වාසනාව උතුරන්න ළිඳ කපන්නේ මෙහෙමයි | සිළුමිණ

වාසනාව උතුරන්න ළිඳ කපන්නේ මෙහෙමයි

 

ඉරිදා - ජලය නෑ, සඳුදා - ජලය පිරී ඉතිරෙයි, අඟහරුවාදා -  ජලය වැලි සහිතයි, බ්‍රහස්පතින්දා -  ජලය මිහිරියි, සිකුරාදා -  ලවණ මිශ්‍ර ජලය

නිවසේ ළිඳ කපන්න කලින් මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න

වඩා සුදුසු රවුම් හැඩයේ ළිඳ

වාස්තු විද්‍යාවේ කූප ශාස්ත්‍රය යනුවෙන් හැඳින්වෙන ‘ළිං කැපීම‘ ඉතාම භාරදූර කටයුත්තකි. සුබදායකව පිහිටි ළිඳකින් පිරිසිදු ජලය මෙන්ම වාසනාවද ගෙන දෙන අතර අසුබදායකව පිහිටි ළිඳෙන් විවිධ කරදර, බාධක, විපත් මෙන්ම මරණය වුව ගෙන දිය හැකිය. එබැවින් නිවසට ළිඳක් ඉදි කිරීමේදී එය නිවැරදි වාස්තු පිළිවෙත් හා උපදෙස් අනුව දෝෂ රහිතව සහ එය අනිවාර්යයෙන්ම සුබ නැකතකට සිදුකළ යුතුය. ළිඳ කපන මොහොත සුබ දින, නැකැත්, තිථි, යෝග, කරණ ආදී පංචාංගයෙන්ද ලග්න හෝරා සහ තත්කාල ග්‍රහ බලයෙන් ද සුපෝෂිත විය යුතුය.

ළිං කැපීමට වඩා සුදුසු වන්නේ වෙසක්, නිකිණි, උඳුවප්, දුරුතු, මැදින් මාස වේ. ඉරිදා දිනවල ළිං කැපීමෙන් ජලය නැති වෙයි. සඳුදා ජලය පිරී ඉතිරේ. අඟහරුවාදා වැලි සහිත ජලය ලැබේ. බදාදා බොහෝ ජලය ලැබේ. බ්‍රහස්පතින්දා මිහිරි ජලය ලැබේ. සිකුරාදා ලවණ මිශ්‍ර ජලය ලැබේ. සෙනසුරාදා ජලය නොලැබේ.

පුර පක්ෂයේ 1, 6, 11 යන නන්දා තිථිද 2, 7, 12 යන භද්‍රා තිථිද 3, 8, 15 යන ජයා තිථිද ළිං කැපීමට සුබය. නැකැත්වලින් රෙහෙණ, මුවසිරස ,පුනාවස, පුෂ, මා, උත්‍රපුටුප, උත්‍රසල, උත්‍රපල්, හත, දෙට, රේවතී යන නැකැත් සුබ වේ. මීන, කටක, මකර ලග්නයක් උදාව ඇති මොහොතක ළිං කැපීමෙන් ජලය අධිකව ලැබේ.

තත්කාල කේන්දරයේ 10 වැන්න ජල රාශියක් වී සඳු බලවත් මොහොතක ළිඳ කැපීම ඉතා සුබය. සිකුරු 10 වැන්නේ බලවත්ව සිටීමද මීන ලග්නය වී ලග්නයේ සිටින සඳුට සුබ දෘෂ්ටි වැටෙන මොහොත ද සුබය. කුම්භ ලග්නය හෝ වෘෂභ ලග්නය වී සුබ ග්‍රහ යෙදුම් පිහිටියහොත් ළිඳෙන් භාගයක් ජලයෙන් පිරේ. මේෂ, මිථුන, සිංහ, කන්‍යා, ධනු ලග්න තත්කාල ලග්නය වූ විට ජලය නොලැබේ. තත්කාල ලග්නයේ 4 වැන්නේ හා 8 වැන්නේ පාප ග්‍රහයින් වූ විටද, සඳු 8 වැන්නේ වූ විටද ළිං කැපීමේ මූලිකයාට මරණ හා සමාන විපත් ඇතිවේ. 1, 8, 9, 12 පාප ග්‍රහයන් සිටි විට ළිඳේ ජලය නොරැඳේ.

නිවැසියන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තනනු ලබන ළිඳකට වඩා සුදුසු වන්නේ රවුම් හැඩයයි. විෂ්කම්භය අඩි 03 ක් හෝ 05 ක් වීම ශුභය. ගෙබිම් ශාස්ත්‍රයට අනුව ගෙහිමියාගේ අතේ රියනින් නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ අත්තිවාරමට රියන් 07 ක්, 13ක්, 15ක්, 23ක්, 24ක්, 25ක්, 26 ක්, 27ක්, 40 ක් වීම ඉතා සුබය. නිවසේ සිට ගෙහිමියාගේ අතේ රියනෙන් රියන් 50ක් ඈතින් ළිඳ පිහිටි විට ළිඳේ සුබ අසුබ නිවසට බල නොපාන බවට මතයක් පැවැතිය ද ළිඳ නිවසට වඩාත් කිට්ටුව පිහිටීම යහපත්ය.

ළිඳ කැපීමේදී අත්තිවාරම් මුළු, මුදුන් යට ලී හෝ බාල්ක හසු නොවන ලෙසද, විශේෂයෙන් ප්‍රධාන දොරට කෙළින් සිටින ලෙසද ළිඳ නොකැපිය යුතුය. නිවසේ සෙවණැල්ල ළිඳට වැටීමත්, වහලෙන් වැටෙන වතුර ළිඳට වැටීමත් අසුබය. මරණයක් සිදු වී තෙමසක් ගතවීමට මත්තෙන් ළිං කැපීමද, වැඩිවියට පැමිණීමට ආසන්න දැරියක් සිටින විටද ළිං කැපීමද අසුබය.

"කූපෙ වසේතාර්මධ්‍ය -දෙශේථභානිෂ්තෛවන්‍යාදෞ

පුෂ්ටිරෛශ්වර්ය වෘද්ධිං සුනොර්නාශං ස්ත්‍රී විනාශො මෘතශ්ව සම්ප්තපීඩා ශතුතංස්‍යාච්ච සෞම්‍යම්"

යන ශ්ලෝකයෙන් ඉඩමේ මැද ළිඳ කැපූ විට ධන හානිද, ඊසාන දිශාවේ ළිඳ පිහිටි විට සැපයද, නැගෙනහිර දිසාවේ නම් ඉසුරුද, ගිනිකොණ දිසාවේ පුත්‍ර විනාශයද, දකුණු දිසාවේ ස්ත්‍රී විනාශයද, නිරිත නම් ගෙහිමියාගේ මරණයද, බටහිර නම් සම්පත්ද, වයඹ සතුරු පීඩාද, උතුරු දිසාවේ සැපය ද ඇතිවන බව කියැවේ.

ළිඳ කපන විට නැගෙනහිර දිසාවෙන් උල්පත් මතුවී නම් ධන ලාභද, බටහිරින් උල්පත් මතුවී නම් නිවසේ සතුට ද, උතුරු දෙසින් උල්පත් මතුවී නම් ධාන්‍ය ලාභද දකුණු දෙසින් නම් දරු ලාභ ද ඇතිවේ.

ළිඳක් කැපීමට පෙර බහිරව පූජාවක් තබා භූමි දෝෂ මඟ හරවා ගත යුතුය. ළිඳෙන් ලබා ගන්නා පළමු ජලයෙන් බෝධින් වහන්සේ නහවා බෝධි පූජාවක් තබා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සුදුසුය. එහිදී විශේෂයෙන් මහී කාන්තාවටත්, ජල දේවතාවාටත්, ඉඩමට අරක් ගත් බහිරව දේවතාවන්ටත් පින් දීම කළ යුතුය. අලුත් ඉඩමක ප්‍රථමයෙන් ළිඳ කපා නිවස තැනීමේ කටයුතු ආරම්භ කිරීමද ඉතා සුබදායක බව කියැවේ.

 

ජ්‍යොතිෂවේදී,  වාස්තු විද්‍යා උපදේශක කපිල ඉන්ද්‍රික ජිනදාස

 

Comments