ආහාර උද්ධමනය 90%කින් අඩුවෙලා | සිළුමිණ

ආහාර උද්ධමනය 90%කින් අඩුවෙලා

රට තුළ ආහාර උද්ධමනය පසුගිය මාස 10ක් තුළදී 90.8%කින් අඩු වී ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිළුමිණට කීවේය. ඒ අනුව පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස 94.9% ක් වූ ආහාර උද්ධමනය පසුගිය ජූනි මස අවසන් වන විට 4.1%ක් දක්වා අඩුව ඇතැයිද අධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ 96.9%ක් වූ ආපනශාලා හා හෝටල් උද්ධමනයද මේ වන විට 15.9%ක් දක්වා අඩුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව 105.4%ක්ව පැවැති ප්‍රවාහන උද්ධමනයද මේ වන විට -3%ක් දක්වා බෙහෙවින් අඩුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. රට තුළ උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව විසින් ගත් ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක වී ඇතැයි පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ උද්ධමනය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට කටයුතු යොදමින් තිබෙන බවය.

එහිදී විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා දේශීය ණය ප්‍රශස්තකරණයද සාර්ථක ලෙසින් සිදු කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් මේ වන විට රුපියල 18.3%කින් අධිප්‍රමාණ වී ඇති බවත් පෙන්වා දුන්නේය.

සංචාරකයන්ගේ පැමිණීමද මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පසුගිය ජුනි මාසයේ පමණක් සංචාරකයන් 100,388 දෙනකු මෙරටට පැමිණීමත් පසුගිය මාස 6 තුළදී පමණක් විදෙස් ප්‍රේෂණ ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 2823ක් මෙරටට ලැබී ඇත. 2022 වර්ෂය පුරාම විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 3789ක් පමණි.

Comments