පියරත්න හේවාබැට්ටගේ සමුගනී | සිළුමිණ

පියරත්න හේවාබැට්ටගේ සමුගනී

මෙරට දැන්වීම්කරණයේ මෙන්ම සිනමාවේ කලා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිර්මාණශීලී චිත්‍ර ශිල්පියෙකු වූ පියරත්න හේවාබැට්ටගේ පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත විය.

අරණායක දෙමැදගිරියේ උපන් පියරත්න හේවාබැට්ටගේ මියයන විට 81 වැනි වියේ පසු විය. හේවාබැට්ටගේ දැන්වීම් කලාවට පිවිසෙන්නේ ග්‍රාන්ට් ඇඩ්වටයිසින් අධිපති රෙජී කන්දප්පාගේ මඟ පෙන්වීමෙනි. කලක් ඔහු දවස පුවත්පතේ කාටුන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන ලදි. තිස්ස අබේසේකර, විලි බ්ලේක් හා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණයෙන් මෙන්ම පෝස්ටර් නිර්මාණයෙන්ද හේවාබැට්ටගේ සහභාගී විය.

හේවාබැට්ටගේ කලක් රජයේ කලායතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කොට ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනි වු යුගයේ මැතිනියගේ ලාංඡන නිර්මාණය බාර වුයේ හේවාබැට්ටගේටය. 1972 ලංකාව ජනරජයක් වන අවස්ථාවේ මැතිනිය ජනරජ ලාංඡනයක් නිර්මාණය කිරීමට මුලින්ම ආරාධනා කළේ හේවාබැට්ටගේටය. මහවැලියේ නාග ලාංඡනය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලාංඡනය , උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ මෙන්ම දකුණු ආසියා ක්‍රීඩා උලළේ නිල ලාංඡන නිර්මාණය කළේ ද පියරත්න හේවාබැට්ටගේ විසිනි.

1978 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ජනපති වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ එසවුණු නිල කොඩිය සහ ජනපති ප්‍රේමදාසගේ නිල කොඩියේ නිර්මාතෘවරයාද හේවාබැට්ටගේය. ලංකා සංචාරක මණ්ඩලයේ වසර 14 ක සේවයෙන් ඉවත් වු හේවාබැට්ටගේ 'හෙරිටේජ් හවුස්' නමින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. හුණුපිටිය ගංගාරාමයේ ධාතු මන්දිරයේ නිර්මාණ කටයුතු අවසන් කිරීමට ප්‍රථම පියරත්න හේවාබැට්ටගේ අභාවයට පත් විය. දෙදරු පියකු වන පියරත්න හේවාබැට්ටගේ අවසන් කටයුතු පසුගිය ජූලි 7 වැනි සිකුරාදා බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කරන ලදි.

 

 

Comments