
"මට හරි මහන්සියි. ඔයා ඩ්‍රයිව් කරනවද?" සුරංජිත් වාහනයේ ඉදිරිපස අසුනට ගොඩ වූවේ බිරියගෙන් එසේ අසන අතරතුරය.
“මහන්සි නැතුව තියේවිද කකුලත් තුවාල කර ගත්තනේ කඹ අදින්න ගිහිල්ලා...”රිය පණ ගන්වන ගමන් සුභා සිය සැමියාට පැවසුවේ මහ හඬින් සිනාසෙමිනි.
“මේ සැරේ ගේම්ස් අඩු වුණාට තිබුණ ඒවා හරි ජොලි නේද? හැමෝම හොඳට එන්ජෝයි කළා. අනික කාලෙකට පස්සෙනෙ ලංකාවේ අය හම්බු වුණේ...” සුරංජිත්ගේ කටහඬ ප්‍රාණවත්ය. ඔහු සිටින්නේ සතුටෙනි.
“කොරෝනා වසංගතයෙන් පස්සේ ලන්ඩනයේ තිබුණ හොඳම අවුරුදු උත්සවය. ගිය පාර සෙනඟ හරි අඩුයි. මේ සැරේ ආවයින් භාගයක්වත් ආවේ නැහැනේ."
"ගිය වතාවේ අවුරුදු උත්සවය ගැන මතක් කරන්න හොඳ නැහැ." සුභාට සිතිණි.
ඇය සුරංජිත් දෙස මොහොතකට දෑස් යොමු කළාය.
"මේ ගැන ඔහුත් එක්ක කතා කරන්න හොඳ නැහැ. පසුතැවිලි වෙන්න දෙයක් නැහැ. සුරංජිත්ට නින්ද ගිහින් මහන්සියට. වාහනය පදවන අතරේ ඔහුත් එක්ක අවුරුදු උත්සවයේ වෙච්ච දේවල් ගැන කතා කරන්න තිබුණ නම් හොඳයි "සුභාට සිතුණි. ඇගේ සිතට පාළු ගතියක් දැනුණි.
සුරංජිත්ගේ පියා අසනීප වූයේ කොරෝනා වසංගතය ලොව පුරා දරුණු ලෙස පැතිර තිබූ සමයේය. මව ඔහු කුඩා කල වියෝ වූ බැවින් මවගේ අඩුව ද පිරිමසමින් පියා අප්‍රමාණ සෙනෙහසින් ඔහු හදා වඩා ගත්තේය. ලන්ඩනයේ ලෝ සුපතළ විශ්වවිද්‍යාලයක තමා අද මහාචාර්ය ධුරයක් හොඹවන්නේ වසර හයේ සිට තනිවම පියා දැරූ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස බව බැව් ඔහු දනී. මේ සිතුවිල්ල සුරංජිත්ගේ මනසේ නිරතුරුවම එහේ මෙහේ සක්මන් කරයි. පියාගේ වියෝව සිදු වන විට ලන්ඩනයේ මෙන්ම ලංකාවේද බරපතළ ලෙස කොරෝනා වසංගතය පැතිරී තිබුණි.
පියා මියගියේ කොරෝනා රෝගය වැලඳීමෙන් නොව හදිසි හෘදයාබාධයකින් වුවද පැවති නීතිරීති හමුවේ බොහෝ කටුක අකාරුණික සිදුවීම් රැසකට මුහුණ දීමට සිදු විය. හිත්රෝ ගුවන් තොටුපළේ ගුවන් ගමන් සීමා කර තිබූ අතර, රටින් පිටවීම සහ ඇතුළු වීම සඳහා දැඩි නීතිරීති පනවා තිබිණි.
“තාත්තා යන්න එපා... සීයා ජීවතුන් අතර හිටිය නම් කොහොමටවත් මේ වගේ කාලෙක යන්න දෙන්නේ නැහැ, මෙහෙම ගමනක්...”
අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන පුතණුවන්ගේ සහ බිරියගේ දැඩි විරෝධය මත සිය උපරිම හිතුවක්කාර ගති පෙන්වා කෙසේ හෝ සුරංජිත් ලංකාවට ගියේය.
"එක්කෙනෙක් ඇමෙරිකාවේ හිරවෙලා... මෙයා ලංකාවේ හිර වුණොත් තුන්දෙනා තුන්තැනක... හරි ශෝක්..." සුභා සිටියේ කෝපයෙනි.
කොරෝනා රෝගියෙකු නොවන බව සහතික කර ගත් පසු දේහය ලැබුණද, අවසන් කටයුතු රජය පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීතිරීති මත පැය කිහිපයක් තුළ දෑතේ දෑඟිලි සම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
සුරංජිත් ආදාහනාගාරයේ ඉහළ දුම් කවුළුවෙන් පිටවන සුදු සහ අළු පැහැ කලවම් දුම් රැලි දෙස බලා සිටියේ අප්‍රමාණ ශෝකයක් සිත්හී දරාගෙනය. අවකාශයට මුසුවන දුම් කැරලි අතරින් අතීත මතක මතුවී ගලා ආවේය.
කුඩා කල පියා සය හැවිරිදි තමන් ඔහුගේ කුඩා මෝටර් බයිසිකලයේ තබාගෙන අසනීපයෙන් රෝහලේ සිටින මව බැලීමට මහරගම පිහිටි රෝහල වෙත යන සැටිත්, රෝහලේ ගේට්ටුව අසල බයිසිකලය නවතා සාක්කුවෙන් පනාවක් ගෙන තම හිස පීරන සැටිත්, ලේන්සුවකින් මුහුණ පිස දමා ෂර්ට් එක කලිසමට යට කරන අතරේ, “පුතා ලස්සනට යන්න ඕන අම්මා බලන්න... අපිළිවෙළට ගියොත් අම්මා දුක් වේවි” කියන සැටිත් ඔහු මතකයේ ඇඳී පෙනුණි.
රජයේ කාර්යාලයක ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළ තම පියාගේ කාර්යාලය කුඩා කල සුරංජිත්ගේ දෙවැනි ගෙදර විය. හත්වැනි වසර තෙක්ම පාසල් නිම වීමෙන් පසු ඔහු ගියේ පියාගේ කාර්යාලයටය. මේසය අසල කුඩා පුටුවක් ඔහුට වෙන්විය. කාර්යාලයේ සියලු දෙනාම ඔහුට ආදරයෙන් සැලකූහ.
"අපරාදේ තාත්තා අපිත් එක්ක හිටියා නම් තව කාලයක් ඉන්න තිබුණා..." මතකය අතරින් ඒ කනස්සලු සිතුවිල්ල ඔහු සිතට වරින් වර ගලා ආවේය. පසුගිය වසර ගණනාවේම ශීත කාලයට පමණක් ලංකාවට ආ පියා අවුරුද්දේ ඉතිරි මාස ගත කළේ ලන්ඩනයේ ඔවුන් සමඟය. එහෙත් කොරෝනා වසංගතය නිසා ඔහුට සුපුරුදු සංචාර අහිමි විය. නිවෙස බලා ගැනීමට සිටි රත්නපාල සමඟ හුදෙකලා ජීවිතයක් ගත කරන්නට විය.
“පුතාට නම් මම නැති වුණාම දුක් වෙන්න ඕන නෑ.... අනිත්‍ය ගැන පුතාට හොඳ වැටහීමක් තියෙනවනේ... අනික ජීවතුන් අතර ඉන්නකොට දැන් පුතා මට කොච්චර සලකනවද...මම පුතාට උගන්වන්න වෙච්ච මහන්සිය අපතේ ගියෙත් නෑනේ.... පුතා හොඳටම ඉගෙන ගත්තනේ...” පියා පැවසූ එවන් වදන් සිත තුළ යම් පහන් සිතුවිලි ද මතු කළේය.
“සර් අපි දැන් යමු... ඔක්කොමල ගිහින්... වෙන දවසක එන්න වෙනවා අළු මුට්ටිය අරගෙන යන්න. හරියට වැඩ මෙතන අයට... එකක් යනකොට එකක් කොරෝන බොඩි ගේනවලු... සර් සොහොනක් හදනවද... පා කරලා අරිනවද?”
එක පැත්තකින් රත්නපාලගේ ඉවරයක් නැති කතා අතරේ එක දිගට සුභාගෙන් ජංගම දුරකතනයට මැසේජ් ආවේය.
"ඔහේ වැඩ ඉවර නම් පුතාට මැසේජ් එකක් දාන්න. එයා ට්‍රැවල් ඒජන්ට කියල ටිකට් එක ගනී... හිත්රෝ එයාර්පෝට් එක හෙට වහනවා කියල කතාවක් තියෙනවා... වැහුවෝතින් ඔයා ඔහේ හිරවේවි..."
"ඉක්මනට යන්න ඕන තමා... හිටිය කියල හත් දවසේ බණ, දාන දෙන්න කියලද" සුරංජිත්ට සිතිණි.
“රත්නපාල එහෙනම් හැමදෙයක්ම මම කියපු විදියට කරන්න. හෙට කනත්තට ගිහින් ඇවිත් මට කතා කරන්න.” එදින රාත්‍රියේ නැවත ලන්ඩනය බලා ඒමට පෙර ඉටු කළ යුතු විවිධ වැඩ පිළිබඳ ඔහු රත්නපාලට පැහැදිලි කළේය.
කෙසේ නමුත් තමා ගුවන් තොටුපොළට ගොස් ටික වේලාවකින් ගමන් මල්ලත් කරේ දමා ගත් රත්නපාල නිවෙසින් පිටව ගොස් ඇති බව සුරංජිත් පසුදින දැන ගත්තේ අසල්වැසි ලයනල්ට දුන් දුරකතන ඇමතුමකිනි.
එකල තම සැමියා පත් වී සිටි කලබලකාරී කනස්සලු ස්වභාවය පිළිබඳ මතකයට නඟා ගැනීම වර්තමානයේ වුව සුභාගේ මනස ප්‍රතික්‍ෂේප කළාය. සැබැවින්ම එය අතිශය ශෝකජනක කාලයක් වූයේ පමණටත් වඩා පියාගේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය පිළිබඳ සිය සැමියා ශෝකයටත් කම්පාවටත් පත් වී සිටි නිසාය.
මහාචාර්යවරයකු වන ඔහුට මීට වඩා උපේක්‍ෂා සහගතව මැදි සිතින් මේ ප්‍රශ්නය දෙස බැලිය යුතු යැයි සුභා සිතුවාය.
“ජීවිතයෙන් සමුගත් පසු ඉතිරි වන, ශේෂ වන කිසිම දෙයක් නැහැ... තමන් කළ හොඳ නරක කුසල් අකුසල් තමා රැගෙන යන්නේ...” පියා වෙනුවෙන් ලන්ඩන් විහාරයට පිරිනැමූ දානය අතරතුර ස්වාමීන් වහන්සේ දහම් දෙසන විට සැමියා මහත් වුවමනාවෙන් අසා සිටියේය. එහෙත් අනතුරුව යළි යළිත් පියාගේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය අවතැන් වී අත්දැයි බියෙන් සහ ශෝකයෙන් දැඩි කම්පනයකින් යුතුව කාලය ගත කළේය.
සුරංජිත්ගේ උපදෙස් මත සුභාගේ සොහොයුරියගේ සැමියා වන අසෝක කිහිප වතාවක්ම කනත්තට සහ නගර සභාවට ගොස් අළු මුට්ටිය පිළිබඳ විමසා ඇතත්, නගර සභාවෙන් නිකුත් කළ කුවිතාන්සිය අවශ්‍ය බවත් කොරෝනා තත්ත්වය යටතේ බොහෝ අඩු සේවක පිරිසක් සේවයේ යොදවා ඇති නිසා විවිධ දුෂ්කරතා මැද නගර සභාවේ කටයුතු සිදු කරගෙන යන බවත් දන්වා තිබුණි. කුවිතාන්සියක් පිළිබඳ සුරංජිත් දැන සිටියේ නැත. එය ඇත්තේ රත්නපාල ළඟ විය යුතු යැයි සිතු ඔහු රත්නපාල සොයා ගැනීමට බලවත් වෙහෙසක් ගත්තේය.
“තාත්තගේ අවසාන කටයුතු මට හරිහැටි කරගන්න බැරි වුණා... අනේ ඒ මුට්ටිය කොහේ හරි මුල්ලක දාල ඇති.... ඒත් මම තාත්තා ජීවතුන් අතරේ ඉන්නකොට හොඳටම සැලකුවනේ... මම තාත්තගෙ බලාපොරොත්තු ඉෂ්ට කරපු දරුවෙක්... මේ වසංගත කාලෙ නිසානෙ මෙහෙම සිද්ධ වුණේ....”
සුරංජිත්ගේ සිතේ සිතුවිලි නිරන්තයෙන්ම එහේ මෙහේ ගියේ සිත තුළ බලවත් නොසන්සුන්තාවයක් මතු කරමිනි. කාලය ගතවත්ම විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු අතරේ මේ නොසන්සුන්බව මඳක් අඩු විය. ප්‍රතිශක්තීකරණ වැඩසටහනෙන් අනතුරුව කෙමෙන් කෙරෝනා රෝගය පිළිබඳ අවදානම නැති වී රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පැවතුණි.
“යමුකෝ අපි අවුරුදු උත්සවයට... කාලෙකින් කොහෙවත් ගියෙ නැහැනෙ කොරෝනා නිසා...”
ගිය වසරේ අවුරුදු උත්සවයට සුභාගේ දැඩි ඉල්ලීම නිසාම ගිය සුරංජිත් උත්සවය අවසානයට පෙර ගෙදර ආවේ දැඩි ශෝකයෙන් හා කනස්සල්ලෙනි. ඒ කණා මුට්ටි බිඳීමේ තරගයට ගිය ඔහු සුදු රෙද්දකින් වැසූ කළගෙඩි පේළියට එල්ලා තිබෙනු දුටු වහාම වෙනතක් බලා ගත්තේය. ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් විය. එදින වාහනයට ගොඩවූ සුරංජිත් දෑතින් මුහුණ වසාගෙන කුඩා දරුවෙක් සේ හඬා වැටුණේය.
දිනක් සුභා මිදුලේ මල් පැළවලට සාත්තු කරමින් සිටියදී සුරංජිත් දැඩි කලබලයකින් ඈ වෙත දිව ආවේය.
“සුභා මට රත්නපාල කෝල් එකක් දුන්නා... භෂ්මාවශේෂ මුට්ටිය තියෙනවලු. කනත්තේ වැඩ කරන කෙනෙක් කිව්වලු සොහොන හදන්න තැනක් වෙන් කරගෙන තැන්පත් කරගන්න පුළුවන් කියලා”
“ කොච්චර දෙයක්ද ඒක... ඉතින් මෙච්චර කලක් රත්නපාල කොහෙද අන්තරස්දහන් වෙලා තියෙන්නේ...”
“සනීප නැතුව හිටිය කියන්නේ... අනේ මන්දා කොහොම හරි යන ගාන කීවහම අසෝකට සල්ලි අරින්න පුළුවන් රත්නපාලට දෙන්න කියලා...” සිය සැමියාගේ කටහඬ පමණක් නොව, මුහුණේ පෙනුම ද වෙනස් වී ඇතැයි එදින සුභාට සිතිණි.
සොහොන් කොත ඉදිකොට එහි ඡායාරූප ද සුරංජිත් වෙත එවනු ලැබීය.
“හිතට ලොකු සහනයක්... තාත්තා දැන් සාමාන්‍ය විදියට ඉන්නවා...” සුභා සැමියාට හොරෙන් පුතාට සියලු තොරතුරු ලබා දුන්නාය.
වසරක කාලය ගෙවී ගියේ ඉතා ඉක්මනින් නොවේ දැයි සුභාට සිතුවේ නිවෙස ආසන්නයට පැමිණෙමින් සිටියදීය.
“නැඟිටින්න සුරංජිත්... අනේ අනේ මට එළවන්න දීල ඔයා හොඳ නින්දක් දැම්ම නේද?”
“තෑන්ක්ස් සුභා... හරි මහන්සියි... වයසට නොගැළපෙන ක්‍රීඩානෙ අද අවුරුදු උත්සවයේ කළේ”
“ආ සුදන්ත ඇවිල්ලා අපේ ලියුම් දාපු බෑග් එක ලියුම් පෙට්ටියට දාල ගිහින්... මට මැසේජ් එකකුත් එවල තිබුණා...”
සාමාන්‍යයෙන් මාස තුනකට හතරකට වතාවක් ලංකාවේ ඔවුන්ගේ ගෙදරට ලැබෙන ලියුම් එකතු කර ලන්ඩනයට එන කෙනෙකු අත එවීම සුභාගේ සොහොයුරියගේ සිරිතයි. කොරෝනා ප්‍රශ්නයත්, සොහොයුරියට අසනීප වීමත් සියල්ල අතරේ බොහෝ කාලයක් ලිපි එකතු කර ලොකු කවරයක බහා එවීමේ සුපුරුදු කර්තව්‍ය සෑහෙන්න පමා විය. මෙවර ලොකු ලිපි ගොනුවක් ඇත්තේ එබැවිනි.
“අම්මේ මේක බලන්න හොඳ වෙලාවක් යාවි...” කවරය සාලයේ මේසය උඩ තබමින් සුභා පැවසුවාය.
සවස් යාමේ සුභා ලිපි එකිනෙක පරීක්‍ෂා කරන්නට පටන් ගත් අතර, මුලින්ම කළේ බැංකුවලින් පැමිණි ලිපි එක ගොඩකට දැමීමයි. නගර සභාවෙන් පැමිණ තිබූ ලිපියක් කියවූ ඇය, මවිතයටත් කනගාටුවටත් පත්විය. එහි සඳහන් කර තිබුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ කනත්තේ භූමි ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කරන ඉඩකඩ ලබා ගැනීමට මෙතෙක් අහක් කරගෙන නොමැති භෂ්මාවශේෂ මුට්ටි දෙසැම්බර් මාසයේ 19 වන දිනට පෙර එතැනින් ඉවත් කරගත යුතු බවයි.
සුරංජිත්ට ලිපිය පෙන්වීමට අඬගසන්නට සිතත්ම ඇය නගර සභාවෙන් පැමිණ ඇති තවත් ලිපියක් දුටුවාය. අවසාන නිවේදනයයි, යනුවෙන් සඳහන් කර තිබූ එහි දිනය සටහන් වී තිබුනේ පෙබරවාරි මස 10 වෙනිදාය. සතියක් ඇතුළත භෂ්මාවශේෂ සහිත මුට්ටි ඉවත් කරගත යුතු අතර, පැහැර හරින්නේ නම් නගර සභාව විසින් ඒවා ඉවත් කරන බව සඳහන් කර තිබුණි.
සුභා තම තැතිගත් සිත සන්සුන් කර ගැනීමට උත්සාහ දැරුවාය. “සුරංජිත්ට මේ ගැන කියන්න නරකයි දැන්ම... රත්නපාල කියලා සොහොන හැදුවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසෙන්... පළවෙනි දැනුම් දීම කරලා තියෙන්නේ දෙසැම්බර් මාසේ... අවසාන එක මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ... දැනට මාස දෙකකට කලින්... නගර සභාවට වැරදීමක්ද... නැත්නම් රත්නපාල අතින් වරදක් වුනාද?...
“නංගී අපි රත්නපාලගෙන් ඇහුවා මුලින් කියපු විදියට සොහොනේ නම ගැහුවේ නැත්තේ ඇයි කියලා... එතකොට කිව්වේ අයියා ලංකාවට ආවහම ගහනවා කියලා... ඒත් කනත්තේ එයාට උදව් කරපු කෙනා ඒවා හදන අය දන්නවා කියලනේ මුලින් සල්ලි ගන්නකොට කිව්වේ... අයියා සොහොනේ ලියන්න ඕන එක ලියලත් එව්වනේ...” අසෝක එකල වරින්වර කී දේවල් සුභාගේ මතකයෙන් මතුවන්නට විය.
“දෙයියනේ මොකක්ද මේ පටලැවිල්ල... නගර සභාවෙන් අහක් කරපු මුට්ටි අතරේ තාත්තගෙ එකත් තිබිලද? රත්නපාල බොරුවක් කරාද?... දැන් මේක සුරංජිත්ට කොහොම කියන්නද?”
“සුභා එන්නකෝ පෙන්නන්න අවුරුදු උත්සවේ ෆොටෝ දාල” සුරංජිත්ගේ හඬ ඇසෙත්ම සුභා නගර සභාවෙන් ඇවිත් තිබූ ලිපි දෙක අසල තිබූ පොතක් ඇතුළට දැමුවාය.
සුරංජිත් සිටින කාමරයට යන්නට දෙපා ඉදිරියට තබන ඇයට ස්වභාවයෙන් කෙසඟ තම සිරුර මෙතරම් බරදැයි සිතුණි.