
රැකියාවේ ස්වභාවය උසස්වීම් පසුබැසීම් 10 වැන්නෙන් පැවසේ
රැකියාව ගැන කියන්නේ 10 වැන්නෙන්
මේ කාලයේ බොහෝ දෙනෙකුට විදේශගත වීමේ වාසනාවක් ඇත්තේ දැයි යන ප්‍රශ්නයට යහපත් පිළිතුරක් නොලැබෙන අවස්ථාවලදී, මෙරට හෝ රැකියාවක් ලැබේ දැයි කළ විමසුමකට තත්කාල කේන්දරයක් මඟින් පිළිතුරු ලබාගත් ආකාරය මෙසේය.
ජන්ම කේන්දරයේ මෙන්ම තත්කාල කේන්දරයක් මඟින්ද රැකියාවක් ගැන විශ්ලේෂණය කරන්නේ එහි 10 වැනි භාවයයි.
ජන්ම පත්‍රයක මෙන්ම තත්කාල කේන්දරයක 10 වැනි භාවය මඟින් රැකියාවක් ලබා ගැනීමේ හැකියාව මෙන්ම රැකියාවේ ස්වභාවයද, එහිදී ලබන උසස්වීම් මෙන්ම පසුබැසීම් පිළිබඳවද තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
මෙම තත්කාල කේන්දරයේ සඳු ග්‍රහයා 6 වැනි භාවය අධිපතිව 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම සඳු තැන්පත්ව සිටියේ කුජගේ නක්‍ෂත්‍රයකය, කුජ 3 වැනි සහ 10 වැනි භාව අධිපතිව 6 වැනි භාවයේ තැන්පත්ව සිටියි.
ඒ අනුව සඳු ප්‍රශ්නය පිළිබිඹු කර ඇත.
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව තත්කාල කේන්දරයේ 10 වැනි භාවය යෙදී ඇත්තේ කුජ හිමි රාශියක, ශනි හිමි නක්‍ෂත්‍රයක සහ රාහු හිමි උප ස්ථානයකය.
උප ස්ථානය අධිපති රාහු ග්‍රහයා 2 වැනි භාවයේ සහ කේතුගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. උප ස්ථානය අධිපති 2 වැනි භාව නිවේදක ග්‍රහයකු වන හෙයින් ප්‍රශ්නකරුට රැකියාවක් ලැබෙයි.
තත්කාල කේන්දරයේ 2 වැනි, 6 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ ඵලදායි නිවේදකත්වය ඇති දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ජන්මියාට රැකියාවක් ලබාගත හැකි වෙයි.
මෙම ග්‍රහයන්ගේ ඵලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන් තෝරා ගනිමු.
මෙම තත්කාල කේන්දරයේ රැකියාවක් ලබාගත හැකි කාලය සොයා ගැනීමට ජන්ම පත්‍රයේ 2, 6 සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන් බලන්න.
2 වැනි භාවය; භාවය අධිපති ගුරු ග්‍රහයාය. ගුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක බුධ ග්‍රහයා තැන්පත්ව සිටිති. මෙම 2 වැනි භාවයේ රාහු ග්‍රහයා තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල, රවි, ශනි සහ කේතු යන ග්‍රහයන් තැන්පත්ව සිටිති.
6 වැනි භාවය; භාවය අධිපති සඳු ග්‍රහයාය. සඳු ග්‍රහයාගේ නක්‍ෂත්‍රවල වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත. මෙම 6 වැනි භාවයේ සිකුරු සහ කුජ යන ග්‍රහයන් තැන්පත්ව ඇත. සිකුරු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක ගුරු ග්‍රහයාද කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සඳු ග්‍රහයාද තැන්පත්ව සිටිති.
10 වැනි භාවය; භාවය අධිපති කුජ ග්‍රහයාය. කුජ ග්‍රහයාගේ නක්‍ෂත්‍රයක සඳු ග්‍රහයා තැන්පත්ව සිටිති. මෙම භාවයේ වෙනත් ග්‍රහයන් තැන්පත්ව නැත.
මේ අනුව 2 වැනි, 6 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන් වන්නේ ගුරු, බුධ, රාහු, රවි, ශනි, සඳු සහ කේතු කුජ, රවි, ශනි සහ සඳු යන ග්‍රහයන් වෙති.
මෙම ග්‍රහයන්ගේ ඵලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන් තෝරා ගනිමු.
පාලක ග්‍රහයන්-ගුරු, ශනි, කුජ, බුධ සහ සඳු
පොදු ග්‍රහයන් - ගුරු, ශනි, කුජ, බුධ සහ සඳු
මෙම ඵලදායි නිවේදකත්වය ඇති ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට ප්‍රශ්නකරුට රැකියාවක් ලබාගත හැකි වෙයි.
ක්‍රිස්තු වර්ෂ 2020 අගෝස්තු මාසයේ 03 වැනි දින සිට 2027 අගෝස්තු මාසයේ 03 වැනි දින දක්වා කුජ ග්‍රහයාගේ මහ දශාවද,
ක්‍රිස්තු වර්ෂ 2022 දෙසැම්බර් මාසයේ 25 වැනි දින සිට 2024 පෙබරවාරි මාසයේ 03 වැනි දින දක්වා කුජ ග්‍රහයාගේ මහ දශාව සහ ශනිගේ භුක්තියද පවතියි.
ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 18 වැනි දින සිට 2023 ඔක්තෝබර් මාසයේ 11 වැනි දින දක්වා කුජ ග්‍රහයාගේ මහ දශාවේ සහ ශනිගේ භුක්තිය සහ කුජගේ අන්තරයද පවතියි. මෙම කාල සීමාව තුළ රවිගේ ගෝචර ගමන සිදුවන්නේ බුධ හිමි කන්‍යා රාශියේය.
ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 28 වැනි දින සිට 2023 ඔක්තෝබර් මාසයේ 11 වැනි දින දක්වා රවිගේ ගෝචර ගමන සිදුවන්නේ බුධ හිමි කන්‍යා රාශියේ සඳු හිමි නක්‍ෂත්‍රයකය. ක්‍රිස්තු වර්ෂ 2023 සැප්තැම්බර් මාසයේ 29 වැනි ගුරු දින සඳුගේ ගෝචර ගමන සිදුවන්නේ ගුරු හිමි මීන රාශියේ ශනි හිමි නක්‍ෂත්‍රයකය. එදින ප්‍රශ්නකරුගේ බලාපොරොත්තුව ඉටු වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා