ජීවිතයේ සතුට ගැන හෙළි කරන වෙදැඟිල්ල | සිළුමිණ

ජීවිතයේ සතුට ගැන හෙළි කරන වෙදැඟිල්ල

 

වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂාවේදී වැඩිපුරම භාවිත කරන ඇඟිල්ල නිසා වෙදැඟිල්ල නමින් හඳුන්වයි

දෙවැනි පුරුක  සිංහ රාශියට

අත්ලේ ඇඟිලි පහ අතරින් තවත් ඇඟිල්ලක් පිළිබඳවය අද විස්තර කෙරේ. වෙද ඇඟිල්ලයි. ගුරු ග්‍රහයාට සම්බන්ධ නිසා මෙය 'රවි ඇඟිල්ල' නමිනුත් හඳුන්වයි. වෛද්‍යවරු සහ අක්ෂි වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා කරද්දි වැඩිපුරම මෙම ඇඟිල්ල භාවිත කරන නිසා ඒ නම ලැබෙන්නට ඇත. වෙද ඇඟිල්ලෙන් සංකේතවත් වන්නේ ප්‍රධාන වශයෙන් ජීවිතයේ ප්‍රීතිමත්භාවයයි. කලාකාමිත්වය, ජයග්‍රහණ, කරුණාව, ගෞරවය ආදී සර්ව සුබවාදී ලක්ෂණත් මෙම ඇඟිල්ලෙන් පැහැදිලි වේ.

නිය පිහිටි පුරුක අයත් වන්නේ කටක රාශියටයි. ඊට අදාළ සලකුණක් රූප සටහනෙහි දක්වා ඇත. එම පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් උසස් ගති පැවතුම්වලින් යුක්ත අයෙක් වෙයි. එසේම ඔවුන්ට නොයෙක් කලා ශිල්ප හදාරන්නට දක්ෂතාවක් ඇත. ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණතාවක් දක්වන ඔවුන් සරාගී පුද්ගලයන් වේ. නමුත් කෙසේ හෝ ජීවිතය සරුසාර කරගනී.

වෙද ඇඟිල්ලේ දෙවන පුරුක අයිති වන්නේ සිංහ රාශියටයි. දෙවන පුරුක අනෙක් දෙකට වඩා දිගින් වැඩිනම් ඔවුනට මූර්ති කලාව, කැටයම් කලාව, බතික් කලාව ආදී කලාවන්හි සහජ දක්ෂතාවක් ඇත. බොහෝ විට කීර්ති, ප්‍රශංසා ලැබිය හැකි වෙයි. ප්‍රියජනක පුද්ගලයන්ය.

බොහෝ උද්‍යෝගිවත් අය වේ. ඔවුනට ශිල්ප ශාස්ත්‍ර හොඳින් පිහිටන අතර එමඟින් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි වේ. මැද පුරුක කෙටිව පිහිටන්නේ දුසිරිතේ ඇලුණු පුද්ගලයන්ගේය. ඔවුන් අනුන්ගේ බසට අවනත නොවේ.

තුන්වැනි පුරුක හෙවත් මුල් පුරුක කන්‍යා රාශියට අයත් වන අතර එම පුරුක අනෙක් දෙකට වඩා දිගින් වැඩිනම් ඔවුහු සුළු දෙයකින් පවා කලබලයට පත්වෙති. හොඳට ශක්තිමත් ලෙස වෙද ඇඟිල්ල පිහිටීම ඉතා සුබදායකය. එසේ පිහිටා ඇති අය සර්ව සුබවාදී දෘෂ්ටිකෝණයකින් ජීවිතය දෙස බලති.

කලාකාමී අදහස් ඇත. ප්‍රසිද්ධ ලේඛකයන් සහ කලාකරුවන්ගේ අත්වල එලෙස පිහිටා ඇත. තරබාරු ලෙස ඇඟිල්ල පිහිටා ඇති විට ඔවුන් නොයෙකුත් කර්මාන්තවලට දක්ෂය. තර්ක ඥානය සහ හොඳ කථිකත්වයක්ද හිමිය. වෙද ඇඟිල්ල දබරැඟිල්ලේ තරමට දික්වී ඇති විට ඔවුන් කලබලකාරී පැවතුම් සහිත අය වන අතර ඔවුන් දියුණු වන්නට සිහින මවන නමුත් ප්‍රතිඵල ලැබීම අසීරුය. කෙටි වෙද ඇඟිල්ලක් පිහිටියේ නම් ඔවුන් කලාකාමී අදහස්වලින් තොර උදාසීන සමාජයේ අපකීර්තියටද පත්වන්නෝය. එම ඇඟිල්ල මැද ඇඟිල්ලේ තරමට දික්වූ අය සූදු ක්‍රීඩාවට වඩා ලොල් වන අතර එයින් ජය ලැබීමටද සමත් වෙති.

දබරැඟිල්ලට වඩා වෙදැඟිල්ල උසස් පිහිටීමක් සමඟ රවි මණ්ඩලය උස්ව පිහිටීම ලොතරැයි වැනි දේවලින් හදිසි ධන ලාභ ලැබීමට හේතුවකි රවි මණ්ඩලයේ චතුරස්‍ර ලකුණක් වැටීම හැම බාධකයකින්ම ආරක්ෂාව සලසා දියුණුව මෙන්ම කීර්ති ප්‍රශංසා ලැබීමටද හේතු වේ.

වෙද ඇඟිල්ලේ පුරුක් තුනම සම්බන්ධ කරන රේඛාවක් වැටී ඇත්නම් ඔවුන් උගත් අය වේ. මුල් පුරුකේ අඩ සඳක් වැනි සලකුණක් පිහිටියේ නම් ඔවුන්ට කොතරම් වෙහෙසුණත් දියුණු විය නොහැකි වේ.

එම පුරුකේ පිහිටන කුරුසයකට සමාන ලකුණද අසුබය. ධනය විනාශ කර ගැනීමට එය හේතුවක් වෙයි. මැද පුරුකේ මුදු රේඛාවක් වැටී ඇත්නම් ඔහු හෝ ඇය මොන යම් ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත් වෙයි. වෙද ඇඟිල්ලේ අග පුරුකේ මුදු රේඛාවක් වැටීම බොහෝදෙනාට ප්‍රධාන වන අයෙකු වෙත පිහිටයි. එම පුරුකේම කතිර සලකුණක් ඇත්නම් ස්ත්‍රියක්නම් පිරිසිදු යහපත් චරිතයක් ඇති අයෙක්ය.

එමෙන්ම වෙද ඇඟිල්ලේ කුඩා සෘජු රේඛාද භාග්‍යවත් ලක්ෂණ වේ. ඇඟිලි දිග හැරිය විට වෙද ඇඟිල්ල හා සුලැඟිල්ල අතර පරතරයක් තිබීම හැම විටම යුතුකම් සලකන අයගේය. නිදහස් ක්‍රියා ඇත්තෙක් වන අතර ඔවුන්ගේ ජීවිතයේ මැද භාගයේදී භාග්‍යය උදා වේ. වෙද ඇඟිල්ල කෙළවර කෝණාකාර වීමද සුබ පල දෙන පිහිටීමකි. ඔවුහු නව නිර්මාණ බිහි කිරීමේ දක්ෂයෝ වෙති. කෙනෙකුගේ මුල් පුරුකේ පටන් අග පුරුක දක්වා විහිදී යන රේඛා කීපයක් වැටී ඇත්නම් ඔහු තම වස්තුව විනාශ කර ගනී. එය බොහෝ විට ස්ත්‍රීන් නිසා සිදු වෙයි.

කෙසේ වුවද ඕනෑම අයෙක් විවාහයේදී මංගල මුදුව පලඳින්නේ වෙද ඇඟිල්ලේය. හදවතත්, වෙද ඇඟිල්ලත් අතර සම්බන්ධතාවක් තිබෙන නිසා මෙම සිරිත පැරණි සිරිත් අනුව පැවත එන්නට ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

 

Comments