අමෙරිකාව යුක්‍රේනයට ආයුධ සැපයීම ගැන චීනයෙන් ප්‍රතිචාර | Page 2 | සිළුමිණ

අමෙරිකාව යුක්‍රේනයට ආයුධ සැපයීම ගැන චීනයෙන් ප්‍රතිචාර

අමෙරිකාව යුක්‍රේනයට අවිආයුධ සපයමින් තවදුරටත් යුදමය තත්ත්වය උග්‍ර නොකළ යුතු බව චීනය කියාසිටී. 
 
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං ඊයේ (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවේ,  අමෙරිකාව යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ගෙන ඇති  තීරණය  පිළිබඳ අදහස් දක්වමිනි. එම තීරණය අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජැක් සුලිවන් විසින් ද තහවුරු කරනු ලැබ ඇත. 
 
අමෙරිකාවේ මෙම තීරණය, ජගත් ප්‍රජාවේ පොදු අවධානයට ලක් ව ඇති අතර, විවිධ රටවලින් ඊට දැඩි විරෝධතා එල්ල වී ඇතැයි ද මාඕ නිං මහත්මිය කියාසිටියාය.
 
අමෙරිකාව මෙලෙස වගකීම් විරහිතව පොකුරු බෝම්බ ලබාදීම මානුෂීය ප්‍රශ්න උද්ගත වීමට බලපාන බව චීනයේ විශ්වාසයයි. එසේම, මානුෂීය අවශ්‍යතා සහ විධිමත් යුද ආරක්ෂක අවශ්‍යතා සාධාරණ අයුරින් පාලනය කළ යුතු බවත්, අවිආයුධ ලබාදීමේ දී විචක්ෂණශීලීව සහ සංයමයෙන් ක්‍රියා කළ යුතු බවත් මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

Comments