ග්‍රහ ලොව බුද්ධිමතා ජූලි 25 සිංහ රාශියට බුධ ආදිත්‍ය යෝගයෙන් ලග්න අටකට සුබ පල | Page 5 | සිළුමිණ

ග්‍රහ ලොව බුද්ධිමතා ජූලි 25 සිංහ රාශියට බුධ ආදිත්‍ය යෝගයෙන් ලග්න අටකට සුබ පල

ග්‍රහ ලොව බුද්ධිමතා ලෙස සැලකෙන බුධ ග්‍රහයා ජූලි 25 වැනිදා අලුයම 4.32ට සිංහ රාශිගත වීමෙන් නිර්මාණය වන බුධ ආදිත්‍ය යෝගය හේතු කොටගෙන ලග්න අටකට සුබ පල උදා කරන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. සෞම්‍ය ග්‍රහයකු වන බුධගේ බලපෑමෙන් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා හා ධනු ලග්න හිමියන්ට සුවිශේෂි සුබ පල උදා කරයි. එමෙන් ම කුම්භ, වෘශ්චික, මකර හා මීන ලග්න හිමියන්ට මිශ්‍ර පල ද එමඟින් උදා වෙයි.

2023 ජූලි 25 දින අලුයම 04.32ට එම බුධ තාරකාව රවි හිමි සිංහ රාශියට සම්ප්‍රාප්තව ඔක්තෝබර් 1 දක්වා සිය චලිතය පවත්වාගෙන යයි. එහිදී දීර්ඝ කාලයක් බුධ ගත කරන්නේ අගෝස්තු 25 සිට වක්‍ර ගමනකය. අගෝස්තු 17 දින රවි ද සිංහ රාශියට ගමන් කිරීමෙන් බුධ ආදිත්‍ය නම් යෝගය වඩාත් ප්‍රතිඵලදායක වන අතර එතැන් සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා උපදින දරුවන් බුද්ධි මට්ටමෙන් ඉතා උසස් වන අතර රාජ්‍ය අංශවල උදවු උපකාර මෙම යෝගය පවතින අයට හිමි වේ.

බුධ සිංහ රාශි ගතවූ විට රාජ්‍ය පාලනයෙහි දක්ෂයින් බිහි වේ. හිතේ එකඟතාවයෙන් වැඩ කටයුතු සැලසුම් කරයි. උද්‍යෝගිමත් දූරදර්ශී නුවණකින් කටයුතු කරයි. එනිසා මේ ග්‍රහ මාරුව සියල්ලන්ටම නැණ නුවණ මෙහෙයවා කටයුතු කිරීමට හැකි වාතාවරණයක් ඇති කරයි. අධ්‍යාපනික අංශවල ප්‍රගතියක් ඇති වේ. ලිපි ලේඛන කටයුතු කරන්නන්ට, මාධ්‍ය අංශවල අයට, ඉගෙන ගන්නා දරුවන්ට, තැපැල් විදුලි සංදේශ අංශවල අයට බුද්ධි මට්ටම යහපත් වේ. රැකියා අංශවලින් පල ප්‍රයෝජන ගත හැකි වේ. විවාහ සහ දරුපල ප්‍රමාද වූ අයට, විදේශ ගමන් අපේක්ෂා කළ අයට ඒවායේ සුබ පණිවුඩ ලැබෙන්නට පුළුවනි. ගණිත මිණිත කටයුතු, ජ්‍යොතිෂ කටයුතු ආදිය දැන ඉගෙන ගන්නට රවි බුධ යෝග යෙදුණු අයට හැකි වේ. ඒවායේ දියුණුවක් ඇති කරයි. මෙම ග්‍රහ මාරුව ලග්නයෙන් ලග්නයට බලපාන්නේ කෙසේදැයි විමසා බලමු.

මේෂ - 5 වැන්නට පිවිසෙන බැවින් නොයෙක් භාෂා ශාස්ත්‍ර ඉගෙනීමට යොමු වෙයි. ප්‍රියමනාප ගතියකින් කා සමඟත් සුහදශීලී වෙයි. විහිළු බස් දොඩවයි. නිදහස් මතධාරී බවක් පෙනෙන්නට ඇත. කෙසේ වුවද දියුණුවක් ඇති කරයි. දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම උසස් වෙයි.

වෘෂභ - වෙනස් නොකළ හැකි තද හිතක් ඇතිවේ. සිහි බුද්ධිය හොඳින් මෙහෙයවා කටයුතු කරන ගෙදර දොර, පදිංචි ස්ථානයේ දියුණුව සලසා ගනී. බුධ පිවිසෙන්නේ සිවුවැනි භාවයටයි. නිවස උසස් නිලධාරීන් ගැවසෙන ස්ථානයක් වේ. දියුණුවක් ඇති කරයි.

මිථුන - ඔබගේ ලග්නාධිපති වන බුධ පිවිසෙන්නේ වික්‍රමස්ථානය වන 3 වැන්නටයි. සහජ දක්ෂතා එළිදැක්වෙන ඇගැයීම්වලට ලක්වන කාලයකි. මෛත්‍රී සිතින් යුතුව අන්‍යයන්ට උදවු උපකාර කරයි. යහපත් ග්‍රහ මාරුවකි. ලිපි ලේඛන සුබවාදී පණිවුඩ ගෙන එයි.

කටක - බුධ ග්‍රහයා පැමිණෙන්නේ ඔබගේ දෙවැනි භාවයටයි. තමාට වාසි සහගත අයුරින් කතා කිරීමෙහි දක්ෂතාව ඇතිවේ. වාද විවාදවලට දක්ෂ වේ. ධනය උපයයි. බ්‍රෝකර් වැඩවලින් කොමිස් ලබයි. පිටරට සබඳතා ඇති කරයි.

සිංහ - ඔබගේ ලග්න භාවයට බුධගේ පැමිණීම කරන කියන වැඩ කටයුතු ක්‍රියාශූරත්වයෙන් කරයි. උසස් ගතිගුණ ඇති කරයි. අන්‍යයන්ට උපකාර කරයි. අන්‍යයන්ගේ රහස් එළි නොකරයි. දූරදර්ශී නුවණින් ධනය උපයයි.

කන්‍යා - ඔබගේ කේන්දරයේ 12 වැන්නට ලග්නාධිපති වන බුධ පිවිසීම විදේශ ගමන් සපල වීමට හැකි ග්‍රහ බලයක් මෙන්ම එසේ නොමැතිනම් දුර බැහැර ගමන් ඉගෙනීම සඳහා යෙදෙන බවක් පෙන්වයි. වියදම් අධික වන අතර නඩුහබවලට පැටළිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

තුලා - ඔබගේ කේන්දරයේ 11 වැන්න වූ අයස්ථානයට පිවිසෙන බුධ 9 වැන්න සහ 12 වැන්න අධිපති බැවින් විදෙස් ගමන් යෙදෙන්නටත් වන්දනා ගමන් යෙදෙන්නටත් පුළුවන. විදේශවල සිටින අයගෙන් උදවු උපකාර ලැබේ. යහපත් වූ දියුණුවක් ලබන කාලයකි. දරුවන්ගේ උසස් ඉගෙනීම දියුණු වේ.

වෘශ්චික - ඔබගේ රැකියා ස්ථානය වූ 10 වැන්නට පිවිසෙන බුධ සිහි නුවණින් කටයුතු කරන්නට ඔබට උපකාරී වේ. 8 වැන්න සහ 11 වැන්න අධිපති බැවින් ලාභ මෙන්ම තරමක අලාභ ද ඇති කරයි. ගනුදෙනු ලියකියවිලිවලදී කල්පනාකාරී වන්න.

ධනු - ඔබගේ කේන්දරයේ 7, 10 අධිපති ලෙස 9 වැන්නට පිවිසෙන බුධ නිසා ධර්ම කර්මාධිපති යෝගය ඇතිවීම සුබපල උදා කරයි. අභියෝග බාධක ඉදිරියේ ඔබගේ අරමුණු සිහි නුවණින් ඉටුකර ගැනීමට හැකි වේ.

මකර - ඔබගේ කේන්දරයේ 8 වැන්නට පිවිසෙන බුධ 6 වැන්න අධිපති බැවින් සරලා නම් යෝගය නිර්මාණය වේ. එහෙත් සුබ අසුබ මිශ්‍ර පල ඇති කරයි. කරන කියන වැඩ කටයුතු ඉතාම සිහි නුවණින් යුතුව කරන්න.

කුම්භ - ඔබගේ කේන්දරයේ 5 සහ 8 අධිපති 7 වැන්නට යාම මිශ්‍ර පල හිමි කර දෙයි. විවාහ දෝෂ සුළු වශයෙන් පැවතිය හැකියි. එසේ වුවද දුරදිග නොයයි. ව්‍යාපාර ලාභ ලබයි.

මීන - ඔබගේ 4 සහ 7 අධිපති 6 වැන්නට යාම මධ්‍යම පල උදා කරයි. ව්‍යාපාර අංශවල දියුණුව ඇති කරන අතර අසනීප ගති ඇතිවිය හැකියි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

සැමටම පොදුවේ කළ හැකි සෙත් ශාන්තියක් වන්නේ බදාදා, ඉරිදා, දවස් නිර්මාංශ වීමත්, කොහොඹ පැළයක් සිටුවා එයට සත්කාර කිරීමත්, කොහොඹ කොළ තැම්බූ ජලය ස්නානය සඳහා යොදා ගැනීමත් යනාදියයි. එමෙන්ම විෂ්ණු දෙවියන්ට පූජෝපහාර දැක්වීම, ඉරිදා දිනයේ උදේ මෝර පිරිත, සූර්ය පිරිත කීම සහ ශ්‍රවණය කිරීමත් රවි බුධ සංයෝගයට හොඳ ප්‍රතිකර්මයකි. රතනසූත්‍ර දේශනාව ද ඒ දිනවල රාත්‍රියට ශ්‍රවණය කිරීම වැදගත්ය. බදාදා සහ ඉරිදා දිනවල බෝධි පූජා පැවැත්වීම ද අපල දුරු කරයි. ඉගෙනගන්නා දරුවනට පොතපත තෑගි කිරීම කුඩා දරුවන්ගේ රැකවරණයට උදවු කිරීම සුබ පල ගෙන දී අපල දුරු කරයි.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී

ශ්‍රියා ගනේගොඩ

Comments