
ජ්‍යොතිෂ විද්‍යාවේත් වාස්තු විද්‍යාවේත් දිශාව එක සේ වැදගත්ය. දිශා සම්බන්ධ විග්‍රහයේදී දිශාවන් ප්‍රධාන හා අනු දිශා වශයෙන් වර්ග කෙරේ. එහිදී ප්‍රධාන දිශා 4ක්ද අනු දිශා 4ක්ද ලෙස අට දිශාවන් හඳුනාගත හැකිය. මෙහිදී ප්‍රධාන සතර දිශා ලෙස පිළිවෙළින් උතුර, නැඟෙනහිර, දකුණ හා බටහිර දැක්විය හැකි අතර අනු දිශා ලෙස පිළිවෙළින් ඊසාන, ගිනිකොණ, නිරිත හා වයඹ දැක්විය හැකිය. එලෙස ප්‍රධාන සතර දිශා නිර්මාණයේදී අංශක 90ක කෝණයක් ප්‍රධාන යාබද දිශා 2ක් අතර නිර්මාණය වන බවද අනු දිශා නිර්මාණයේදී අනු දිශාවක් හා ප්‍රධාන දිශාවක් අතර අංශක 45ක කෝණයක් නිර්මාණය වන බවද පැහැදිලිය. මෙම අට දිශාව මෙසේ රූප සටහන (01) න් දැක්විය හැකිය.
මෙම අට දිශා පහසුවෙන් අනුපිළිවෙළින් මතකයේ රඳවා ගැනීමට "උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්" යන වැකිය ප්‍රයෝජනවත්ය. එහි වචනවල මුල් අකුරු දිශාවන්හි මුල් අකුරු හා සැසඳේ. දිශාව සම්බන්ධව සැලකීමේදී සුබ දිශාව මෙන්ම මරු සිටින දිශාව සම්බන්ධවත් දැනුවත් විය යුතුය. ජ්‍යොතිෂ විද්‍යානුකූලව නිවැරදිව ශුභ දිශාවන් තීරණයේදී චන්ද්‍ර ගමන උපයෝගී කරගනු ලැබේ. එහිදී ඒ ඒ දිනවල ශුභ මුහුර්ථය සඳහා යොදාගත් තත්කාල කේන්දරයේ සඳු සිටින රාශිය අනුව සඳු සිටින දිශාව තීරණය කෙරේ. මේ අයුරින් සඳු සිටින දිශාව පදනම් කරගෙන ඇත්තේ ප්‍රධාන සතර දිශා සම්බන්ධවය. තත්කාල කේන්දරය පදනම් කර ගනිමින් ශුභ මුහුර්ථ සැකසීමේදී චන්ද්‍රයා සිටින රාශියට අනුව ශුභ ප්‍රධාන සතර දිශා සොයා ගැනීමේ ශ්ලෝකය මෙසේය.
"මේසේච සිංහේ ධනු පූර්ව භාගේ
වෘෂභේච කන්‍යා මකරේච දක්ෂිනේ
තුලා ඝටේ මෛතූන පස්චිමේන
කර්කාලි මීනේ ෂෂි උත්තරේ දිසී"
මෙහි අරුත වනුයේ චන්ද්‍රයා මේෂ, සිංහ, ධනු රාශියක සිටින විට නැඟෙනහිර ද වෘෂභ, කන්‍යා, මකර රාශියක සිටින විට දකුණ ද තුලා, කුම්භ, මීන රාශියක සිටින විට බටහිර ද කටක, වෘශ්චික, මීන රාශියක සිටින විට උතුර ද යන දිශාවන් සඳු සිටින දිශාවන් බවය. මේ අයුරින් සඳු සිටින දිශාව සොයාගත් පසු සඳුට මුහුණදීම හෝ දකුණු අත යොමු කිරීම කළ යුතුය. එහිදී මරුට පිටුපා සිටීමට ද වගබලා ගත යුතුය. ඒ සඳහා මරු සිටින දිශාව සම්බන්ධව නිවැරදිව දත යුතුය. කෙසේ නමුත් ඉහත සඳහන් ලෙසට සඳුට මුහුණ දීම හෝ දකුණු අත යොමු කිරීම සම්බන්ධව සඳහන් ස්ලෝකය මෙසේය.
"සම්මුඛේ අර්ථ ලාභංච
දක්ෂිනේ සුඛ සම්පදා
පස්චිමේ කාර්ය හානීච
වාම චන්ද්‍රෝ ධනඃ ශයං"
මෙම ශ්ලෝකයට අනුව සඳු සිටින දිශාවට මුහුණ දීම අර්ථ ලාභ සහිත වන අතර සඳුට දකුණු අත යොමු කිරීම සැප සම්පත් ලැබීමට හේතුය. සඳුට පිටුපෑම කාර්ය හානි වීමට හේතු වන අතර සඳුට වම් අත යොමු කිරීම ධනය නාස්ති වීමට හේතුය. මෙයට කදිම නිදසුනක් ලෙස සඳු නැඟෙනහිර දිශාවේ සිටින විට උතුරු දිශාවට මුහුණ හැරවූ විට දකුණු අත සඳු සිටින නැඟෙනහිර දිශාවට යොමු වීම දැක්විය හැකිය.
මරු සිටින දිශාව ගැන බැලීමේදී ජ්‍යොතිෂයේ මරු සිටින දිශාව දැක්වෙන කවිය මෙසේය.
"රිවි තුරු සඳු වයඹ කුජ දින වරුනේයා
බුධ නිරිතේ ගුරු දකුණේ සිටිනේයා
කිවි ගිනිකොණ ශනි පෙරදිග සිටිනේයා
දනු සත් දින මරු මෙලෙසට වසනේයා"
ඉහත සඳහන් ලෙසට දිනයට අනුව මරු සිටින දිශාව සොයා ගත් පසු මරු සිටින දිශාවට පිටුපෑම හෝ වම් අත යොමුවන පරිදි අදාළ නැකත සඳහා දිශාව සොයා ගත යුතුය. ඉහත අට දිශාව පෙන්වූ සටහනේම මරු සිටින දිශාවද නිරූපණය කළ හැකිය. එහිදී අට දිශා අනුපිළිවෙළින් දක්ෂිණාවෘතව යෙදෙන අතර මරු සිටින දිශාවට හිමි සතියේ දවස් අනුපිළිවෙළින් එහිම වාමාවෘතව යොදයි. මෙලෙස යෙදූ කල දිශා හා මරු සිටින දිශා මතකයේ රඳවා ගැනීම ඉතාම පහසුය. ඒ නයින් ගත් කල මරු නොමැති එකම දිශාව ඊසාන දිශාව වේ.
සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව දිශාව සොයා ගැනීමට ක්‍රම 2ක් භාවිතයේ යෙදේ. ඒ මාලිමාවක් හෙවත් සංකුවක් ආධාරයෙන් උතුරු දිශාව සොයා ගැනීමත් ඉර පායන දිශාව බලා ආසන්න වශයෙන් උතුරු දිශාව සොයා ගැනීමත්ය. මෙලෙස ඉර පායන දිශාව බලා උතුර තීරණය කිරීමේදී සුළු වශයෙන් උතුරු දිශාව වෙනස් වේ. ඊට හේතුව කර්කටක හා මකර නිවර්තන අතර සූර්යාගේ පිහිටීමේ වෙනස් වීමයි. එනමුත් සංකුව හෙවත් මාලිමාව ආධාරයෙන් සොයා ගන්නා උතුරු දිශාව ඉතාම නිවැරදිය. එය කාන්දම් උතුර හෙවත් චුම්බක උතුර ලෙස ද හඳුන්වයි.
තවද නැකැත් සෑදීමේදී යෝගිනි සිටින දිශාවද සැලකිල්ලට ගත යුතුය. අට දිශාව අතුරින් යෝගිනී සිටින දිශාව තීරණය වන්නේ තිථි අනුවය. එහිදී පුර හා අව තිථි 15 අනුව යෝගිනි සිටින දිශාව යෙදෙන ආකාරයේ අනුපිළිවෙළ මෙසේය.
1 සහ 9 තිථි - නැඟෙනහිර දිශාව
2 සහ 10 තිථි - උතුරු දිශාව
3සහ 11 තිථි - ගිනිකොන දිශාව
4 සහ 12 තිථි - නිරිත දිශාව
5 සහ 13 තිථි - දකුණු දිශාව
6 සහ 14 තිථි - බස්නාහිර දිශාව
7 සහ පසලොස්වක තිථිය - වයඹ දිශාව
8 සහ අමාවක තිථිය - ඊසාන දිශාව
යෝගිනි සිටින දිශාව අශුභ බැවින් ශුභ දිශාව සොයා ගැනීමේදී යෝගිනි සිටින දිශාවද අත්හළ යුතුය.
එපමණක් නොව පරිඝ සිටින දිශාවද මඟහැරිය යුතුය. ඒ පරිඝ දණ්ඩට මුහුණ දීම අශුබ බැවිනි. පරිඝ දණ්ඩ යනු වයඹ හා ගිනිකොණ යන අනුදිශාවන් එකට යා කරමින් අහසේ ඍජුව පිහිටන්නේ යැයි උපකල්පිත මේඝ රේඛාවකි. එය මෙලෙස රූප සටහන (02)න් නිරූපණය වේ.
එක පසකට නැකැත් 7 බැගින් යෙදේ. ඒ අනුව ඉහත සටහනේ උතුරු දිශාවෙහි දෙනට නැකතේ සිට බෙරණ නැකත දක්වා නැකැත් 7ක්ද නැඟෙනහිර දිශාවේ කැති නැකතේ සිට අස්ලිස නැකත දක්වා නැකැත් 7ක්ද දකුණු දිශාවෙහි මා නැකතේ සිට විසා නැකත දක්වා නැකැත් 7ක්ද බටහිර දිශාවේ අනුර නැකතේ සිට අභිජිත් නැකත ද සහිතව සුවන නැකත දක්වා නැකැත් 7ක්ද පිහිටන සේ පරිඝ දණ්ඩ ඇතිවේ. පරිඝ නම් දෝෂයකි. එය පරිඝ දණ්ඩ ලෙස හැඳින්වේ. මෙහිදී ශුභ මුහුර්තය යෙදී ඇති නැකත අනුව බැලිය යුතු දිශාව පරිඝ දණ්ඩ චක්‍රයට අනුව ද බැලිය යුතුය. සාමාන්‍යයෙන් නැකැත් ඇත්තේ 27ක් වුවද පරිඝ දණ්ඩ චක්‍රයට උත්‍රපල් හා සුවන යන නැකැත් දෙක අතරට අභිජත් නැකත ද යොදා පරිඝ දණ්ඩ චක්‍රයට නැකැත් 28ක් යොදා ඇත. ඔබත් ඉහත සඳහන් කළ ලෙසට දිශා සම්බන්ධව දැනුවත් වී නිවැරදි දිශාව නිවැරදි ලෙසට නිසි දැනුවත්ව භාවිත කර සැපත, සතුට, සෞභාග්‍යය සලසා ගන්න.
ජ්‍යොතිෂවේදී ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද