පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කුමාර සිරිවර්ධනගේ ලංකාවේ වන ප්‍රවාහය

කෘතිය - The Jungle Tide 
කර්තෘ -Jhon Still 
පරිවර්තනය - ලංකාවේ වන ප්‍රවාහය 
පරිවර්තක - කුමාර සිරිවර්ධන 
ප්‍රකාශක - කෙහෙලි ප්‍රකාශකයෝ 
මිල- රුපියල් 1200/= 
විමසීම්- 0713560430

කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කළ ලංකාවේ වන ප්‍රවාහය Jhon Still ගේ The Jungle Tide ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි. වනාන්තරය හා මානවයා අතර පවතින සදාකාලික සටන මෙන්ම අදටත් ඉතිරිව ඇති වනාන්තර, පැරණි වෘක්ෂ පවසන අතීත කතාන්තර, කඳුකර වනාන්තර, වියළි කලාපයේ ඉපැරණි රාජ්‍යධානි වසා පැතිරුණු වනාන්තර, ඒවායේ සැඟව ගිය වැව්, වන සතුන්, නටබුන්ව පැවති නගර, පැරැණි දඩමං, ආදි බොහෝ දේ පිළිබඳ ජෝන් ස්ටීල් විසින් සිය කෘතියෙන් අලංකාරව විග්‍රහ කර ඇති අතර කුමාර සිරිවර්ධනයන් විසින් එය පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි පරිදි සිංහලට පරිවර්තනය කර ඇත. ජෝන් ස්ටීල් විසින් රචිත කෘති අතර වැඩි ජනප්‍රියත්වයක් ඉසිලූයේ මෙම The Jungle Tide කෘතියයි. 1940 දශකයේ ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සඳහාද නිර්දේශිත ග්‍රන්ථයකි.


මරණාසන්න අත්දැකීමක සත්‍ය සිදුවීම් පාදක කරගත් ශුන්‍ය

කෘතිය - ශුන්‍ය - Near Death Experience 
කර්තෘ- සුදම්. එස් පහළගම 
ප්‍රකාශක - කර්තෘ ප්‍රකාශනයක්, නො 278/46, නාගහකොටුව මාවත, බැලුම්මහර , ඉඹුල්ගොඩ 
මිල- රුපියල් 480/= 
විමසිම්- 0777736742

කොරෝනා වෛරසය හමුවේ ලොවක් අසරණ වූ ආකාරය, ජීවත් වීම සඳහා ඔක්සිජන් ඉල්ලා හඬා වැටුණු ආකාරය, ඖෂධයක් හෝ සොයාගත නොහැකිව මිනිසුන් අසරණ වූ ආකාරය මෙන්ම මෙවන් වාතාවරණයක් හමුවේ දියුණුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විචාරාත්මකව මෙම කෘතියෙන් කර්තෘවරයා විග්‍රහ කරයි. මිනිසුන් ජාති, ආගම්, කුල හා ලිංග වශයෙන් බෙදුණද ඔවුන්ගේ අවසාන එකම ඉරණම මරණය වන බව කර්තෘ සිය කෘතියෙන් මනාව අවබෝධ කරවන්නට උත්සාහ කරයි.


වෛද්‍ය නිහාල් මුණසිංහ ලියූ අලුත් හෙටක් කරා

කෘතිය - අලුත් හෙටක් කරා... 
සමාජ විද්‍යාත්මක විමසුමකි 
කර්තෘ- වෛද්‍ය නිහාල් මුණසිංහ 
ප්‍රකාශක - සී/ස ඇස්. ගොඩගේ සහෝදරයෝ ( පුද්) සමාගම 
මිල- රුපියල් 800/=

වෛද්‍ය නිහාල් මුණසිංහ ලංකා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා මෙරට වසර 50 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවූ වෛද්‍යවරයෙකි. එදිනෙදා ජීවිතයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොයෙකුත් ප්‍රශ්න ගෙන හැර දක්වමින් ඒවා නිරාකරණය කරමින් හේතු ධර්මවාදිව හා අපක්ෂපාතීව ‘ අලුත් හෙටක් කරා ‘ නමින් වූ මෙම කෘතිය රචනා කර ඇත. නොයෙකුත් අයගේ අදහස් උදහස්වලට නොගැළපෙන මතභේදාත්මක කරුණු මෙම කෘතියෙන් ස්වාධිනව ඉදිරිපත් කිරීමට කර්තෘවරයා උත්සාහ කර ඇති අතර ඔහු විසින් මෙහි ඉදිරිපත් කර ඇති සිහින හා යෝජනා රටේ අභිවාද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකිබව ඔහු පවසයි.


ඇන්ටන් චෙකෝෆ් පිළිබඳ සමකාලීනයන්ගේ සමරු සටහන්

කෘතිය - ඇන්ටන් චෙකෝෆ් පිළිබඳ සමකාලීනයන්ගේ සමරු සටහන් 
පරිවර්තනය හා සම්පාදනය- පාලිත ගනේවත්ත 
ප්‍රකාශක - සී/ස ඇස්. ගොඩගේ සහෝදරයෝ ( පුද්) සමාගම 
මිල- රුපියල් 700/=

ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා කියවා රස විඳිමට කැමැති පාඨකයන් වෙනුවෙන් මෙම කෘතිය ‘ඇන්ටන් චෙකෝෆ් පිළිබඳ සමකාලීනයන්ගේ සමරු සටහන් ‘නමින් සිංහලට පරිවර්තනය කරන්නේ පාලිත ගනේවත්තය. මෙම ග්‍රන්ථයේ චෙකොෆ්ගේ පවුලේ සාමාජිකයන්, විශ්වවිද්‍යාල සගයන්, සමකාලීන වෛද්‍යවරුන්, ඔහුගේ මිතුරු මිතුරියන්, පෙම්වතියන්, පුවත්පත් කලාවේදීන්, ලේඛකයන්, නාට්‍යවේදීන් හා රංගන ශිල්පීන් චොකොෆ් ගැන ලියූ සමරු සටහන් ඇතුළත් වෙයි. සිංහල පාඨකයන්ට චෙකොෆ් ගැන ලියූ සමරු සටහන් කියවන්නට උදාවන පළමු අවස්ථාව ද මෙය වන බව කර්තෘවරයා පවසයි.


චන්ද්‍රා මාලනීගේ සාගර තරංගා

කෘතිය- සාගර තරංගා 
කර්තෘ- චන්ද්‍රා මාලනී රත්නසීලි ද සිල්වා 
කර්තෘ ප්‍රකාශනයකි 
මිල- රුපියල් 400 ⁄ පිටු ගණන- 68 
විමසීම්- 077 907 7638

මෙය කතුවරිය විසින් රචිත දෙවැනි කාව්‍ය කෘතියයි. සමාජයේ දක්නට ලැබෙන විවිධ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති කාව්‍ය නිර්මාණ සඳහා සරල බසක් උපයෝගී කරගෙන තිබුණත් ඒවා කාව්‍ය රසයෙන් නොඅඩුය. කාලීන සමාජ ප්‍රශ්න ගැන ද කියැවෙන මේ පද්‍ය තුළින් ජීවිතයේ යථාර්ථය නිරූපණය කිරීමට ද කිවිඳිය සමත් වී ඇත.

Comments