තායි රාජකීය පවුලෙන් 'මුතු රාජා'ගේ ශ්‍රී ලංකා ඇත්ගොව්වාට තිළිණයක් | සිළුමිණ

තායි රාජකීය පවුලෙන් 'මුතු රාජා'ගේ ශ්‍රී ලංකා ඇත්ගොව්වාට තිළිණයක්

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් දැනට තායිලන්තයේ ලැම්පන්ග් පළාතේ දින 30ක නිරෝධායනයට ලක්ව සිටින 'සක් සූරීන්' හෙවත් 'මුතු රාජා' නමැති රෝගී හස්තියා  රැක බලාගත් ශ්‍රී ලංකා ඇත්ගොව්වාට තායිලන්ත රජු සහ රැජින විසින් තිළිණයක් ප්‍රදානය කර තිබේ. 
 
තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා පසුගිය ජුලි 02 වැනිදා යළි ගුවන් මගින් තායිලන්තය බලා රැගෙන යන ලදි.
 
ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයේ ඇත්ගොව්වා වන දොන් උපුල් ජයරත්න දෙනෙල්පිටියගේ වෙත ත්‍යාගය පිරිනැමීමට රජුගේ නියෝජ්‍ය පෞද්ගලික ලේකම් එයාර් මාර්ෂල් පක්ඩී සෙන්චුටෝ බ්‍රහස්පතින්දා රජතුමා නියෝජනය කරමින් මෙලෙස තිළිණයක් ප්‍රදානය කර ඇත. 
 
තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටින සක් සූරීන් රැකබලා ගැනීම සඳහා දෙනෙල්පිටියගේ මහතා ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට ගොස් තිබුණි. 
 
30 හැවිරිදි සක් සූරීන් හස්තියා රැකබලා ගැනීමට සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුව තායිලන්තයට ගෙන ඒමට එරට ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශයට බාට් මිලියන 19 ක් පමණ වැය වී ඇතැයි සදහන් කෙරේ. 
 
 'මුතු රාජා' විශේෂ ආගමික වතාවත්වලදී බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කිරීම සඳහා අලි ඇතුන් එවන ලෙස තායි රජයෙන් ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමකට අනුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තායිලන්තය ශ්‍රී ලංකාවට එවන ලද ඇතුන් තිදෙනාගෙන් කෙනෙකි.
 

Comments