මම ගොඩ ගියේ පොල්කටු අඟුරුවලින් | සිළුමිණ

මම ගොඩ ගියේ පොල්කටු අඟුරුවලින්

සම්පූර්ණ නම

කාරියවසම් දොන් ශ්‍රීලාල් වීරසිංහ

උපන් දිනය

1968 අගෝස්තු 21.

ගම් පළාත කොහේද?

මම ඉපදුණේ කොළඹ. නමුත් මම මාස 8ක් වෙද්දි ඇඹිලිපිටියට යනවා මගේ අත්තම්මයි, සීයයි එක්ක.

අම්මා තාත්තගෙ නම් සහ වෘත්තීන්?

අම්මගෙ නම ප්‍රේමා, ඇය රැකියාවක් කළේ නෑ. තාත්තා ලක්ෂ්මන් වීරසිංහ.

විදුලිබල මණ්ඩලයේ වැඩ කළේ. පස්සෙ පුද්ගලික අංශයෙත් වැඩ කළා.

සහෝදර සහෝදරියන්

මට බාල සහෝදරයන් තුන්දෙනෙක් ඉන්නවා.

පාසල් යන්නේ?

මම තුන වසරට යනකම් ඇඹිලිපිටිය මහා විද්‍යාලයට ගියේ. තුන වසරේ ඉඳන් තමයි ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයට යන්නෙ. දැන් ඒක හඳුන්වන්නෙ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය කියලා.

පාසලේ බාහිර වැඩ කළාද?

මම සෑහෙන්න විෂය බාහිර වැඩ කළ කෙනෙක්. මම සමස්ත ලංකා වර්ණලාභී ක්‍රීඩකයෙක්.

මොනවද කළ ක්‍රීඩා?

තුන්පිම්ම, දුර පැනීම හා කඩුලු පැනීම තමයි මගේ ඉසව්. ඊට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවත් කළා. පාසලේ සෑම ක්‍රීඩා කණ්ඩායමකම මම සාමාජිකයෙක්. ශිෂ්‍ය නායකයකු විදිහටත් වැඩ කළා.

උසස් පෙළ හදාරන්නෙ මොන විෂය ධාරාවෙන්ද?

මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළේ. අත්තම්මට සීයට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. මට ඒ සිහිනය සැබෑ කරන්න බැරි වුණා.

විශ්වවිද්‍යාල සුදුසුකම් අහිමි වුණාට පස්සෙ වෘත්තිය ජීවිතයට යන්න හිතුවද?

ඇත්තටම මම රස්සාවකට ගියා. ප්‍රධානතම අපනයන ආයතනයක තත්ත්ව පාලන නිලධාරියෙක් විදියට මම රැකියා ජීවිතේ ආරම්භ කළා. මම එතන අවුරුදු එකහමාරක් හිටියා. ඊට පස්සෙ කෘෂිකර්මය හා සම්බන්ධ තත්ත්ව පාලන කටයුතු කරන ආයතනයට මම සම්බන්ධ වුණා.

ඔබ රක්ෂණ ක්ෂේත්‍රයේත් වැඩ කරනවා නේද?

ඔව්. මම ඊළඟට සම්බන්ධ වුණේ අලෙවි විධායක රක්ෂණ නිලධාරියෙක් විදියට. මම පටන් ගත්තේ 1991 දි සෙලින්කෝ රක්ෂණ සමාගමෙන්. ඊට පස්සෙ අවුරුදු පහළොවක් විතර මම එක දිගට රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා. ඊගල් රක්ෂණ සමාගමට සම්බන්ධ වුණු මුල් කාලෙ මට සුරක්ෂා කියන වැඩසටහනට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණා. ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනවලට, කර්මාන්ත ශාලාවලට යන්න මේ නිසා අවස්ථාව ලැබෙනවා. මේ අවස්ථාව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.

ඇයි එහෙම හිතෙන්නෙ?

අපි මේ එක තැනකට කොටු වෙලා ඉද්දි මිනිස්සු 8-5 වෙලාවෙන් එපිට ගොඩක් දේවල් කරලා තියෙනවා කියන එක මට දැනෙන්න පටන් ගත්තා. ව්‍යවසායකයෙක් ඇත්තටම රැකියාවක් කරන කෙනකුට වඩා විශාල වැඩක්, මෙහෙවරක් රටට ලෝකෙට කරනවා. මම කල්පනා කරනවා ඇයි මම මේ රැකියාවකට කොටු වෙලා ඉන්නෙ කියලා. මට ඇයි බැරි ව්‍යාපාරයක් පටන් ගන්න කියලා.

ඔබ වැඩේට බහින්නෙ කොහොමද. ප්‍රාග්ධනය හොයන එක ලේසි නෑ?

ඔව්. මට ණයක් දෙන්න බැංකුවක් වුණත් ඒ කාලෙ මාව පිළිගන්න මට්ටමක් තිබුණෙ නෑ. එතකොට මම කල්පනා කළා, අඩුම පිරිවැයක් දරන්න පුළුවන් වෙන විදියට කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙ කියලා. ඉවතලන කඩදාසි අපනයනය සඳහා යොමු කිරීම තමයි මම ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන්න සැලසුම් කළේ.

අදහස එහෙමත් නැත්නම් සංකල්පය එන්නෙ කොහොමද?

මම ම කල්පනා කළා. මොකද මට ප්‍රාග්ධනයක් නෑ. මම අධ්‍යයනය කළා, ගොඩක් ආයතනවල කඩදාසි ඉවත දාන බව. ඒ අයට ඒවා ඉවත් කරගන්න ඕන. ඇත්තටම සමහර වෙලාවට සල්ලි දීලවත් ඒක කරගන්න අමාරුයි. මට හිතුණා පොඩි මුදලක් ආයෝජනය කළොත් මෙතනින් මට ලාබයක් ගන්න පුළුවන් කියලා. මම මුලින්ම එහෙම අපනයනය කරන ආයතනයක් හා සම්බන්ධ වෙනවා. මම සමහර ආයතනවලට, කඩදාසි නිෂ්පාදනය කරන තැන්වලට කතා කරනවා. කතා කරලා මම කියනවා, මම එයාලගෙ කඩදාසි මිලට ගන්නම් කියලා. ඒ කාලෙ කඩදාසි කිලෝ එකක් රුපියල් හත අටකට තමයි මිලට ගත්තෙ.

කිසිම හැඳුනුම්කමක් නැතිව මේ ආයතනවලට කතා කිරීමෙන් වැඩේ කරගන්න පුළුවන් වුණාද? ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?

මට කිසිම හැඳුනුම්කමක් තිබුණෙ නෑ. ඒ විතරක් නෙවෙයි කිසිම කෙනෙක් මාත් එක්ක මේ වැඩේට එකතු වෙලා හිටියෙත් නෑ. සාමාන්‍යයෙන් මේ වගේ දේකට කතා කළාම සමහර අයට ඒක ලොකු උදව්වක් වුණා. මොකද අහක යන දේට මිලක් ලැබෙන නිසා. ඒ විතරක් නෙවෙයි, අලුත් සපයන්නෙක් ලැබීමත් එයාලට වැදගත් වුණා. මම ගිහින් ‘මම ඔයාලගෙ බඩු ගන්නම්....‘ කිව්වම මට ගොඩක් අය කැමැත්තෙන් උදව් කළා.

ඒ වෙනකොට රස්සාවට මොකද වෙලා තිබුණෙ?

රස්සාවත් කරන ගමන් තමයි මේවා කළේ. 8 ඉඳන් 5 වෙනකම් රැකියාව කරනවා. 5න් පස්සෙ සහ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ තමයි මම මගේ ව්‍යාපාර වැඩ කළේ.

එතකොට ඇඹිලිපිටියෙන් කොළඹට ඇවිත්ද?

ඔව්. අපි කොළඹ පොඩි ගෙයක් අරන් හිටියෙ. ඇත්තම කියනවා නම් ගොඩක් අසීරුවෙන් ජීවත් වුණේ. ගෙයක් කිව්වට ඒක කාමරයක්. එතකොට අපේ දුවත් ඉපදිලා. මම ගොඩක් හැලහැප්පීම්වලට මුහුණ දුන්න කෙනෙක්.

කොතනද වැරදුණේ?

වැරදුණු තැන් කිහිපයක් තිබුණා. මම ගොඩක් ණය වෙලා හිටියෙ. මට ඒවා ගෙවාගන්න බැරි වුණා. මම ගෙයක් හදන්න අරගෙන තමයි ගොඩක්ම අමාරුවෙ වැටුණෙ. ඒක මගේ සැලසුම්වල තිබුණු දුබලතාවක්.

ගේ හදන්න ගියේ කොළඹද?

නෑ. මට ඇඹිලිපිටියෙ තිබුණු ඉඩමක තමයි ගේ හදන්න පටන් ගත්තේ.

මොකද වුණේ? කොහොමද ණය ගෙවා ගත්තෙ?

ඒක හරිම අසීරු කාලයක්. මිනිස්සු මාව ඇතෑරියා. ප්‍රතික්ෂේප කළා. ණයකාරයෝ එන්න ගත්තා. කෙනෙක්ට විඳින්න පුළුවන් උපරිම දුක්, ප්‍රතික්ෂේප වීම් මම වින්දා. ඒත් මම වැටුණෙ නෑ.

යාළුවෝ ගෙදර අය එහෙමත් ප්‍රතික්ෂේප කළාද?

ඒ වෙනකොට මගේ අත්තම්මා සීයා හිටියෙ නෑ. අම්මා තාත්තා මා එක්ක හිටියට ඒ අයට මට උදව් කරන්න තරම් හයියක් තිබුණෙ නෑ. මගේ බිරිය සහ දරුවන් මාත් එක්කම මේ දේවල් විඳ දරාගෙන හිටියා. මගේ නැන්දා වගේම නැන්දම්මා මාත් එක්කම මේ දේවල් දරාගෙන මට ශක්තිය දුන්නා. යාළුවො ගොඩක් අය මාව මඟ හැරියා. ටික දෙනෙක් ඉතිරි වුණා. ඒ අය අදටත් මා එක්ක ඉන්නවා. ඉස්සර සමහරු මගෙන් අහනවා, ඔයාට නින්ද යනවද කියලා. මම කියනවා ඔව් මට නින්ද යනවා... එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. 

එච්චර එහෙම වෙද්දි ඇත්තටම නින්ද ගියාද කියලා මාත් ඇහුවොත්?

ඇත්තටම මට නින්ද ගියා. මොකද මගේ හිතේ හැම තත්ත්පරයකම වැඩ කළේ මම කොහොමද මේකෙන් ගොඩ එන්නෙ කියලා. එහෙම නැතිව මම වැටුණෙ නෑ. හිත ශක්තිමත් කරගත්තා, කොහොම හරි ගොඩ එනවා කියලා. ඊට පස්සෙ මම කොළඹට ආවා.

කොළඹ එන්නෙ ගමේ දේවල් විකුණලාද?

නෑ, මම ඒවා එහෙම තියෙද්දි කොළඹ ආවා. රක්ෂණ ජීවිතය පටන් ගත්තා. ටිකෙන් ටික මම ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න විදිය ගැන අධ්‍යයනය කරන්න ගත්තා. මෙහෙම ඉද්දි දවසක් මගේ යාළුවෙක් මට කිව්වා, ලංකාවට සෑහෙන්න පොල්කටු අඟුරු ගේනවා.... ඒවා ගේන්නෙ කොහෙන්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මම හොයන්න ගත්තා.

එතකොට කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන වැඩේට මොකද වුණේ?

ඒකත් කරනවා. රස්සාවත් කරනවා. ඒ අතරේ මම මේ වැඩේ ගැනත් බලන්න ගත්තා.

කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන වැඩෙන් ලාබයක් තිබුණද?

ඔව්. නැත්තෙ නෑ. සමහර මාසවල මම රස්සාවෙන් ලැබෙනවට වඩා මුදලක් ඒකෙන් ගත්තා.

පොල්කටු අඟුරු වැඩේට මොකද වුණේ?

මම හොයන්න ගත්තා ඒ ගැන. මුලින්ම හෙව්වෙ මේවා ගෙන්නලා කොහේටද යන්නෙ කියලා. ලංකාවේ තියෙන විශාලම සමාගමකට තමයි මේ පොල්කටු අඟුරු යන්නෙ කියලා මම දැන ගත්තා. ඔවුන් කරන්නෙ පොල්කටු අඟුරුවලින් සක්‍රිය කාබන් හදන එක. මම පර්යේෂණ කරන්න ගත්තා මේ ගැන. හැමතැනින්ම මම හොයන්න ගත්තා.

ඔබ යම් දෙයක් කරන්න කලින් හොඳට අධ්‍යයනය කරනවා?

අනිවාර්යයෙන්. මම දේකට අතගහන්නේ හොඳට අධ්‍යයනය කරලා. ඒ මොන ක්ෂේත්‍රය වුණත් මම ඒක ගැන හැම පැත්තකින්ම හොයන්න පටන් ගන්නවා. පොතපත කියවනවා,

අන්තර්ජාලයෙන් හොයනවා, ඒ ඒ විෂයය ප්‍රවීණයන්ගෙන් තොරතුරු ගන්නවා. පුළුවන් උපරිම මම ඒ ක්ෂේත්‍රය ගැන අධ්‍යයනය කරනවා. මට තිබුණු ප්‍රශ්නෙ තමයි සක්‍රිය කාබන් ගැන ඉගෙන ගන්න තැනක් ලංකාවෙ තිබුණෙ නෑ. ඒ ගැන විශේෂඥ දැනුම තියෙන කිහිපදෙනා වුණත් ඒක පිටට දෙන්න එච්චර කැමැත්තක් නෑ.

ඒත් ඔබ අවසානෙ ඒ විෂයේ ප්‍රවීණයෙක් වෙනවනෙ. කොහොමද ඒක කරගත්තේ?

මම ගියා ඒ ආයතනයට. ගිහින් මම කිව්වා මට අවස්ථාවක් දුන්නොත් ඉන්දියාවෙන් පොල්කටු අඟුරු සපයන කෙනෙක් හොයලා දෙන්නම් කියලා. හැබැයි ඒ අය මාව විශ්වාස කළේ නෑ. ඔයා කොහෙන්ද ගේන්නෙ, කොහොමද ගේන්නෙ, විෂයය දැනුම කොහොමද... මෙහෙම ප්‍රශ්න ගොඩක් මගෙන් ඇහුවා. එයාලා ඒ ගැන අහපු සමහර විෂය කරුණු මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ. මට ලොකු දැනුමක් තිබුණෙ නෑ.

ඒත් ඔබ අතහරින්නෙත් නෑ?

ඔව්. මම කිව්වා මගේ සැපයුම්කරු එක්ක කතා කරලා මම පොල්කටු අඟුරු ‍ෙගන්නලා දෙන්නම්.... මට කොමිස් මුදලක් දෙන්න කියලා. මුලදි එයාලා කැමැති වුණේ නෑ. මමත් අතෑරියෙ නෑ. ඒ ආයතනයේ උසස් නිලධාරියෙක් හමුවෙන්න මම දිගටම ගියා. කාලයක් යද්දි ලංකාවට පොල්කටු අඟුරු ගෙන්වීමේ ලොකු ගැටලුවක් ඇති වෙන්න පටන් ගත්තා. එතකොට එයාලට කාගෙන් හරි පොල්කටු අඟුරු ගන්න ඕන වෙනවා. ඉතින් මාස හයක් විතර ගියාට පස්සෙ මට කතා කරලා ඇහුවා, ඔයාට පුළුවන්ද අපිට පොල්කටු අඟුරු ගෙන්නලා දෙන්න කියලා. මම භාර ගත්තා.

ඇත්තටම ඔබට එහෙම හැඳුනුම්කමක් තිබුණද?

ඔව්. මම ඒ කිව්වත් එක්කම ඉන්දියාවට ගියා. ගිහින් මගේ සැපයුම්කරු හමු වුණා. මමත් එයාව හමු වුණු පළවැනි දවස ඒක. එයාලා කැමැති වුණා මගේ හරහා ලංකාවට පොල්කටු අඟුරු සපයන්න. ඊට පස්සෙ මට පළමු වැනි ඕඩර් එක හම්බ වුණා. දිගින් දිගටම මම පොල්කටු අඟුරු ගෙන්නන්න පටන් ගත්තා.

ලාබයක් තිබුණද?

මට ඉවසන්න වුණා අවුරුදු තුනක් මගේ පළමුවැනි ලාබය ගන්න. ඒ කියන්නෙ සැලකිය යුතු ආදායමක් ලැබෙන්න.

මේ ව්‍යාපාර දෙකම කරන අතරෙත් රැකියාව කරනවද?

ඔව්. මම රැකියාව කරන ගමන් තමයි මේ ව්‍යාපාර දෙකම කළේ.

මුලින් ප්‍රතික්ෂේප කළාට පස්සෙ ඔබෙන් පොල්කටු අඟුරු ගන්නම වෙන තත්ත්වයට අන්තිමට පත් වුණා.

ඒක එහෙම වුණා. කළමනාකාරීත්වය මාත් එක්ක ඉතාමත් හිතවත් වුණා. ඒ වෙනකොටත් මම රැකියාව කරනවා. මූල්‍ය අතින් මට ස්ථාවරත්වයක් තිබුණ නිසාත් ව්‍යාපාර කටයුතුවලට මූලිකත්වය දෙන්න ඕන නිසාත් මට හිතුණා රැකියාවෙන් ඉවත් වෙන්න. මම 2010 වසරෙදි රැකියාවෙන් ඉවත් වුණා.

අසීරු තීරණයක්? බය හිතුණෙ නැද්ද දරුවො දෙන්නෙක් එක්ක අනාගතේ ගැන?

ඔව්. හැමෝම වගේ කිව්වෙ දන්න එක කරන් ඉන්න, නොදන්න අඟුරු ව්‍යාපාරවලට අතගහනවට වඩා කියලා. ගොඩක් අය මේ අඟුරු කිව්වාම දකින්නෙ පිට පෙනුම විතරයි. සක්‍රිය කාබන් හදනවා කියන්නෙ ලෝකෙ ඉතාම සුළු පිරිසක් කරන, නමුත් දැවැන්ත ව්‍යාපාරයක්. ඒක ගැන බොහෝ අයට එච්චර දැනුමක් නෑ. ඒ නිසාත්, මට මාව විශ්වාස නිසාත් මම තීරණය කළා ඉවත් වෙන්න. මම කාර්යාලයේ වාහනය භාර දෙද්දි මට මගේම වාහනයෙන් ගෙදර යන්න පුළුවන් වුණා. ඒ කියන්නෙ ඒ වෙද්දි මගේ ව්‍යාපාර ලාබවලින් මම මටම කියලා වාහනයක් අරන් තිබුණෙ.

ඒ වෙනකොට කොළඹ ගෙයක් දොරක් එහෙම හදාගෙන ද?

නෑ. ඒ වෙද්දිත් මම කුලියට හිටියෙ. පොල්කටු අඟුරු ආනයනය කරන වැඩේ මම හොඳට කරගෙන ගියා. ඔහොම ඉන්නකොට දවසක් United Carbon Solutions (Private) Limited කියන ඉන්දියාවෙ සමාගම මගෙන් අහනවා, අපි දැනට කරන්නෙ මේ පොල්කටු අඟුරු හදන එක විතරනෙ, අපිට බැරිද ශ්‍රීලාල් සක්‍රිය කාබන් හදන්න කියලා. මම කිව්වා, අපිට හදන්න පුළුවන්. අපි තාක්ෂණය කාගෙන් හරි ගමු... ඔයාලා මේක නිෂ්පාදනය කළොත් මට විකුණන්න පුළුවන් කියලා. අපි 2011දි සමාගම පටන් ගත්තා. පළමුවැනි වාණිජ වෙළෙඳාම 2011 අවසානය වෙනකොට කළා. අද වෙනකොට ඒ සමාගම තමයි ඉන්දියාවේ අතිවිශාලතම සක්‍රිය කාබන් නිපදවන සමාගම. මම තමයි එහි ප්‍රධාන වාණිජ නිලධාරී වශයෙන් කටයුතු කරන්නෙ.

හැරිලා බලද්දි හිතෙනවද, අසීරුවෙන් හරි රැකියාවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය තමයි ජීවිතේ හොඳම තීරණය කියලා?

සත්තකින්ම. එහෙම නොවුණා නම් මම ආයෙත් වැටෙන්නෙ බිමට. ව්‍යවසායකයෙක් කියන්නේ අවදානම පාලනය කරන කෙනෙක් මිසක් අවදානමක් හදන කෙනෙක් නොවෙයි. ඒකයි ගොඩක් අය අවදානම් ගන්නවට වඩා අත්හදාබැලීම් කරන්නේ. ඒකෙන් ගන්න අත්දැකීම් හා ශක්තිය තමයි අපි භාවිත කරන්නෙ අපේ අලුත් ව්‍යාපාරවලට. මට මම ගැන අතිවිශාල විශ්වාසයක් තියෙනවා.

මේ අතරේ ඔබ තවත් සමාගම් කිහිපයක් පටන් ගන්නවා නේද?

ඔව්. මම පටන් ගත්තා, Chirathma International (Pvt) Ltd කියලා සමාගමක්. ඒ සමාගමෙන් අපි සක්‍රිය කාබන් වෙනත් රටවල්වලට අලෙවි කරනවා. අපි මෙහේ නිෂ්පාදනය කරන්නෙ නෑ; නමුත් ඒකෙන් රටට විදේශ විනිමය ලැබෙනවා. ඒ වගේම Mangifera (Private) Ltd ආයතනය. තවත් කිහිපයක මම ඉතා සක්‍රිය දායකත්වයක ඉන්නවා.

සක්‍රිය කාබන් නිෂ්පාදනය හා පරිසරය අතර තියෙන ගැටලුව අවම කරගන්න ඔබ මොනවද කරන්නෙ?

ඇත්තටම සක්‍රිය කාබන් ක්ෂේත්‍රයට පරිසරය එක්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පරිසරයට වන හානිය අවම කරගන්න අවශ්‍ය නවීන තාක්ෂණික මෙවලම් අපි භාවිත කරනවා. ඊටත් වඩා පරිසරයට මට කරන්න පුළුවන් හොඳම දෙයක් මම කරනවා මගේ Mangifera (Private) Ltd ආයතනය හරහා. ඒක අඹ වගා ව්‍යාපෘතියක්. අනුරාධපුරේ පානියංකඩවල ප්‍රදේශයේ අක්කර 12ක මම අඹ වගා ව්‍යාපෘතියක් කරනවා. මම ඒක කරන්නෙ ලාබයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.

තමන්ගෙ සේවකයන් එක්ක කොහොම සබඳතාවක් ද පවත්වා ගන්නෙ?

මම ස්මාර්ට් බොස් කෙනෙක්. සැර පරුෂ වෙලා අඩි හප්පලා කෑගහලා සේවකයන්ගෙන් වැඩ ගන්න කෙනෙක් නෙවෙයි. එයාලත් එක්ක බොහොම සුහදව තමයි වැඩ කරන්න කැමැති. මම කියනවා, මම බලාපොරොත්තු වෙන දේ. එයාලටත් අදහස් දක්වන්න පුළුවන්. මම ආඥාදායක තීරණ ගන්නෙ නෑ. එහෙම කිරීමෙන් මට වැරදුණු අවස්ථාත් තියෙනවා.

අර කලින් ප්‍රතික්ෂේප කළ, කොන් කළ අයත් දැන් බොහොම හිතවත් ඇති?

දැන් ඉතින් බොහොම ඉහළ පිළිගැනීමක් තියෙන්නෙ. දැන් ඒ හැමෝම කතා කරනවා. මට බැරි කාලෙත් අතනොහැරපු මගේ යාළුවො දැන් කියනවා, අපිටත් වඩා දැන් මෙයාට පිළිගැනීම තියෙන්නේ ඒ කාලෙ වෙනස්කම් කරපු අයගෙන්නෙ කියලා. දැන් එයාලට ඔයාට වඩා ලොකු කෙනෙක් නෑ කියලා.

උසස් පෙළෙන් අතහැරපු ඔබේ උසස් අධ්‍යාපන ජීවිතය තවදුරටත් පසුකාලීනව කරගෙන ගියාද?

කාලයක් යද්දි මට ඇත්තටම හිතුණා උසස් අධ්‍යාපන කටයුතු කරන්න ඕන කියලා. ඒකට හේතුව වුණේ 2012 වසරෙ මට අන්තර්ජාතික සක්‍රිය කාබන් සම්මන්ත්‍රණයේ ආරාධිත දේශනයක් පවත්වන්න අවස්ථාවක් ලැබුණා. මම එතනදි නියෝජනය කළේ United Carbon Solutions (Private) Limited කියන අපේ ඉන්දීය සමාගම. ඒක සංවිධානය කළ කණ්ඩායම එහි හොඳම දේශන අන්තර්ජාලයට මුදා හරිනවා. ඒකෙදි සියලුම දේශකයන්ට ආචාර්ය උපාධියක් තිබුණා. හැමෝගෙම නම ඉදිරියෙන් ආචාර්ය කියන එක තිබුණා. අන්තිමට මගේ නම ඉදිරියෙනුත් ආචාර්ය ශ්‍රීලාල් වීරසිංහ කියලා තමයි තිබුණෙ. මම ප්‍රධාන සංවිධායකට කිව්වා මට එහෙම ආචාර්ය උපාධියක් නැති නිසා ඒක ඉවත් කරන්න කියලා. නැති එකක් දාගන්න මම ලැජ්ජා වුණා. එතකොට ඒ අය කියනවා, ඔයාගෙ දේශනය හරිම ලස්සනයි, කාලය යනවා තේරුණෙත් නෑ. ඒ නිසා මම මේක වෙනස් කරන්නෙ නෑ.... ඇයි ඔබ ආචාර්ය උපාධිය නොකරන්නෙ කියලා. මම කල්පනා කළා කොහොම හරි මේක කරන්න ඕන කියලා. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය මම සම්පූර්ණ කළා. අන්තිමට 2020 මුල් කාලෙ කොවිඩ් ආවා. මට විවේකයක් ආවා. විදේශ ගමන් නැවතුණා. 2021 දි ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළා.

කවුද ඔබේ ජීවන සහකාරිය?

ඇය නිරෝෂා ගයානි වැලිගල්ල. අපි විවාහ වුණේ 1996 දි. අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දුව දෙව්මි චිරත්මා, පුතා දෙව්මි චිත්සර.

කොහොමද කලාවට තියෙන ලැදියාව?

මට සින්දු කියන්න පුළුවන්. පොත් කියවන්න, චිත්‍රපට බලන්න. කලාව තමයි අපේ ජීවිත සුමුදු කරන්නෙ.

Comments