
- අපේ අච්චාරු ආසියාවේ ප්‍රමුඛතම වීදි ආහාරය ලෙස CNN වාර්තාවක්
- අච්චාරු හදන්නත් විකුණන්නත් තැනක් ආණ්ඩුවෙන් ඉල්ලයි
- අඹ, අන්නාසි, වෙරළු, ලොවි, ඇඹරැල්ලා, ජම්බු වගේම කාමරංගා
ඉස්සර නම් හන්දියක් ගානේ හිටියේ වැලි දැමූ තාච්චියක් භූමිතෙල් ලිපෙන් රත්කර රටකජු බදින වෙළෙන්දන්ය. ඒත් අද හන්දිවල රටකජු බදින කරත්ත ඇත්තේ කලාතුරකිනි. දැන් රටකජු වෙළෙන්දන් කරන්නේ කොම්පැනිවල හදන විවිධ වර්ගයේ රටකජු සෝකේස්වලට අසුරා විකිණීමය. ඒ කියන්නේ අද රටකජු බිස්නස් එක මෙහෙයවන්නේ ව්‍යාපාරික ආයතන විසිනි. රටකජුවලට අත්වූ ඉරණම දැන් කොළඹ 'අච්චාරු' කරත්තවලටත් උදාවී ඇති බව අපට පසුගියදා කොලොම්පුරේ කරක් ගහන විට ඒත්තු යන්නට විය. මේ කොළඹ අච්චාරු සංවිධානාත්මකව සාදා බෙදාහරින ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ දශක දෙකකටත් එහා බව ඇසූ අප මවිතයට පත්වුණෙමු.
කොලොම්පුරේ මේ අච්චාරු ව්‍යාපාරය වසර 21කට පෙර ආරම්භ කොට ඇත්තේ 'නානා' නමැත්තකු විසිනි. ඔහු මුස්ලිම් ජාතිකයකු බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. දැන් මේ ව්‍යාපාරය මෙහෙයවන්නේ නියාස් නානා විසිනි. මේ දිනවල ඔහු සිටින්නේ මැලේසියාවේය. මුළුමනින්ම මුස්ලිම් ජාතිකයන්ගේ ව්‍යාපාරයක් වන මෙම ආයතනයේ සිටින එකම සිංහලයා සම්පත් ශ්‍රී මායාදුන්නයි. නියාස් නානා වෙනුවෙන් දැන් 'අච්චාරු' ව්‍යාපාරයේ වැඩ මෙහෙයවන්නේ සම්පත් විසිනි.
නියාස් නානා මැලේසියාවට මඳ කලකට ගිය පසු මේ අච්චාරු ව්‍යාපාරයේ පෙරමුණට ඇවිත් ඇත්තේ සුමනාවතී මල්ලිකාරච්චිය.
“මම මේ ව්‍යාපාරේ පටන් අරන් අවුරුදු 15කට වැඩියි. අපිට ආණ්ඩුවෙන් සහයෝගයක් දෙනවා නම් මේක සංචාරකයෝ ගෙන්න ගන්න ඉල්ලමක්.”
දැන් සුමනාවතීගේ මේ අච්චාරු ව්‍යාපාරය මෙහෙයවන්නේ නිජාබ් විසිනි. සියලු ගිණුම් කටයුතු මෙහෙයවන්නේ ඉනෝකා විසිනි. කවුරුත් ඇයට කිව්වේ 'ලියන නෝනා' කියාය. නිජාබ් කියන්නේ කොරෝනාවට පෙර තරුපහේ හෝටල්වලට ද තමන් අච්චාරු සැපයූ බවය.
“අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ එක දෙයයි. අපට අච්චාරු නිෂ්පාදනය කරන්න ස්ථිර තැනක් ගෙවන්න දෙන්න. ඒ වගේම කොළඹ අපේ වෙෙළඳාම කරගෙන යන්න තැනක් දෙනවා නම් සෑහෙන පිරිසකට රස්සා දෙන්න පුළුවන්.”
නිජාබ් කියන්නේ තමන් 365 දවසෙම අච්චාරු නිෂ්පාදනය කරන බවය. කොරෝනාවට පෙර පාසල්වල කැන්ටින්වලට ද වෙනමම අච්චාරු නිෂ්පාදනය කොට ඇත. ලුම්බිණි විදුහල, විශාඛා, මියුසියස්, දේවි බාලිකා වැනි විදුහල් ඒ අතරින් දැවැන්තම ගැනුම්කරුවන් වී ඇත.
“උදේට වැස්ස වගේ ආවොත් අච්චාරු හදන්නේ අඩුවෙන්. අපි අච්චාරු හදන්න පටන් ගන්නේ උදේ 3ට" සුමනාවතී අපට කීවාය.
නිජාබ් කියන්නේ පෑලියගොඩ එළවළු මාර්කට් එකෙන් උවමනා පලතුරු ගේන්නේ උදේ තුනටත් පෙර බවය.
“ගාණ කීයට වැඩිවුණත් දිවුල්, අන්නාසි, අඹ, වෙරළු ගේනවාමයි. ඒ හතර නැතුව වෙන මොන අච්චාරු හැදුවත් වැඩක් නෑ. බඩු යන්නේ නැහැ.”
උදේ හතට අච්චාරු හදන්නට සිටින කෝකියන් ගණන පහළොවකට අධිකය. මේ අච්චාරු සඳහා භාවිත කරන පලතුරු වර්ගවලින් සමහර ඒවා කොලොම්පුරේ දකින්නටත් නැති දුරබැහැරින් පෑලියගොඩ තොග වෙළෙඳපළට ගෙන එන ඒවාය. කලින් කියූ දිවුල්, අන්නාසි, අඹ, වෙරළුවලට අමතරව ජම්බු, පේර, ලොවි, නෙල්ලි ඒ අතර ඇත.
“දැන් මේ අච්චාරුවලට අලුතින්ම එකතු වුණේ කාමරංගා අච්චාරු. ඩයබිටික් තියෙන අය ඇවිල්ල ඉස්සෙල්ලම ඉල්ලන්නේ කාමරංගා අච්චාරු.”
මේ අච්චාරු රබර් කිරි දාන තැටි වැනි සුදු යකඩ තැටිවල දමා ලස්සනට විකුණන්නට තිබුණත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය දැවැන්ත යන්ත්‍රණයකි.
“මොකද සුදු යකඩ තැටිවල අච්චාරු දාන්නේ අච්චාරුවල විනාකිරිවලට ඇලජික් වෙයි කියලද?"
“නෑ නෑ අපි කිසිම අච්චාරු වර්ගයකට විනාකිරි දාන්නේ නෑ. අජිනමොටෝ දාන්නෙත් නැහැ!”
උදේ තුනට පටන්ගන්න අච්චාරු හැදීමේ සටන ආරම්භ වන්නේ ගෙනා පලතුරු මුලින්ම වතුරෙන් සෝදා ගැනීමෙන්ය. අච්චාරු හැදීමට ප්‍රථම අඹ, වෙරළු, ඇඹරැල්ලා වැනි පලතුරු තඩි කල්දේරම්වල දමා රත්කරනු ලැබේ.
අපි සාමාන්‍යයෙන් දැක ඇති කොළපාට වෙරළුවලට අමතරව නිල්පැහැති වෙරළුත් ඒ අතර විය.
“ඔය නිල් වෙරළු, නැට්ට ටිකක් ඝනකමයි. නැට්ටත් එක්ක කිරන නිසා ගාන වැඩියි. කලාතුරකින් එන්නේ.”
මෙම ඇතැම් පලතුරු ලෙලි ගැසීමට පිහි අමෝරාගෙනම සිටින පිරිස 5 දෙනකුට වැඩිය. ඊටත් පසු කොටස්වලට කපන පිරිස මැෂිමකටත් වඩා වේගවත්ය. අන්නාසි පොත්ත ඉවත්කරන පිරිස ඒ වැඩේ කරන්නේ හරියට ස්ටිකරයක් ගලවනවා වාගේය. දිවුල් සම්බල හදන්නේ පොල් ගෙඩියක් මෙන් හිරමනයෙන් ගෑමෙන් පසුවය. එමෙන්ම මේ අච්චාරු අතරින් සැකසීමට තද වෙහෙසක් දැරිය යුත්තේ දිවුල් සම්බෝලයයි. මුලින්ම හිරමනයේ ගාගත් දිවුල් සම්බලය බේසමකට දමා එයට ලුණු සහ වතුර දමා මිරිකා වෙන්කිරීම හිතන තරම් පහසු කටයුත්තක් නොවන බව අපට පැහැදිලි විය.
හෝටලයක නැඟීම සහ බැසීම යන දෙකේම තීරණාත්මක සාධකය වන්නේ කෝකියාය. මෙතැනත් පලතුරු තම්බන්න, ලෙලි ගහන්න, කපන්න ඕනෑතරම් අය හිටියත් අච්චාරුව සකසන ප්‍රධාන කෝකියකු සිටී.
“මේ අච්චාරුවලට දාන්නේ මිරිස්, ගම්මිරිස්, සීනි, ලුණු විතරයි. පදම දන්නේ කෝකියා තමයි. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි පැණි දාන එක. හොඳම කිතුල්පැණි දැම්මොත් අච්චාරු පොඩි කප් එකක් රුපියල් 500කටවත් විකුණන්න වෙනවා.”
මේ අච්චාරු ෂොපිින් බෑග්වලට දෙන්නේ නැත. යෝගට් කෝප්ප මෙන් දෙගුණයක් විශාල අච්චාරු කප් එකක මිල රු. 200/=කි. ඊට දෙගුණයක් විශාල අච්චාරු කප් එක රු.400/=කි. උදේ තුනේ සිට හදන අච්චාරු කොපමණ කල් තබාගත හැකිද යන පැනය ඊළඟට අපට පැන නැඟුණි.
“අතින් කාලා ඉතුරු කළොත් ඉතුරු ටික දවසෙන් ඉඳුල් ගෑවිලා නිසා කුණු වෙනවා. ටූත් පික් එකක් හරි ගෑරප්පුවකින් කෑවොත් ෆ්‍රිජ් එකේ දැම්මොත් සුමානයක් වුණත් තියාගන්න පුළුවන්.”
මෙම අච්චාරු ව්‍යාපාරය සඳහා පෑලියගොඩ මාකට් එකෙන් පලතුරු මිලදී ගන්නා බව කීවත් ඍජුවම ගමේ සිට පලතුරු බඩි ලොරිවල මෙන්ම ත්‍රිරෝද රථවලින් පවටා ගෙනෙන බව අපට දැකගත හැකි විය.
අච්චාරු සැකසීමෙන් පසු ඒවා වෙන් වෙන්ව තැටිවලට දමනු ලැබේ. ඉන්පසු එම තැටි එකින් එක අච්චාරු කරත්තයට අඩුක් කෙරේ. මෝටර් සයිකලේ රෝද තුනකින් සමන්විත කරත්තය තට්ටුව වටා සෝකේස් එකක් මෙන් වීදුරු දමා ඇත්තේ දූවිල්ල නොවදින ලෙසය. මෙසේ අච්චාරු අලෙවියට සැකසූ කරත්ත ගණන අටකටත් වැඩිය. කොළඹින් පිට අච්චාරු වෙළෙන්දන් පැමිණ ලීටර් 20 පමණ බාස්කට්වලට තොග මිලට අච්චාරු මිලදී ගන්නවා ද අපට දැකගත හැකි විය.
මේ අච්චාරු ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙළඳපළ වී ඇත්තේ පිටකොටුව, මරදාන, බොරැල්ල, කොටහේන, ගෝල්ෆේස් වැනි ස්ථානයි. පාසල් නිමාවන විට ආසන්නම පාසල ළඟට අච්චාරු කරත්තය තල්ලුකොට ගෙන යාම අලෙවියේ නියුතු සේවකයන්ගේ සිරිතය. මේ අච්චාරු නිෂ්පාදනය කරන තැන සිට දිනපතා කිලෝමීටර පහකටත් වඩා කරත්තය තල්ලු කරගෙන යාමට අච්චාරු අලෙවියේ නියුතු සේවකයන්ට සිදු වේ.
මේ අච්චාරු කරත්ත අතරත් අපගේ නිරීක්ෂණයට ලක්වූ ප්‍රධාන තැනක් වූයේ පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේ පළමු හරස්වීදිය ළඟ අච්චාරු කරත්තයයි. එහි අච්චාරු අලෙවියේ නියුතුව සිටියේ ඉමිතියාස්ය. අප ඔහුගේ අච්චාරු කරත්තයේ පින්තූර ගනිත්දී සිතාගත නොහැකි තරම් පිරිසක් අච්චාරු මිලදී ගන්නට ඔහු වටකර ගතතේය. අපි ටිකක් සෙනඟ අඩු වෙනතුරු බලා හිඳ ඉමිතියාස් සමඟ කතාබහට එක්වුණෙමු.
“ඇයි හැමදාම කිලෝමීටර හයහතක් මේ කරත්තේ තල්ලු කරන් එන්නේ. මේ හරියේ රෑට කරත්තේ නවත්තන්න තැනක් නැද්ද?”
“අපෝ එහෙම බෑ ට්‍රැෆික් වුණොත් පොලිසියෙන් එලවනවා. සමහරුන්ව උසාවිත් දානවා. පාකිං කඩන නිසා පොඩ්ඩක් එහා මෙහාට ගන්නවා. ඔය නට්ටාමිලාට කයි කරත්ත කුලියට දෙනවා වගේ දැන් මේ අච්චාරු කරත්තත් කුලියට ගන්න තියෙනවා. ඒ හින්ද හවසට කරත්තේ බාර දෙන්න ඕන. නැතිනම් ඩිපොසිට් එකෙන් කපනවා.”
ඉමිතියාස් කියන පරිදි අච්චාරු කරත්ත අටක් කොළඹ තැන් අටක තිබ්බොත් වැඩියෙන්ම විකිණෙන අච්චාරු වර්ගය එකකට එකක් වෙනස්ය. ඉමිතියාස් අච්චාරු විකුණන්නේ අවුරුදු 12කටත් වඩා කලින් සිටය.
අපි මේ අච්චාරු කරත්තේ අච්චාරු මිලදී ගන්නා අය අතරින් 80%කටත් වඩා වැඩිපුරම දැක්කේ කාන්තාවන්ය. ඒ අතර මුස්ලිම් කාන්තාවන් ද දැකගත හැකි විය.
“ගෑනු කොහොමත් ඇඹුල් කන්න ආසයිනේ.” ඉමිතියාස් අප සමඟ කිව්වේය.
“සමහර මහත්තයල නෝනට දොළදුකට කියලා බිලිං අච්චාරු, නමිනං අච්චාරු වගේ ඒවා ඕඩර් කරනවා. කීයයි කිව්වත් සල්ලිත් ගෙවලයි යන්නේ.”
ඉමිතියාස් කියන පරිදි අච්චාරු අලෙවියේදී සේවකයාට ගෙවන ක්‍රම 2ක් ඇත. ඉන් එක් ක්‍රමයක් නම් අච්චාරු අලෙවියෙන් පසු කොමිස් මුදලක් ලැබෙන ක්‍රමයකි. මෙම අච්චාරු කරත්ත කොළඹට ඇදී එන්නේ උදේ දහයෙන් පසුවීම විශේෂත්වයකි.
“හවස හය වෙන්න කලින් ලෝඩ් එක විකුණගත්තොත් හත්දහකට වැඩි කොමිස් එකක් ගන්න පුළුවන්. පඩියට වැඩ කරනවා නම් දවසකට රු. 3500/=ක්වත් කෑම බීම එක්ක නොදුන්නොත් මේ ගිනි කාෂ්ටක අව්වේ කරවෙන්න කවුරුත් එන්නේ නෑ. හැබැයි එතකොට ටාගට් එකක් තියෙනවා. රෑ අට වෙනකම් හරි විකුණන්නම වෙනවා.”
පසුගිය වසරේ කොළඹ street food festival පවත්වා ඇත්තේ චැතම් වීදියත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයත් අතර ලන්දේසි රෝහල අසල වීදියේය. මෙවර එහි කොළඹ අච්චාරු වෙළෙන්දන් ද සිටීම සංචාරකයන්ගේ වඩාත් සිත්ගත් අංගයක් වී ඇත.
සී.එන්.එන්. පුවත් සේවයේ ගියා ආසියාවේ හොඳම වීදි ආහාර ලැයිස්තුවේ මුල්ම අයිතම් පනහේ මුලින්ම ඉන්නේ අපේ අච්චාරු කියලා. ඒෙක ලංකාවේ ආප්පෙට තිබුණේ 16 වැනි තැන." නිජාබ් සහ සුමනාවතී අපට කිව්වේ අපේ මේ අච්චාරුවලට ලැබුණ ලෝක පිළිගැනීම ගැනය.
“ඒ හින්දයි අපි කියන්නේ මේ කර්මාන්තය දියුණු කරගන්න අපේ වෙළෙඳාමට සංචාරකයන්ට එන්න පුළුවන් තැනක් හදල දෙන්න කියලා. අපිට මේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න ගාස්තුවක් අය කරල තැනක් දෙන්න කියලයි අපි කියන්නේ. සී.එන්.එන්. එක වර්ණනා කරල තිබ්බේ ලංකාවේ අච්චාරුවලින් එන්නේ දිව්‍යමය රසයක් කියලා. ඉතින් ඒකම මදිද අපේ ව්‍යාපාරේ දියුණු කරගන්න ආණ්ඩුවට උදව් කරන්න.”
“මිරිස් දාපු අච්චාරු නම් රතුපාටට දැක්කම සුද්දො ඩයිනමයිට් කියල අහක බලාගන්නවා. ස්විට් අච්චාරු තමයි සීනිදාලා ඉල්ලන්නේ. ගම්මිරිස් දාපු ජම්බු වගේම අන්නසි අච්චාරුවලට සුද්දෝ ආසයි.”
අපට දැනගත හැකි වූයේ තරුපහේ හෝටල්වල නවතින විදේශිකයන් පවා තමන්ගේ කාමරවලට අච්චාරු ගෙන්වාගන්නා බවය.
“කොරෝනාවට කලින් කිංස්බරි, හිල්ටන් එකට, සිනමන්ග්‍රෑන්ඩ් වගේ හෝටල්වලටත් අපි අච්චාරු දැම්මා. ඌබර්, පික්මී ඕඩර් කළාම ඇවිල්ල බයිසිකල්වල ගෙනියනවා. සමහර සුද්දෝ රට යනකෙට ගෙනියන්න කියලා ගන්නවා. සුද්දෝ වැඩියෙන්ම ගන්න බයිට් එක ගම්මිරිස් කුඩු දාපු ඇඹරැල්ලා අච්චාරුව.”
කලකට ඉහත නම් අඹ හෝ අන්නාසි ආදි එක් අච්චාරු වර්ගයක් විකුණන වෙළෙන්දන් ඕනෑ තරම් කොළඹ දැකගත හැකි විය. එහෙත් මේ අච්චාරු නිෂ්පාදන කොම්පැනියත් සමඟ එවැනි සුළු අච්චාරු වෙළෙන්දන්ට හතේ හත වැදී ඇත. ඊට හේතුව මේ අච්චාරු කරත්තයක අච්චාරු වර්ග 10ක් පමණ දැකගත හැකිවීමයි. බොහෝදෙනා ඉල්ලන්නේ Assoted Cup එකය. ඒ කියන්නේ අච්චාරු වර්ග 10ම මඳ පමණින් කප්එකට දැමීමය. අප බලා සිටියදී වැඩිම අලෙවියක් තිබුණේ දිවුල් සම්බෝලය හා වෙරළු අච්චාරුවලටය. අඩුවෙන්ම විකිණෙන්නේ ජම්බු අච්චාරුය. අච්චාරු කරත්තවල බිස්නස්වලට හෙනහුරා පාත්වන්නේ වැහිදාටය.
“වැහිදාට අච්චාරු විකිණෙන්නෙම නෑ. දවසම වැස්සොත් ඔක්කොම ඉතුරු වෙනවා. මොන හේතුවක් හින්දද මන්ද වැස්සට මිනිස්සු අච්චාරු ගන්නෙම නෑ. ගෝල්ෆේස් අරගලය කාලේ අපේ අච්චාරු කරත්ත 4ක් පැය 24ම බිස්නස් තිබුණා.”
මේ අච්චාරු කරත්ත ඔක්කොම එක සමානය. කොළඹ අච්චාරු වෙළඳාම යැපීම් මට්ටමේ ස්වයං රැකියාවක් යන තත්ත්වයෙන් මිදී 'කොම්පැනිකරණයට' ලක්වී ඇති බවට එය කදිම සාක්ෂියක් වනු නියතය.
අපේ රටේ බොහෝ ව්‍යාපාරිකයන් තවත් සාර්ථක ව්‍යාපාරිකයකු කොපි කරන්නට පුදුම වැඩකාරයන්ය. කොමියුනිකේෂන් එකක් තැනක හරිගිය විට ඊට පස්සේ ඒ පාරේ දිගටම කොමියුනිකේෂන්ය. මාතර බත් කඩයක් පාරක හරි ගියවිට ඒ පාරේ මාතර බත් කඩ ඇරෙන්නේ බලා සිටිද්දීය. පිළියන්දල බයිපාස් පාරේ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර පෝක් කරි සමඟ පොල්රොටී බිස්නස් එක පටන්ගෙන මසක් තුළදී එවැනි කඩ 20කට වඩා විවෘත විය. මේ ලිපිය කියවා දිගට හරහට අච්චාරු කොම්පැනි බිහි නොවේවායි අප පතන්නේ ඒ ව්‍යාපාරය ඔය හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව සියැසින්ම දුටු නිසාමය.
ඡායාරූප - ගයාන් පුෂ්පික