සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - සමාජයේ ප්‍රියමනාප පුද්ගලයෙකු වෙයි

ආරම්භය ගැටලු සහගත විය හැකිය. නිෂ්ඵල ගමන් හෝ පාඩු සිදුවිය හැකියි. ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කරන්න. ඉන්පසුව සුබදායී වේ. සතුට සමාදානය ඇතිව නිවැසියන් හා කටයුතු කරයි. සමාජයේ ප්‍රියමනාප පුද්ගලයෙක් වෙයි. සැප ආහාරපාන ලැබෙයි. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වේ. රැකී රක්ෂා, ව්‍යාපාර දියුණු වේ. සමහර විට විදේශ ගමන් යෙදෙන්නට පුළුවන. අපල අවම කර ගැනීමට ඔසු කැඳ පානයක් රෝගීනට පරිත්‍යාග කරන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා

 

වෘෂභ - ලැබීම් සහිතය

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. ස්ත්‍රී පක්ෂයේ ආධාර උපකාර ලැබෙන මිතුරු ඇසුර වැඩිවන දින කීපයකි. දෙවන තුන්වන දින තරමක් කල්පනාකාරීව මුදල් හදල් හා කරන කියන කටයුතුවලදී අවබෝධයකින් සිටින්න. ඉන්පසු දින කීපයම යහපත් වේ. සියලු බලාපොරොත්තු සුබ අතට හැරේ. ඒවාට යහපත් පිළිතුරු ලැබේ. ජීවිතය සැපවත් වේ. අපල අවම කර ගැනීමට වකුගඩු, පිළිකා රෝගීනට උදවු උපකාර කරන්න.

සුබ අංක - 6, 7, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, රෝස, සුබ දවස් - සිකුරාදා, බදාදා, සෙනසුරාදා

 

මිථුන - උසස් මිතුරන් මුණගැසේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකීරක්ෂා සඳහා ඇවිදිලි වැඩි වන අතර ඒවායින් ලාභ ප්‍රයෝජන ද සැප සතුට ද හිමිකර දෙයි. තමාට උසස් මිතුරන් ඇසුරු කරන්නට ලැබෙන අතර තමන්ට ද ප්‍රසිද්ධිය ගරුත්වය හිමි වේ. කරන්නට යන වැඩ කටයුතු සපල වේ. දරුවන්ගේ අධ්‍යාපනය දියුණු මාර්ගයකට යොමු වේ. යහපත් වූ ගුරුවරු හමු වේ. සමහර විට අයහපත් පුද්ගලයකුගේ ක්‍රියා කලාපයක් නිසා සතිය මැදදී කලකිරීමකට ලක් වේ. සතියේ අපල අවම වීමට පොඩි දරුවෙකුට ආහාර හෝ සෙල්ලම් බඩුවක් රැගෙන දෙන්න.

සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

කටක - පුණ්‍ය මහිමය පෙන්වන සතියකි

සඳු ගමන් ආරම්භ කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය කටයුතුවලින් ආරම්භ වන සතිය රැකී රක්ෂා, වෙළහෙළදාම් දියුණුව මෙන්ම නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබන දින කීපයකි. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය ඇතිවේ. ගෘහ ජීවිතයේ සතුට සමාදානය පවතියි. සහෝදර උපකාර හිමි වෙයි. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටියේනම් ඒවා සපල වනු ඇත. අපල මගහරවා ගැනීමට කිරි එළදෙ‍ෙනකුට ජලය දීම හෝ දරුවකු ලද මාතාවකට උපකාර කරන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - සුදු, කහ, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

සිංහ - ව්‍යාපාර කටයුතුවල දියුණුව

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේදී මරණයක් හෝ කනගාටුදායක පුවතක් අසන්නට සිදුවිය හැකිය. ඉන්පසු දින කීපය සහෝදර සහෝදරියන් දුවා දරුවන් සමඟ එකතුව පුණ්‍ය කටයුතුවල යෙදීම, සමාජ සේවා කටයුතුවල නියැළීම ආදියට ඉඩහසර වෙන් වෙයි. රැකියා, ව්‍යාපාර කටයුතුවල දියුණුව සහ ලැබීම් පෙන්වයි. නිවාස, ගේදොර පිරිසිදු කිරීම්, දානමාන ආදියට ද ඉඩ ඇත. සතියේ අපල අවම කර ගැනීමට ලේ දන් දීම, අක්ෂි රෝගීන්ට උපකාර කිරීම ආදියෙන් හැකි වේ.

සුබ අංක - 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බදාදා

 

කන්‍යා - විදෙස් ගමන්වලට ඉඩ ඇත

සඳු ගමන් ආරම්භ කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. ව්‍යාපාර දියුණුව, නව ආදායම් මාර්ග ඇති වේ. යුග දිවියේ ගැටලු නොමැතිව ගෘහ ජීවිතය සතුටින් ගත වේ. පුණ්‍ය කටයුතුවලට දායක වීමට අවස්ථා සැලසෙන අතර, සමාජ සුබසාධක මෙහෙවරවල ද නියැළෙයි. දුර ගමන් බිමන් නැතිනම් විදෙස් ගමන් ද යෙදීමට පුළුවන. දරුවන්ගේ උසස් අධ්‍යාපන දියුණුව සැලසීමට හැකි ගුරු භවතුන් මුණ ගැසේ. සතිය ආරම්භයට පසු දින කනගාටුදායක පුවතක් කන වැකෙන්නට ඉඩ තිබේ. සතියේ අපල අවම කර ගැනීමට පොඩි දරුවනට උපකාර කරන්න. රැකවරණය ලබා දෙන්න.

සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

තුලා - මිශ්‍ර පල ගෙන දෙයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාරවලින් ආදායම් ලැබිය හැකි අතර නව ව්‍යාපාර ආරම්භ කෙරේ. පුණ්‍ය සිතුවිලි සහිතව උසස් ධර්ම කරුණු අවබෝධ කර ගනී. ප්‍රමාද වූ විවාහවලට හිමිකරු මුණගැසෙන සතියක් ද විය හැකි අතර ලෞකික සැප සම්පත් ලබයි. 6, 8 භාවයන් පසු කරන බැවින් අසනීප අපල අනතුරු ද ඇතිවිය හැකිය. කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත් වේ. සතියේ අපල අවම කර ගැනීමට අන්තරාය නිවාරණය පිරිත කියන්න.

සුබ අංක - 6, 7, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, රෝස, සුබ දවස් - බදාදා, සිකුරාදා, සෙනසුරාදා

 

වෘශ්චික - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. ආදරය, විවාහය යන කරුණු සාර්ථක කෙරේ. ප්‍රේමවන්තයින් මුණ ගැසේ. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙයි. ව්‍යාපාරවලින් ආදායම් ලබයි. සමාජීය ගෞරවය ප්‍රසිද්ධිය ඇති වේ. 6, 8 යන භාවයන් මතින් සඳු ගමන් කරන බැවින් අපල අසනීප ද ඇතිවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. නුසුදුසු ආහාර ගැනීමෙන් වළකින්න. සතියේ අපල අවම කර ගැනීමට බුදුන්ට රතු මල් පූජා කර කතරගම දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක - 5, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

ධනු - පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස වෙහෙසෙන සතියකි. මාපිය දූදරු සහෝදර සබඳතා වර්ධනය වේ. රැකියා, ව්‍යාපාර දියුණුව සහ වෙනත් ලාභ ප්‍රයෝජන අත් වේ. සාමාජීය වශයෙන් තමාට කීර්තිය ගෞරවය හිමිවන මූලිකත්වය දරන උත්සව අවස්ථා යෙදේ. ඉඩකඩම්, ගේදොර ගැටලු නිරාකරණය වීමේ වැඩි ඉඩක් පවතී. පුණ්‍ය කටයුතුවලට සහභාගී වේ. සතියේ අපල අවමවීමට සංඝයා වහන්සේට බෝධීන් වහන්සේට ගිලන්පස බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන්න.

සුබ අංක - 7, 8, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා

 

මකර - ගැටලු නිරාකරණය වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහෝදර උපකාර හිමි වන අසල්වැසි අය සමඟ සුහද බව වැඩි කරන දින කීපයකි. ගේදොර දේපළ, යාන වාහන ගැටලු නිරාකරණය වීමට ඉඩකඩ පවතී. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය උසස් වේ. පවුලේ සමඟිය සමාදානය ඇති කරයි. තමන්ගේ සහජ දක්ෂතාවන් තුළින් ප්‍රයෝජන ගත හැකි කාලයකි. ක්‍රියාශීලී ගති වැඩි වේ. රාහු ග්‍රහයා ද සිවුවැන්නේ බැවින් අනතුරු ඇති වීමට පුළුවන. කරන කියන දේ පිළිබඳව කල්පනාවෙන් කටයුතු කරන්න.

අපල අවම කර ගැනීමට තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න.

සුබ අංක - 7, 8, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා, බදාදා

 

කුම්භ - අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. කතාවෙන් අන්‍යයන්ගේ අවධානය දිනයි. සහෝදර සබඳතා වර්ධනය කෙරේ. ගේදොර අලුත්වැඩියා කිරීම් පිරිසිදු කිරීම් ආදියට වැඩි කාලයක් වෙන් වේ. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රගතියක් පෙන්වන සතියකි. සහජ දක්ෂතා වර්ධනය කෙරේ. ඒවා ප්‍රසිද්ධියට පත්වේ. රැකියාවේ වෙනසක් දක්නට ලැබෙයි. අපල අවම කරගැනීමට රෝගීනට, මවුපියන්ට ඇප උපකාර කරන්න.

සුබ අංක - 7, 8, 9‍, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

මීන - යහපත් වූ සතියකි

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න, තුන්වැන්න සහ සිවුවැන්න හරහාය. ගෘහ ජීවිතය සතුටින් සමාදානයෙන් ගෙවෙන දරුවන්ගේ සියලු යහපත් කටයුතු සාර්ථක වන සතියක් වන අතර ඇවිදිලි වැඩි වේ. පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් ඇති වේ. රැකියා, ව්‍යාපාර තුළින් ආදායම් ලබයි. නව ව්‍යාපාරවලට අත ගසයි. සහජ හැකියාවන්ට ඉඩකඩ සහ ඒවා ඇගයීම්වලට ලක් වේ. මවු පාර්ශ්වයෙන් උදවු උපකාර හිමි වෙයි. සතියේ අපල අවම කර ගැනීමට බෙලිමල්, රණවරා ආදිය තම්බා ගිලන්පස තබන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - රතු, කහ, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

Comments