත්වලට ගැළපෙන නැකතක් සහිත සුබ දිනයක් සොයා ගැනීමත්, එදිනට සුබ මුහුර්ත සකස් කොට දීමත් නැකත්කරුගේ කාර්යය වේ.

නැකත්කරු හමුවීමට පැමිණි පසු අවශ්‍ය කාරණය පවසා ජන්ම පත්‍ර දෙක බාර දී නැකත් රැගෙන යාමට පසුව පැමිණෙන බව පවසා පිටව යාම සාමාන්‍ය සිරිත වේ. ඒ අනුව සෑම විවාහ මංගල්‍යයක් ම ඉතාම සුබ දිනවල සුබ නැකත් සමඟ සිදු විය.

වර්තමානයේදී මේ සරල ස්වභාවය වෙනස් වී ගොස් සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත. නූතන විවාහ මංගල උත්සවයකට නැකත් සාදා දීමට බාර ගන්නා නැකත්කරු ජ්‍යොතිෂය පමණක් දැනගෙන සිටීම ප්‍රමාණවත් නැත. විවාහ මංගල්‍යයක නූතන පිළිවෙළ ද හොඳින්ම දැන සිටිය යුතුය. ඒ අනුව මනාලයාගේ, මනාලියගේ සහ ඔවුන්ගේ වැඩිහිටියන්ගේ අදහස් ද හොඳින් අසා දැනගෙන ඒ අනුව ඔවුන්ගේ මූලික සැලසුම් අවුල් නොවන පරිදි නැකත් සාදා දීම නූතන නැකත්කරුවෙකුගේ වගකීම වී ඇත.

විවාහ මංගල උත්සවයකට නැකත් සෑදීම වර්තමානයේදී ඉතාමත් සංකීර්ණ වී ඇත්තේ මංගල උත්සවය හා සබැඳි සෙසු කටයුතු සංකීර්ණ ආකාරයට යොදා ගන්නා බැවිනි. සැලෝන් එකකදී හෝ නිවසේදී හෝ මනාලියට ඇඳුම් අන්දවා සුබ මොහොතින් වේල් එක හෝ හිස පලඳනාව තබා ඉන්පසු උත්සව ශාලාවට කැඳවාගෙන යාම මුල් කාලයේදී සිදුවිය. එහෙත් වර්තමානයේ උත්සව ශාලාවට යාමට පෙර ඡායාරූප ගැනීම්වලට අදාළ දර්ශන තලය වෙත කැඳවාගෙන යාම සිදු කරයි. ඡායාරූප ගැනීම් හා වීඩියෝකරණය සඳහා අවම වශයෙන් පැය දෙකහමාරක පමණ කාලයක් ගත වේ.

ඉන් පසුව උත්සව ශාලාවට ගොස් විවාහය ලියාපදිංචි කිරීම සිදු කෙරේ. මේ සියලු කටයුතු නිවැරදිවම ඉතා හොඳින් නැකැත්කරු දැන සිටිය යුතුය. ඒ අනුව සියලු කටයුතු අවුලකින් තොරව සිදුකර ගැනීමට ගැළපෙන පරිදි නැකත් සාදා දීම සිදු කළ යුතුව ඇත. ඇඳුම් අන්දවන සැලෝන් එක පිහිටි ස්ථානය, එහි සිට ඡායාරූප ගන්නා දර්ශන තලයට ඇති දුර සහ ඒ වෙත වාහනයකින් යාමට ගතවන කාලය නැකත්කරු දැන සිටිය යුතුය. දර්ශන රූගත කිරීම් අවසන් කොට උත්සව ශාලාවට යාමට ගත වන කාලයද නැකත්කරු දැන සිටිය යුතුය. ඒ අනුව විවාහය ලියාපදිංචි කිරීමට සුදුසු සුබ නැකත සකස් කළ යුතු වේ.

මනාලයාගේ සූදානම පිළිබඳව ද සඳහනක් නොකළහොත් අඩුවකි. මුල් ඇඳුම හෙවත් උඩරට නිලමේ ඇඳුම මනාලයාට අන්දවන්නට සූදානම්කොට තිබේනම් ඒ සඳහා ද විශාල කාලයක් ගත වේ. මල් කුමාරයන්ට ද අන්දවන්නට ගත වන කාලය ද සැලකිල්ලට ගෙන මනාලයා ඇඳුම් අඳින නැකතද, මනාලයා තම නිවසින් පිට වන නැකත ද සකස් කර දීමට නැකත්කරු සූක්ෂ්ම විය යුතුය. ඡායාරූප ශිල්පීන්ගේ ඉල්ලීම වනුයේ උදෑසන හය හෝ හයයි තිහ පමණ වන විට රූගත කිරීම් ආරම්භ කළ යුතු බවය. ඒ අනුව වේලාව නොවරදවා ඊට සහභාගී වීමට හැකි වන පරිදි ඇඳුම් ඇන්ද වීමට ගත වන කාල වේලා මනාව කළමනාකරණය කොට ගනිමින් ඇඳුම් ඇන්දවීමට අදාළ සුබ නැකත් වේලාවන් ලබා දීමට නැකත්කරුට සිදු වේ.

සුබ පංචම හෝරා කාල දෙකක් හෙවත් විනාඩි විසිහතරක් ඇතුළත පෝරුවේ චාරිත්‍ර නිම කරන්නට සැලැස්වීම ප්‍රමාණවත්ය. කකුල් රිදෙනතුරු පෝරු මස්තකව සිටීම අවශ්‍ය නොවේ. මංගල කෑම මේසය ඉඳුල් කිරීමේ නැකත සහ නව යුවළ මධුසමය සඳහා පිටත්වන නැකත සැදීමේදී නැකත්කරු ඉතා හොඳින් දැන සිටිය යුතු දෙයක් ඇත. එනම් මංගල උත්සවයට කී දෙනෙකු පැමිණෙනවාද යන්නය. ඒ මඟින් නැකත්කරු සකස්කර ගත යුතු සලසුමක් ඇත. එනම් එපමණ පිරිසකට ආහාර ගැනීමට ගතවන කාලයත්, තෑගි බෝග දීමට හා සමු ගැනීමට ගතවන කාලයත්, ඇතැම් අය පවසන පරිදි 'ෆන් එකක්' ගැනීමට ගතවන කාලයත් නැකත්කරු ඉතා හොඳින් ඇස්තමේන්තු කෙට ඒ අනුව මධුසමය සඳහා පිටත්වන නැකත සකස් කර දිය යුතුය.

නව යුවළ දිනක් හෝ දෙකක් හෝටලයක ගතකොට දෙවැනි ගමන සඳහා පිටත්වන නැකත මෙන්ම මනාලයාගේ නිවසට හෙවත් පතිකුලයට හෝ උත්සව ශාලාවකට පිවිසෙන නැකත ලබා දීමේදීත් එම ස්ථාන දෙක අතර ඇති දුර හා පෞද්ගලික වාහනයක එකී දුර ගමන් කිරීමට ගතවන කාලය නැකත්කරු ඉතා හොඳින් දැන ඒ අනුව අදාළ නැකත් ලබා දිය යුතුය.

මේ ආකාරයට බලන විට නූතන විවාහ මංගල උත්සවයකට සුබ නැකත් සාදා දීම අතිශය සංකීර්ණ, බැරෑරුම් හා වගකීම් සහගත කාර්යක් බව අවධාරණය කරමි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අසෝක විජයසේකර

Comments