
- සක්සුරීන් කියන්නේ ප්‍රාන්තයේ ආඩම්බරය
- තායිලන්ත මවු රැජනට සිටි ලස්සනම ඇතා
- මුතුරාජා ලංකාවට ලබා ගත්තේ වසර දෙකක් වෙහෙසිලා
- මුතුරාජාත් කණ්ඩුලත් තායිලන්තයේ සර්කස් පෙන්නලා
කෙනෙක් තවකෙකුට දුන් තෑග්ගක් නැවත ගන්නේ හෝ ඉල්ලන්නේ නැත. නමුත් එසේ ඉල්ලන අවස්ථා ද සමාජයේ නැත්තේම නැත. යම් කෙනෙක් තෑග්ගකට දුන් දෙයක් නැවත ඉල්ලන්නේ නම් එය ලොකු සිත් රීදීමකින් හෝ තරහකින් සිදු වූවකි. පසුගියදා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දුන් තෑග්ගක් නැවත ලබා ගත්තේ අප රටට යම් අපකීර්තියක් ඇති කරමිනි. නැවත් ඉල්ලා ගත් මේ තෑග්ග ද එසේ මෙසේ තෑග්ගක් නොවේ. තෑග්ග සද්ධන්ත හස්තියෙකි. මීට වසර 22 කට පෙර තායිලන්ත රජයෙන් ලංකාවට ‘සක් සුරීන්‘ හස්තියා හෙවත් ‘මුතුරාජා‘ ලැබුණේ රාජ්‍ය තාන්ත්‍රිකව ලංකාවට පිරිනැමූ තෑග්ගක් වශයෙනි.
‘සක් සුරීන් ‘ යනු ප්‍රාන්තයේ ආඩම්බරය යන තේරුම දෙන්නකි. සරලව කිවහොත් තායිලන්තයේ ආඩම්බරයයි. ‘සක් සුරීන්‘ යනු තායිලන්ත මවු රැජිණට සිටි ලස්සනම ඇතාය. ලංකාවට ඇතකු පරිත්‍යාග කිරීමට අවශ්‍ය වූ විටදී පරිත්‍යාග කළේ තායිලන්ත මවු රැජිණට සිටි ලස්සනම ඇත් පැටවුන් වූ ‘සක් සුරීන්‘ හා ‘කණ්ඩුල‘ය.
මුතුරාජා ලංකාවට ගෙන ඒමේ කතා පුවත ද අපූරුය. මුතුරාජා හා කණ්ඩුල ලංකාවට ලබා ගන්නට ලංකා රජයට දිගු වෙහෙසක් දරන්නට සිදුවූ බව එදා මේ කටයුත්තට සම්බන්ධව සිටි එවකට හිටපු ගම්පහ දිසා ලේකම් තිලක් හපන්ගම පවසයි. එවකට කැළණි විහාරයේ නායක හිමියන් විසින් හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් ඉල්ලීමක් කරන්නේ ලංකාවට ඇත් පැටවකු ලබා දෙන ලෙසයි. මේ සඳහා ලංකා රජයට වසර දෙකකටත් වැඩි කාලයක් කැප කිරීම් කරන්නට සිදුව ඇත්තේ විවිධ බාධා මතුවීම නිසාය. ඒ වන විට තායිලන්තයෙන් ඉන්දුනීසියාවට ලබා දුන් ඇතෙක් මිය ගොස් තිබීම ඊට ප්‍රධානම බාධාවක් වී තිබුණි. මේ හේතුව මත තායිලන්ත රජය තීරණය කර තිබුණේ කිසිදු රටකට යළිත් අලි ඇතුන් ලබා නෙදෙන බවය. නමුත් හිටපු ජනාධිපතිනිය වසර දෙකක් වැනි දීර්ඝ කාලයක් දෙරට අතර ලිපි හුවමාරු කිරීමෙන් පසුව ලංකාවට ඇත් පැටවකු ලබා ගැනීමට තායිලන්ත රජය කැමැති කරවා ගත්තාය. නමුත් මේ අතරේ තායිලන්ත රජුගේ මවු රැජිණ මියයාම නිසා යළිත් ඇත්තු ලබා ගැනීමේ කර්තව්‍ය ප්‍රමාද වී ඇත්තේය. ඇතා විදේශ රටකට ලබා දීමට තායිලන්ත රජු අත්සන් කළ යුතු වෙයි. අවසානයේ තායිලන්ත රජුගේ අත්සනින් පසුව මේ සුන්දර සක් සුරීන් හා කණ්ඩුල ඇත් පැටවුන් ලංකාවට ලැබුණි.
“තායිලන්තයෙන් ලැබුණු මේ සුන්දර ඇත් පැටවු දෙන්නාගෙන් එක් අයකු වන කණ්ඩුල කැළණි පන්සලටත්, මුතුරාජා රජයේ කැමැත්ත පරිදි කන්දේ විහාරයටත් ලබා දුන්නා. ඒ කාලයේ මේ දෙන්නා තායිලන්තයේ සර්කස් පෙන්නන්න ගෙනියන පැටවු දෙන්නෙක්. ඒ වෙනකොට වයස අවුරුදු පහක්. කණ්ඩුලත් දවස් ගණන් කැළණි පන්සලේ සර්කස් පෙන්න පෙන්න හිටියා. “ඒ එවකට හිටපු ගම්පහ දිසා ලේකම් තිලක් හපන්ගමගේ මතකයයි.
මේ ‘සක් සුරීන්‘ තායිලන්ත වැසියන්ට මහර්ඝ සම්පතකි. ‘සක් සුරීන්‘හෙවත් පසුව නම් වෙනස් වූ ‘මුුතුරාජා‘ ගියේ අලුත්ගම කන්ද විහාරයටය. ඒ 2001 වසරේදීය. උසින් අඩි 09ක් පමණ හා වයස අවුරුදු 25ක් වු මුතුරාජා මෙරට සිටින දිගම දල යුගලයට හිමිකම් කියන හස්තිරාජයෙකි. ‘සක්සුරීන්‘ සමඟ ලංකාවට ලැබුණු ‘කණ්ඩුල‘ දැන් කැළණි විහාරයේ ය. තායිලන්තයෙන් ලැබුණු තවත් හස්තියකු වන ‘තායිරාජා‘ දැන් ඉන්නේ දළදා මාළිගාවේ ය.
2001 සිට අලුත්ගම කන්ද විහාරය මුතු රාජාගේ නිවහන වුව ද මුතු රාජාට මේ නිවහන සුවදායි සුන්දර පරිසරයක් නොවුණු බව පරිසරවේදීන්ගේ චෝදනාව විය. විශේෂයෙන්ම සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් වන රෙයා ශ්‍රී ලංකා ආයතනය නිරන්තරයෙන්ම මේ මුතුරාජා ගැන කතා කරන්නට හඬ අවදි කරන්නට වූයේ මුතුරාජා හස්තියා කිසිදු සැප පහසුවක් නොලැබ දුක් විඳින බව පවසමිනි.
අවසානයේ මේ හඬ ජාත්‍යන්තරය දක්වා ද විහිදුණු අතර, පසුගිය ජූලි දෙවැනිදා තායිලන්ත රජය තීරණය කළේ දුන් තෑග්ග නැවතත් ආපසු ලබා ගන්නටය. අලි ඇතුන්ට මහත් සේ ආදර කරුණාවක් දක්වන තායිලන්න රජය මුතුරජා වෙනුවෙන් ලංකාවේ මුදලින් රුපියල් මිලියන 170 කට වඩා වැය කරමින් (කෝටි 17ක්) විශේෂිත ගුවන් යානාවක් හා සේවක මඬුල්ලක් ලංකාවට එවා මේ හස්තියා නැවතත් සිය මවු රටට ගෙන යාමට තරම් නිර්භීත විය. පැය 5 ක ගුවන් ගමනකින් අනතුරුව ඇතා රැගත් යානය ගොඩ බැස්ස වූයේ බැංකොක් නුවර ‘චියැං මායි‘ ගුවන්තොටටය.
මේ මොහොත වන විටත් මුතුරාජා තායිලන්තයේ ලම්පාන්ග් ප්‍රාන්තයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර තිබේ.
මුතුරාජා වඩා උද්‍යා්ගීමත් ස්වභාවයක් පෙන්නුම් කරන බවත්, මුතුරාජාගේ ඇසක සුද මතුවී ඇති අතර, ඉදිරිපස වම් පාදය නැවීමට නොහැකි බවත් එරටදී සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. ඊට අමතරව පිටකොන්දේ ආසාදිත තුවාල සහිත බවත්, පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවත් හඳුනාගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් මුතුරාජා ශ්‍රී ලංකාවෙන් ගෙන යාමට පැමිණි පශු වෛද්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වෛද්‍යවරයා මුහුණු පොතේ සටහනක් කර තිබුණේ මුතුරාජා මෙරටින් රැගෙන යන අවස්ථාව වන විට තිබූ සැරව ගෙඩි 90% ක් පමණ සුව අතට පත්කර තිබූ බවය.
මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබාදෙතැයි ලංකාවේ අය අපේක්ෂා කළත් එරට ස්වභාවික සම්පත් හා පරිසර ඇමැති වාරාවුත් සිල්පා අර්චා පවසා ඇත්තේ යළි මේ තෑග්ග ශ්‍රී ලංකාවට ලබා නොදෙන බවයි. විශ්වාසය එතරම්ම පළුදු වී ඇත්ද? එරට පරිසර ඇමැතිවරයා එසේ පවසා ඇත්තේ මෙරට නායක ස්වාමීන් වහන්සේ නමක් හස්තියා යළි ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි. ඇමැතිවරයා පවසා ඇත්තේ මුතුරාජා නැතහොත් සක්සුරින් නැවතත් තායි රජුගේ භාරයට ගෙන ඇති හෙයින් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම පලක් නොමැති බවය.
මේ අතර තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුව තිබේ. ඒ තායිරාජා හා කණ්ඩුල ය.
එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තායිලන්තයේ පශු වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිතය.
මුතුරාජට අසාධාරණයක් සිදුවන බව මුල සිට අවසානය දක්වා හඬ නැඟුවේ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් වන රෙයා ශ්‍රී ලංකා ආයතනයයි. 2019 වසරේ අග සිට මේ ඇත් සටනට පණ දුන් ආකාරය සිළුමිණට හෙළි කළේ එම සංවිධානයේ අධ්‍යක්ෂිකා පංචාලි පනාපිටියයි.
“2019 වසරේ අග හා 2020 වසරේ මුල අපේ රෙයා ශ්‍රී ලංකා ෆේස් බුක් පිටුවට ගොඩාක් ඉන්බොක්ස් පණ්විඩ ලැබෙන්න ගත්තා, මේ ඇතා සම්බන්ධව. සමහරක් නිර්නාමිකවත් ආවා. ඒ අලුත්ගම කන්ද විහාරයට යන සැදැහැවතුන්ගෙන්, අවට ප්‍රදේශවාසීන්ගෙන්, විදේශිකයන්ගෙන් වගේම ලංකාවේ පදිංචි අයගෙන්. ඒ මෙයාගෙන් බර වැඩ ගන්නවා, හිංසනයට ලක් කරනවා, කොටන් අද්දවනවා කියලා. 2020 අපි මේ සතා ගැන හොයලා බලන්න ගියා.
අපිට පෙනුණා පන්සලේ එක්තරා තැනක හිර කරලා මේ සතා බැඳලා දාලා තියෙන බව. පස්සේ අපි තව තව හොයද්දි පෙනුණා, මේ අලියගේ පාදයක ආබාධිත තත්ත්වයක් ඇති බව. යටි පතුලේ ගෙවිලා. දිගින් දිගටම මේ තත්ත්වය බරපතළ වෙමින් තිබුණා. පසුව පන්සලටත් මිනිස්සු ගිහින් පැමිණිලි කරන තත්ත්වයට පත් වුණා. නමුත් පන්සලෙන් පශු වෛද්‍යවරයකුට පෙන්වා මේ සතාට බෙහෙතක් අරන් දුන්නේ නැහැ. ලංකාව පුරාම පෙරහරවලට මේ සතා කුලියට දුන්නා. ලංකාවේ කොහේ හරි පෙරහරක් තිබුණොත් මුතුරාජාව ඒකට යවනවා. කකුලක් කැඩිලා ඒක වැරදි ආකාරයට හා වෙලා තිබුණ නිසා සතා ඇවිද්දේ එක කකුලක් අද්ද අද්දා. ඒ කකුලේ අමාරුව නිසා මුතුරාජාගේ බර අනික් කකුල් තුනට වැටුණා. මේ නිසා ඒ කකුල් තුනේ යටි පතුල් ගෙවිලා කුණු වෙන තත්ත්වයට පත්වෙලා තිබුණේ.
2021 වසරේදී රෙයා ශ්‍රී ලංකා සංවිධානය විසින් අැෙමරිකාවේ අලි ඇතුන්ගේ යටි පතුල්වලට ප්‍රතිකාර කරන විශේෂඥයකු ලංකාවට ගෙන්වා දළදා මාළිගාවේ අලි ඇතුන් වගේම අනිතුක් අලි ඇතුන්ගේ යටි පතුල් පෙන්වීමට තීරණය කළා.
අනිකුත් තැන්වලින් සහයෝගයක් ලැබුණත් කන්දේ විහාරයෙන් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. පස්සේ අපි ලංකාවේ වනජීවි අමාත්‍යාංශයට පවා මේ ගැන පැමිණිලි කරන්න පටන් ගත්තා.
2021 සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට, වනජීවි දෙපාර්තමේන්තුවට මුතුරාජා ගැන පැමිණිලි කළා. ඒ අය කිව්වා තමන් යටතේ ලියාපදිංචි කළ සත්ත්වයකු නොවන නිසා සම්බන්ධ විය නොහැකි බව. නමුත් ලංකාවට මේ වගකීමෙන් මිදෙන්න බැරි බව අපි අවබෝධ කර දුන්නා. මන්ද රටකට ජාත්‍යන්තර වශයෙන් සතෙක්ව රැගෙන ඒමේදී අදාළ ඉල්ලුම් පත්‍ර දෙරට විසින්ම පිරවිය යුතු වෙනවා. මේ ඇතාව ආදළ ස්ථානයට සන්නසකින් ලියා දුන්නත් ඌගේ වගකීම දැරිය යුත්තේ වනජීවි දෙපාර්තමේන්තුව.
මම 2022 මුල වන විට තායිලන්ත තානාපති කාර්යාලය දැනුම්වත් කළා. නමුත් ඒ කාර්යාලයෙන්ද කිසිදු සාධනීය පිළිතුරක් ලැබුණේ නැහැ. මට ඊළඟට ගත යුතු පියවර වුණේ තායිලන්තයේ සත්ත්ව ආරක්ෂක හීලෑ අලි සම්බන්ධව කටයුතු කරන ප්‍රමුඛතම ආයතනයට දැනුම් දීමයි. එයිනුත් සාධාරණයක් නොලැබුණේ නම් කළ යුතු වූයේ එරට පාර්ලිමේන්තුවට ලියන එක පමණයි. නමුත් එසේ දුරදිග ගියොත් අපේ රටට ලැජ්ජාවක් වන බව මම තේරුම් ගත්තා.
අවසානයේ මම ඇහුවා මුතුරාජාව ගන්න මම මොකක්ද කරන්න ඕන කියලා. මේ සඳහා ව්‍යවස්ථාවට සංශෝධනයක් අවශ්‍ය නම් හෝ කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය නම් එය හෝ කරදෙන ලෙස මම ඉල්ලා සිටියා. නමුත් මේ සියල්ලටම පිළිතුරක් ලැබුණේ නැහැ. පසුව අපි ඩි. එච්. එල්. හරහා තායිලන්ත පාර්ලිමේන්තු කමිටුවට ලිපියක් යොමු කළා. අගෝස්තු වන විට ඔවුන් අපිට ආරාධනා කළා, මේ සම්බන්ධව කතා කිරීමට.
මේ වන විට මේ සතාගේ තත්ත්වය ඉතාමත් දුර්වල වෙමින් තිබුණේ. අවසානයේ අපේ ඉල්ලීමට එරටින් පශු වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට ආවා, මේ සතා පරීක්ෂා කිරීමට.
ඔවුන් සතා බලලා තීරණය කළේ ප්‍රතිකාර ආරම්භ කිරීමට සිය රටට මුතුරාජාව ගෙන යා යුතු බව. මේ අතර එරට පරිසර ඇමැතිවරයාගේ සහෝදරිය විසින් තායිලන්තය තුළ විශාල කැම්පේන් ව්‍යාපාරයක් ගෙන ගියා, මේ සතාව නැවතත් සිය රටට ගැනීමට. නමුත් මේ අවස්ථාවේ අපි ඒ අයගෙන් ඉල්ලා සිටියේ ඇතා ගෙන නොගොස් මෙහේ සිට ප්‍රතිකාර අරඹන ලෙස. ඊට ඔවුන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. අවශ්‍ය වුණේ යළි ඇතාව තායිලන්තයට ගෙන යාමටයි. “ඒ රෙයා ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂිකා පංචාලි පනාපිටියයි.
ඇය පවසන්නේ මේ කරුණේදී ලංකාවේ සතාගේ ආරක්ෂාව මෙන්ම ලංකාවේ ගරුත්වය රැකීමට ද නිරන්තරයෙන් කටයුතු කළ බවයි. 2019 වසරේදී ලංකාවේ අලි 407 ක් ද 2022 වසරේදි අලි 439 ක් ද මැරුණ රටක ලංකාවේ ඊට සම්බන්ධ විෂය භාර ආයතනවලට අලින්ගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන් කරන චෝදනාවය. ඇය පවසන්නේ මේ සම්බන්ධව ඒ වන විට සිටි විෂය භාර ඇමැතිවරුන්ට මෙන්ම වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට දැන්වුවද කිසිදු සාධනීය පිළිතුරක් නොලැබුණ බවය.
“පසුගිය ජූලි 2 වැනිදා ශ්‍රී ලංකා මුදලෙන් නම් රුපියල් මිලියන 170 ක් පමණ තායිලන්ත රජයෙන් වියදම් කර එරටින් ඇත් ගොව්වකු ඇතුළු පිරිසක් පැමිණ, ඉතා ආරක්ෂිතව මුතුරාජා යළි ගෙන ගියා. තායිලන්ත රජය මේ සිදුවීම දකින්නේ තමන්ගේ රටට සිදුවූ අගෞරවයක් විදියට. දුන් තැග්ග නැවත ගත්තේ ඒ නිසයි. නමුත් අදාළ විහාරයෙන් ඒ සතා යළි දීමට අකමැති වෙලා තියෙනවා. පංචාලි පනාපිටිය පවසන්නීය. මෙම සංවිධානය චෝදනා කරන්නේ අදාළ ඇත් ගොව්වාට අලි බැලීම සඳහා කිසිදු සුදුසුකමක් නොතිබූ බවකි. කලින් සිටි ඇත්ගොව්වා ඉවත්වන විට ලොරියක් ධාවනය කරමින් සිටි මේ පුද්ගලයා මුුතුරාජාගේ ඇත් ගොව්වා බවට පත්කළ බවකි. ඔහු අලි බ්‍රෝකර් වැඩය ද සිදු කළ බව මේ අය චෝදනා කරති. යම් පෙරහරකට අවශ්‍ය අලි ලබා දීමට අලි බ්‍රෝකර්වරු සිටිති. තමන්ට ලැබෙන මුදලින් අදාළ මුදල් පියවා ඇතාට අවශ්‍ය ආහාර පාන දීමට මේ මුදලින් සිදු කළ යුතු වෙයි. නමුත් ලංකාවේ පාරම්පරික දක්ෂ ඇත් ගොව්වන් සිටින බව ජාත්‍යන්තරමය පිළි ගන්නකි. බොහෝ හීලෑ අලි ඇතුන් තමන්ගේ දරුවෝ මෙන් රැක ගන්නා අය අතරේ මෙවැනි නුසුදුසු ඇත් ගොව්වන් සිටීම හේතුවෙන් මේ මුතු රාජාට ද විඳින්නට සිදුව ඇත්තේ දුක් ගැහැට බව පරිසරවේදීන්ගේ චෝදනාවය.